නත්තල් ගස හැඩ කරන්න මේ සැරසිලි හදාගන්න

දෙසැම්බර් 5, 2022

 

අසිරිමත් නත්තල උදා වෙන්න තවත් ඇත්තේ සති කිහිපයකි. නත්තල් සමය ආරම්භ වනවාත් සමඟම නත්තල් සැරසිලිවලින් නිවෙස හැඩ කරන්න කවුරුත් අමතක කරන්නේ නැහැ. නත්තල් සැරසිලි අතර ප්‍රධාන තැනක් ගන්නේ නතල් ගසයි. ලොකු පොඩි කාගෙත් සිතට සතුට ගෙෙනන නත්තල් සැරසිලි සකසා ඔබත් මේ විදිහට නත්තල් ගසේ රඳවන්න.

 

සැරසිලි සඳහා අවශ්‍ය දේවල්

නත්තල සඳහා ගැලපෙන

වර්ණවලින් ෆෙල්ට් රෙදි

රන්වන් පැහැ හා රිදී

වර්ණ කෝඩ් නූල්

බ්රේඩින් රේන්ද

ඉදිකටුවක්

අවශ්‍ය වර්ණවල නූල්

පැඩිං

වර්ණ කිහිපයක ග්ලිටර්

 

සියලුම නත්තල් සැරසිලිවල පතරොම් පහත දැක්වේ. එම සියල්ලෙහිම පතරොම් සකස් කරගන්න. පසුව මෙම පතරොම් ෆෙල්ට් රෙදි මත තබා ඇද කපාගන්න. සියලුම හැඩතල ඇඳ කපා ගැනීමේදී එක් හැඩතලයකින් කොටස් දෙක බැගින් කපා ගන්න. හැඩතල මසා ගැනීම සඳහා බ්ලැන්කට් මැස්ම භාවිත කර ඇත. සියලුම සැරසිලි අලංකාර කර ගැනීම ඔබට කැමැති පරිදි කරගත හැකිය.

 

මසා ගන්නා ආකාරය

පළමුව සීනුව සඳහා කපා ගත් කොටස් දෙක ගෙන අදාළ වර්ණයෙන් ඉදිකටුවට නූල් දමා සීනුවේ කොටස් දෙක එකට තබා වටේට බ්ලැන්කට් මැස්ම භාවිත කර මසා ගන්න. මසා ගැනීමේදී මෙය නත්තල් ගසේ එල්ලීම සඳහා අඟල් 5ක පමණ දිග රන්වන් පැහැ කෝඩ් නූල් කොටසක් කපා එය දෙකට නමා සීනුවේ උඩින් ඇතුලට ඇතුල් කර මසා ගැනීමට අමතක නොකරන්න. මෙයට පැඩිං පුරවා ගත් පසු එම හිඩැස ද මසා නිම කර ගන්න. පසුව පින්තූරවල පෙනෙන ආකාරයට බ්රේඩින් රේන්ද කොටසක් කපා අලවා ගැනීම හෝ මසා ගන්න. එයට උඩින් රවුම් හැඩ තුනක් ද කොළ දෙකක් ද කපා අලවා ග්ලිටර්වලින් අලංකාර කරගන්න.

මෙම සියලුම සැරසිලිවල හැඩතල මේ ආකාරයට බ්ලැන්කට් මැස්ම උපයෝගී කරගෙන මසා ඇත. එක් එක් හැඩතලය අනුව පැඩිං පුරවා ගන්න. පින්තූරවල පෙනෙන පරිදි සියලුම හැඩතල අලංකාර කරගන්න. ඇතැම් හැඩතලවල සුදු වර්ණයෙන් තවත් කොටසක් කපා අලවා ඇත.

මෙසේ අලංකාර කරගත් හැඩතල නත්තල් ගසේ ඉතිවල එල්ලා සරසා ගන්න.

 

උපදෙස් -

මහරගම ප්‍රාදේශීය ලේකම්

කාර්යාලයේ බාහිර උපදේශිකා

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

චූලනී ජයසිංහ

 

 

ඡායා - ශාන් රූපස්සර