සිඟිති දෝණි හැඩ කරන්න රැලි රැලි ගවුමක්

පෙබරවාරි 21, 2022

මලක් වගේ ඉන්න පුංචි දෝණි දඟකාරයි. සුරතල් සිනා නඟන පොඩිත්ති හැඩ කරන්න පහසුවෙන් මසාගත හැකි ලස්සන ගවුම් පොඩිත්තකි මේ. අත් රහිතව, මැසූ ගවුමට ඉණට රැලි යොදා ඇත.

අවශ්‍ය මිමි

උරහිස = අඟල් 9

කර වට = අඟල් 8

කර ගැඹුර = අඟල් 3

ඉණ දක්වා උස = අඟල් 12

පපුව වට = අඟල් 24

ඉණ වට = අඟල් 24

සාය උස = අඟල් 15

ගවුම සඳහා තෝරාගත් රෙදිවලින් බ්ලවුසය හා සාය කොටස වෙන වෙනම කපාගන්න.

ඉදිරිපස

බ්ලවුසයේ ඉදිරිපස කොටස කපාගැනීම සඳහා නැම්මට ගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එන පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට පහතට අඟල් 1 3/4ක් පහත්කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න.

E සිට පහතට ඉණ දක්වා උස පහත් කර හරහට රේඛාව අඳින්න.

අත්කට රේඛාවට උස සෙවීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. (පුංචිම දරුවන්ට නම් ඔබට අත් කට රේඛාවට උස ලෙස අඟල් 4 1/2ත් 5 1/2ත් අතර ගත හැකියි.)

අත් කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුරම බුරුල සඳහා හා මැහුම් වාසි එකතුකර අත් කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුරට බුරුල සඳහා හා මැහුම් වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ. G හා I යා කරන්න.

අත් කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත් කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍ය කැපීයන සේ ඇඳ අත් කට වක්‍රය අඳින්න.

පසුපස

පසුපස පතරොම කපා ගැනීම සඳහා බලවාටියට ගෙන බලවාටියේ සිට අඟල් 1ක් මැහුම් වාසි තබා නැම්ම රේඛාව අඳින්න. ඉදිරිපස පතරොම නැම්ම රේඛාවට තබා පසුකර ගැඹුර අඟල් 1 1/4ත් ගෙන අඟල් 1 1/2ක් පහත් කරගන්න. ඉතිරි වට ප්‍රමාණය ඉදිරිපස පතරොම ප්‍රමාණයට කපා ගන්න.

සාය

සාය කොටස ඉණට රැලිකර අල්ලා ඇත. ඒ සඳහා ඉණ වටයෙන් භාගය ප්‍රමාණයට රැලි සඳහා අවශ්‍ය ප්‍රමාණය හා මැහුම් වාසි එකතුකර පළල ද සාය උසට මැහුම් වාසි එකතුකර උස ලෙස ද ගෙන සාය කපාගන්න. එලෙස කොටස් 2ක් කපාගන්න‍

මැසීම

පසුපසට සිපරය අල්ලාගන්න. උරහිස මසන්න. කර හා අත්කට පයිපිං හෝ පේෂින් කරන්න. සාය රැලිකර ඉණට අල්ලා ගන්න. අංශය මසා වාටිය මසන්න.

 

උපදෙස්
ප්‍රවීණ උපදේශිකා දිලුෂි දසනායක

 

සටහන
පාලිකා දිල්රුක්ෂි