වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
නත්තල් සමයයි රතු මල් ගවුමයි
ඔබට වඩාත් ගැළපෙන්නේ ඔබේ සිරුරේ හැඩයට, උසට මහතට සරිලන ඇඳුම් මෝස්තර තෝරා ගතහොත් පමණි. එමඟින් ඔබේ විලාසිතාව අන් අයට විහිලුවකට ලක් නොවේවි. මේ ගැඹුරු කරක් සහිත දිගු අත් සහිත ගවුමකි. විලාසිතාවලට ප්‍රිය කරන යොවුන් ඔබට ගැළපේ. යෙහෙළියන් සමඟින් කෙටි විනෝද ගමනකට අඳින්න කදිමයි. මෙවැනි ගවුම් මසා ගන්න හුරු පුරුදු වුවහොත් එය පුංචි ව්‍යාපාරයක් ලෙසින් වුව කරගෙන යා හැකියි. එසේ නම් මේ ගවුම මසා ගන්නා අන්දම බලමු.
අවශ්‍ය මිමි
උරහිස
පපුවට
ඉණ දක්වා උස
ගවුමේ උස
උකුළ වටා අත දිග
මිමි සැකසීම
උරහිස දෙකෙන් බෙදන්න.
පපුවට හතරෙන් බෙදා එයට අඟලක් එකතු කරන්න.
උකුළ වට හතරෙන් බෙදා එයට අඟල් 5ක් එකතු කරන්න.
මෙම ගවුම සඳහා ඩියුරෝ රෙදි යාර 2ක් ප්‍රමාණවත් වේ. ඒ ගවුමේ කර ගැඹුරෙන් ඉහළ කොටස කැපී යන බැවින් පතරොමක් භාවිත කිරීමෙන් අපතේ යන රෙදි ප්‍රමාණය අවම කර ගැනීමට හැකියි.
ප්‍රථමයෙන් කඩදාසියක් මත පළමු රූප සටහන මෙසේ ඇඳගන්න.
A -B දක්වා උරහිස දෙකෙන් බෙදා ලකුණු කරන්න. එතැන් සිට පහළට අඟල් 1 1/2ක් පහත් කරන්න. එය A දක්වා යා කරමින් උරහිස ඇඳගන්න.
A සිට C දක්වා අඟල් 7 1/2 පහත් කරන්න. එම රැගල් උස ගෙන C සිට D දක්වා පපුවට හතරෙන් බෙදා අඟල් 1ක් ලකුණු කර රූප සටහනේ පෙනෙන ලෙස අත්කට ඇඳගන්න. කර ගැඹුර අඟල් 5 1/2ක් ගන්න. E සිට F දක්වා යා කර ඉණ ඉහළ කොටස කපා ඉවත් කරගන්න. කර පළලේ සිට ඉණ දක්වා උස ගෙන ඉණ රේඛාව ඇඳ D හා H යා කරමින් H සිට ඇතුළට අඟල් 1ක් ඇතුළු කරන්න. දැන් ඉණ හැඩ කරගන්න.
සම්පූර්ණ ගවුමට අවශ්‍ය උස ගෙන වාටිය රේඛාව ඇඳගන්න. I සිට J දක්වා උකුළ වට හතරෙන් බෙදා එයට අඟල් 5ක් ලකුණු කරමින් වාටිය රේඛාව ඇඳගන්න.
කර ගැඹුරින් ඉහළ කොටස කපා ඉවත් කරගන්න. පසුව එම පතරොම රෙද්ද දෙකට නමා එහි නැම්මේ සිට අඟල් 6ක් ඇතුළු කර 2වැනි රූප සටහනේ පෙනෙන පරිදි කොටස් දෙකක් ඉදිරියට හා පසුපසට කපාගන්න.
අත සඳහා ද පතරොම සාදා ගැනීමෙන් අපතේ යන රෙදි ප්‍රමාණය ඉතිරි කර ගැනීමට හැකිය.
කඩදාසියක් මත 3 වැනි රූප සටහනේ මූලික දිග අත ඇඳගන්න. අතේ දිගද අවශ්‍ය පරිදි අඩු වැඩි කර ගැනීමට හැකිය.
අත ඇඳගත් පසු 2 රූප සටහනේ පෙනෙන F හා D වක්‍රය මැනගන්න. එම ප්‍රමාණය ඇඳ ගත් අතෙහිද මැන ඉන් ඉහළ කොටස කපා ඉවත් කරගන්න. දැන් එම පතරොම රෙද්දේ නැම්මට තබමින් 4 වන රූප සටහනේ පෙනෙන ලෙස අත් දෙක කපාගන්න.
මසා ගැනීමේදී
ප්‍රථමයෙන් ඉදිරිපස හා පසුපස කොටස් දෙක නූල් ඉලාස්ටික් මඟින් ඉණ දක්වා මසා රැලි කරගන්න. ( ස්මෝක්) ඉණ දක්වා උස ගැනීමේදී පහත් නොවන ලෙස මැනගන්න. ඉන්පසුව අංශ දෙක මූට්ටු කරගන්න. වාටිය මසාගන්න.
ඡායාරූපයේ පෙනෙන ලෙස අත් දෙකද ඉහළ සිට පහළට අඟල් 7ක් පමණ නූල් ඉලාස්ටික් මඟින් ස්මොක් කර F හා D මත තබා අත් දෙක මසාගන්න.
ඡායාරූප හා රූප සටහන් දෙස හොඳින් බැලීමෙන් වඩාත් පැහැදිලි වනු ඇත. බලන්නකො ඉතාමත් අඩු කාල වේලාවකදී ඔබට මෙය මසා ගන්නට හැකියි.
උපදෙස්
ප්‍රවීණ මැහුම් හා රූපලාවණ්‍ය උපදේශිකා
කාන්ති බණ්ඩාරනායක
ඡායා - ශාන් රූපස්සර
රූ රටා - විදුමිණී