රතු නෙළුම් ගෙනෙන ආලෝකය

මැයි 9, 2022

 

වෙසක් දින රාත්‍රීයේ පරිසරය වර්ණවත් කරන්නට අගනා නෙළුම් මල් නිර්මාණයකි මේ. ඔබේ දූ දරුවන් ළං කරගෙන ඔබත් මේ මල් නිර්මාණය කරන්න.

 

අවශ්‍ය දේවල්

 

රතු වර්ණ ෆෝම් ෂීට්

රතු වර්ණ කාඩ්බෝඩ්

රිදී වර්ණ සීක්වින්ස් ටිකක්

ඉවත දමන සීඩී

නිල් වර්ණ ෆැබ්රික් තීන්ත

යුහු ගම් හෝ ග්ලූ ගන් එක

සුදු වර්ණ පැස්ටල් කූරක්

කතුරක්, පැන්සලක්, වෙළෙඳපොළෙන් ගත් රවුම් ඉටි පන්දම්, පින්සලක්

 

නිර්මාණය කිරීම

 

අප ඔබට දී ඇති ප්‍රමාණවලින් පතරොම් සකසා ගන්න. පසුව ෆෝම් ෂීට් මත එම පතරොම් තබා පැන්සලකින් ඇඳ කපාගන්න. කපාගත් පෙතිවල මැද විහිදී යන ආකාරයට සුදු පැස්ටල් ආලේපකර අලංකාර කරගන්න. සෑම පෙත්තකම පැස්ටල් ආලේප කරගන්න. පසුව විදුලි ස්ත්‍රික්කයකින් සෑම පෙත්තක්ම රත්කර අතින් පෙති හැඩකර ගන්න.

පසුව රූපයේ දී ඇති ප්‍රමාණවලින් රතු වර්ණ බෝඩ් කොටස් කපාගන්න. රතු බෝඩ් නැතිනම් සුදු බෝඩ් රතු ෆැබ්රික් තීන්ත ආලේපකර සකසා ගන්න. නැවත එම බෝඩ් කොටස් අඟල් 1/4 ක විෂ්කම්භයක් සිටින සේ රවුම් කර අලවා ගන්න. පසුව පෙනෙන පරිදි එම රවුම් බෝඩ් කොටස්වලට රිදී වර්ණ සීක්වින්ස් අලවා ගන්න. නැවත එම රවුම් බෝඩ් කොටස්වල එක පැත්තකට ග්ලූ ගන් එක ආධාරයෙන් නෙළුම් මල සකසා ගැනීම සඳහා පොඩි පෙති 6ක් වටේට අලවා ගන්න. නැවත ලොකු පෙති 6ක් පොඩි පෙති අතරට සිටින සේ අලවා ගන්න.

සීඩී එක ගෙන වතුර පෙන්වීම සඳහා එයට නිල් වර්ණ ෆැබ්රික් තීන්ත ආලේප කරගන්න. වියැළුණු පසු එහි මැදට නෙළුම් මල උඩට සිටින සේ අනෙක් පැත්ත සී ඩී එකට අලවා ගන්න. පසුව නෙළුම් මල්වල මැදට රවුම් ඉටිපන්දම් තබා ගන්න. මේ ආකාරයට නෙළුම් මල් හතම විවිධ උසට ඔබට නිර්මාණය කර ගත හැකියි.

 

 

උපදෙස් -

මහරගම ප්‍රාදේශීය ලේකම්

කාර්යාලයේ බාහිර උපදේශිකා,

ප්‍රවීණ අත්කම් ශිල්පිනී

චූලනී ජයසිංහ