තේ මේසය සරසන හරි අපූරු කෝස්ටර්

මාර්තු 25, 2024

මුළුතැන්ගෙය ගෘහිණියගේ රාජධානියයි. එහි පිරිසුදු බවත් පිළිවෙළත් කියන්නේ ඇගේ හැකියාවයි. මුළුතැන්ගෙයි පිළිවෙළ පෙන්වන තවත් එක් අංගයකි කෑම මේසය. ඉතින් නිවෙසට එන අමුත්තන්ට සංග්‍රහ කරද්දි දන්න ශිල්ප සියල්ලම දමා රස කෑම වේලක් සකසා සිත් බඳනා පියකරු බවක් ගෙන එන ආකාරයට කෑම මේසය පිළියෙල කරන්නයි අපේ ගෘහිණියන් උත්සාහ කරන්නේ. ඒ පිළියෙල කිරිල්ලට කෝස්ටර් කිහිපයක් එහෙමත් නැත්නම් තමන්ගේ අතින්ම සැකසූ ටේබල් මැට් කිහිපයක් එක්කර ගන්න අපේ ගෘහිණියන් අමතක කරන්නේ නැහැ. හැබැයි අද මේ කියලා දෙන්නේ තේ මේසයට කදිමට ගැළපෙන රෙසින් කෝස්ටර් එකක් නිර්මාණය කරනා ආකාරයයි. තේ කෝප්පයට මෙවැනි කෝස්ටර් එකක් තිබ්බොත් මේසෙ ආරක්ෂා වෙනවා විතරක් නෙවෙයි අමුතුම අලංකාරයකුත් ගෙන දේවි.

සති කිහිපයක්ම රෙසින් නිර්මාණ ගැන කතා කළ නිසා දැන් බොහෝ දෙනාට රෙසින් ගැන හොඳ අවබෝධයක් ඇති. රෙසින් නිර්මාණයක වැදගත්ම දෙය මිශ්‍රණය සකස් කිරීමත් නිර්මාණාත්මක හැකියාවෙන් ප්‍රයෝජනයක් ගැනීමත් ය.

රෙසින් මිශ්‍රණය සැකසීමේදී රෙසින් සහ හාඩ්නර් යන රසායනික දියර වර්ග දෙක, එකට මිශ්‍ර කිරීම කළ යුතුයි. ඒ සඳහා රෙසින් කප් එකක් ගෙන එයට රෙසින් සහ හාඩ්නර් 2:1 අනුපාතයට දමාගෙන හොඳින් මිශ්‍රකර ගන්න. මෙය මිශ්‍ර කර ගත යුතු වන්නේ එක් පැත්තකට වන ලෙසය. නැතිනම් මිශ්‍රණයේ වායු බුබුළු මතු වීමෙන් ගුණාත්මක නිර්මාණයක් කර ගැනීමට නොහැකි වේවි.

මෙසේ විනාඩි 2-3ක් මිශ්‍ර කරන විට වතුර මෙන් පිරිසුදු විනිවිද පැහැයක් පැමිනුණ විට එය හොඳින් මිශ්‍ර වී ඇති බව වැටහේවි.

අද අපි හදන්න යන්නේ කෝස්ටර් එකක්. බොහෝ අය මේකට ටේබල් මැට් කියලත් කියනවා. මේ කෝස්ටර් එක නිර්මාණය කරන්න කලින් ඊට සරිලන මෝල්ඩ් එකක් තෝරාගත යුතුයි.

රෙසින් නිර්මාණ සඳහා යොදා ගන්නේ මයිකා පවුඩර් වර්ගයයි. මෙය නිර්මාණය කිරීමට අප භාවිත කරන්නේ කළු පැහැ වර්ණයයි. ඉහත සකසා ගත් රෙසින් මිශ්‍රණයෙන් කොටසක් කප් එකකට දමා කළු පැහැ මයිකා පවුඩර් එකතුකර හොඳින් මිශ්‍රකර ගන්න. ඉන්පසු කළු පැහැ වර්ණකය මෝල්ඩ් එකට එක් කරන්න. එය වියැළී ඇලෙන මට්ටමට එන විට මෝල්ඩ් එකේ ප්‍රමාණයට ගැළපෙන පින්තූරයක් අලවා ගත යුතුයි.

මෙවැනි පින්තූර අන්තර්ජාලයෙන් සොයාගෙන මෝල්ඩ් එකේ ප්‍රමාණයට අනුව ෆොටෝ පේපර් එකක ප්‍රින්ට් කරවා ගන්න. එය ඉතා අඩු මුදලකට ප්‍රින්ටින් වෙළෙඳසැලකින් කර ගන්නත් පුළුවන්.

මෝල්ඩ් එකේ පින්තූරය අලවා ගත් පසු ඊට උඩින් පිරිසුදු රෙසින් ලේයර් එකක් දමා වියැළෙන්න තබන්න. හොඳින් වියැළුණාට පසු මෝල්ඩ් එකෙන් ගලවා ගන්න. මේ ආකාරයට කෝස්ටර් කීපයක්ම නිර්මාණයකර ගන්න පුළුවන්.

රෙසින් Tips

රෙසින් නිර්මාණයක් සැකසීමේදී වතුර ළඟ තිබීම තහනම්. වතුර අංශුවක් හෝ ගෑවුණොත් අංග සම්පූර්ණ නිමාවක් ලබා ගත නොහැකිය.

 රෙසින් ලේයර් එක මෝල්ඩ් එකට දැමීමට ප්‍රථම මෝල්ඩ් එක පිරිසුදුකර ගන්න. ඒ සඳහා සෙලෝටේප් එකක් ගෙන සෙලෝටේප් කෑලි කපා මෝල්ඩ් එක තුළ අලවා, නැවත ගලවන්න. එමඟින් මෝල්ඩ් එක තුළ ඇති කුඩා දූවිලි අංශු පවා ඉවත් වී යයි.

රෙසින් මිශ්‍රණය සමෙහි ඇලුණු විට ඉවත් කිරීම තරමක් අපහසුය. ඒ සඳහා ටිනර්, වෙට් ටිෂූ සහ සැනටයිසර් වැනි දෙයක් භාවිතකර ඉවත් කිරීම කරගත හැකිය.

 රෙසින් මිශ්‍රණය සකස් කරන විට ග්ලවුස් සහ මාස්ක් එකක් පැලඳීම අනිවාර්යකර ගන්න.

රෙසින් නිර්මාණයක් සැකසීමේදී වැදගත්ම දේ රෙසින් සහ හාඩ්නර් නිවැරැදිව මිශ්‍රකර ගැනීමයි. එක් එක් නිෂ්පාදනවල මිශ්‍ර කිරීමේ අනුපාතය එකිනෙකට වෙනස් ය. එක් නිෂ්පාදනයක 2:1 ට අනුපාතයට මිශ්‍ර කරන්න කියද්දී තවත් නිෂ්පාදනයක 1:1 අනුපාතයට මිශ්‍ර කරන්න කියා තිබිය හැකිය. එවිට එම බෝතලයේ අඩංගු කරුණු අනුව මිශ්‍ර කිරීම කරගන්න.

රෙසින් බඩු ගන්න හොඳම තැන පිටකොටුවයි. මේන් ස්ට්‍රීට් සහ බෑන්ක්ෂෝල් ස්ට්‍රීට් අවට මේ වෙනුවෙන් වෙළෙඳසල් කිහිපයක්ම ඇති නිසා තෝරා බේරාගෙන කැමැති හැටියකට අඩු මුදලකට මිල දී ගන්න පුළුවන්. හැබැයි දැන් හැම ප්‍රදේශවලම වගේ රෙසින් ක්‍රාෆ්ට් මැටීරියල් ෂොප් තියෙන නිසා කොළඹින් පිට අයටත් ඒ ඒ තැන්වලින් මිල දී ගන්න පුළුවන්.

 

 රෙසින් නිර්මාණ ශිල්පිනී

සුදර්ශි ලංකා

I do creations by lanka