උතුම් බුදුරුවින් විකුම් අත්කම්

මැයි 20, 2024

 

පින්බර වෙසක් සමය උදා වෙලා. උදා වෙන වෙසක් සමය සැදැහැ සිතින් සමරන්න හැමෝම සූදානම් වෙනවා. ඒ නිසා වෙසක් අත්කම් නිර්මාණවලටත් තියෙන්නේ ලොකු ඉල්ලුමක්. වෙළෙඳපොළ ඉල්ලුම ඒ විදිහට වැඩි වෙද්දි ගෙදර ගෘහිණියනුත් වෙසක් සමයට ගැළපෙන විදිහට ගෙදරට කල එළියක් එක් කරන්න බලාගෙන ඉන්නවා. වෙසක් කූඩූ.. වෙසක් සැරසිලි... බකට්.. පුංචි පුංචි වෙසක් නිර්මාණ මේ හැමදේම අපේ ගෘහිණියන් නිර්මාණය කරන්නේ හරිම ආසාවෙන්. අද අපි කතා කරන්න යන මේ නිර්මාණය ක්‍රම දෙකකට සකසා ගත හැකි වීමයි විශේෂත්වය. මේ රන් පැහැ බුදු රුවෙන් අපූරු වෙසක් කාඩ්පතක් වගේම බුදු කුටියට ගැළපෙන අපූරු රෙසින් නිර්මාණයක් නිර්මාණයකර ගන්න පුළුවන්. එකම නිර්මාණය ක්‍රම දෙකකට හදාගන්නේ කොහොමද කියලා දැන් අපි බලමු.

 

 බුදු කුටියට රෙසින් නිර්මාණයක්

රෙසින් නිර්මාණ ගැන නිරන්තරව කතා කරන නිසා බොහෝ දෙනාට රෙසින් ගැන හොඳ අවබෝධයක් ඇති. රෙසින් නිර්මාණයක වැදගත්ම දෙය මිශ්‍රණය සකස් කිරීමත් නිර්මාණාත්මක හැකියාවෙන් ප්‍රයෝජනයක් ගැනීමත්ය.

රෙසින් මිශ්‍රණය සැකසීමේදී රෙසින් සහ හාඩ්නර් යන රසායනික දියර වර්ග දෙක, එකට මිශ්‍ර කිරීම කළ යුතුයි. ඒ සඳහා රෙසින් කප් එකක් ගෙන එයට රෙසින් සහ හාඩ්නර් 2:1 අනුපාතයට දමාගෙන හොඳින් මිශ්‍රකර ගන්න. මෙය මිශ්‍රකර ගත යුතු වන්නේ එක් පැත්තකටවන ලෙසය. නැතිනම් මිශ්‍රණයේ වායු බුබුළු මතු වීමෙන් ගුණාත්මක නිර්මාණයක්කර ගැනීමට නොහැකි වේවි.

මෙසේ විනාඩි 2-3ක් මිශ්‍ර කරන විට වතුර මෙන් පිරිසුදු විනිවිද පැහැයක් පැමිණුන විට එය හොඳින් මිශ්‍ර වී ඇති බව වැටහේවි.

රූපයේ පරිදි මෙයට ගැළපෙන සුදුසු මෝල්ඩ් එකක් තෝර ගන්න. එයට පෙර සකසා ගත් විනිවිද පෙනෙන රෙසින් ලේයර් එකක් දාගන්න. ඉන්පසු ලේයර් එක ජෙල් තත්ත්වයට ආ පසු රන් වර්ණ බුදු රුවක් සහිත ස්ටිකර් එකක් ගෙන එහි මැද අලවා ගන්න. ඉන්පසු මෝල්ඩ් එක වටේට සුදු පැහැ ගල් එකතුකර ගන්න. මෙය හොඳින් වේළෙන්න තබන්න. ඉන්පසු කලින් ගල් එකතුකර ගත් වටේ රවුම් කොටසට යළි සුදු පැහැ ගල් පුරවාගන්න ඉන් පසු ක්ලියර් රෙසින් කොටසක් දමා ත්‍රිමාණ හැඩයක් ලැබෙන පරිදි මේ ගල් ටික අලවා ගන්න. දැන් මෙය මෝල්ඩ් එකෙන් ගලවා වටේට ඇක්‍රලික් ගෝල්ඩ් පේන්ට් එකෙන් හැඩකර ගන්න. ඒ සඳහා පින්සලක් යොදාගත හැකිය. ගෝල්ඩ් වර්ණයෙන් බුදු රුවක් යොදාගත් නිසා ගෝල්ඩ් ඇක්‍රලික් වර්ණය හොඳින් ගැළපේවි. ඔබ සිල්වර් වර්ණ බුදු රුව සහිත ස්ටිකරයක් තෝරාගන්නේ නම් ඒ සඳහා සිල්වර් වර්ණ ඇක්‍රලික් පේන්ට් එකක් යොදා ගන්න පුළුවන්. මේ විදිහට හදපූ මේ රෙසින් නිර්මාණය නිවෙසේ බුදු කුටියට අලුත් ආලෝකයක් ගෙන දේවි.

 

තීන්ත තිත් ආකාරයෙන් බුදු රුවක් පින්තාරු කරමු

 

අවශ්‍ය ද්‍රව්‍ය:

ඝනකමින් යුතු කාඩ්බෝඩ් රවුමක්

ඇක්‍රලික් පේන්ට් හෝ

ෆැබ්රික් පේන්ට්

ඩොට්ටින්ග් ටූල් (Dotting tool) කට්ටලයක්

සැරසීමට සීකුවින්ස් කිහිපයක් හා බී6000 ගම්

පේපර් කටර්

 

සාදන අයුරු:

මුලින්ම කාඩ්බෝඩ් රවුමේ කළු තීන්ත ආලේප කරන්න. එය වියළීමෙන් පසු දී ඇති පතරොම විලස රූප සටහන ඇඳගන්න. පේපර් කටර් එකක් භාවිතයට ගෙන ඇඳගත් පතරොම කපාගන්න. (ලේසර් කට් මැෂින් එකකින් හෝ කපාගන්න)

දැන් ඩොට්ටින්ග් ටූල් භාවිත කරමින් ලොකු සහ කුඩා ප්‍රමාණවලින් තීන්ත තිත් තබමින් පාට කරන්න. දැන් සීකුවින්ස් ගෙන රූපයේ පරිදි හැඩකර ගන්න.

(ඩොට්ටින්ග් ටූල් භාවිත කරන අයුරු - තීන්ත පැතිලි මතුපිටකට දමා ටූල් එකේ රවුමට ස්වල්පයක් තවරාගන්න. එසේ තවරාගත් තීන්ත බිඳුව නිර්මාණයේ අදාළ තැන තිතක් සේ තබන්න.)

 

 

 අත්කම් නිර්මාණ ශිල්පිනී

සුලෝචනා සෙව්වන්දි

 

 රෙසින් නිර්මාණ ශිල්පිනී

සුදර්ශි ලංකා

I do creations by lanka