පුංචි පුතුට ජාතික ඇඳුමක්

මැයි 27, 2024

 

පුංචි දෝණිට පන්සල් යන්න ළමා සාරියක් මහගන්න ආකාරය අපි ඔබට පසුගිය සතියේ ලබා දුන්නෙමු. ඒත් එක්කම පුංචි පුතාට ආරිය සිංහල ඇඳුම එහෙමත් නැතිනම් ජාතික ඇඳුම (නැෂනල් එක) මහන ආකාරය ලබා දෙන්න යැයි තරුණී දුරකථනයට ගලා ආ ඇමතුම් බොහෝයි. ඒ අාදරණීය ඉල්ලීම ඉටුකරමින් මෙවර පුංචි පුතුට ජාතික ඇඳුම ලෙහෙසියෙන්ම මහන විදිහ මෙලෙසින් ලබා දෙන්නෙමු.

 

ෂර්ට් එකට මීමි

 

* උරහිස = අඟල් 13 1/2

* කරවට = අඟල් 13

* උස = අඟල් 22

* පපුව වට = අඟල් 28

* අත උස = අඟල් 18

* කැප් උස = අඟල් 3

* අත අගවට = අඟල් 7

* පතරොමේ අත්කට = අඟල් 9

රෙදි කපා ගැනීම

 

ෂර්ට් එක සාදා ගැනීම සඳහා බලවාටියට තබා ගන්න. බලවාටියේ සිට අඟල් 2ක් තබා නැම්ම අඳින්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 3/4ක් පුංචි දරුවන්ට නම් අඟල් 1 1/4ක් පහත්කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ. කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න. මූලික කරේ සිට විවරය සඳහා අඟල් 4ත් 6ත් අතර කපා ගන්න.

E සිට පහතට සම්පූර්ණ උස පහත්කර හරහට රේඛා අඳින්න.

 

අත්කට රේඛාවට උස සෙවීම සඳහා උරහිස ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාව යි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි හා බුරුල සඳහා එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

 

G සිට වාටිය රේඛාවට කෙළින් ඉරක් අඳින්න. එය GH වේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණුකර අඟල් 1/2ක් ඇතුළටකර හැඩකර ඇඳගන්න.

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

 

පසුපස

පසුපස සඳහා ද නැම්මට තබාගන්න. ඉදිරිපස පතරොම ගාණට තබා ගන්න. ඉදිරිපස උරහිසට සමාන්තරව අඟල් 1ක් උසින් වැඩි කරන්න. පසුපස කර ගැඹුර අඟල් 1 1/2ක් පහත්කර කපාගන්න.

 

අත

අත සඳහා රෙදි කොටස නැම්මට තබා ගන්න. ඉහළින් රේඛාවක් අඳින්න. නැම්මේ උඩ සිට පහතට කැප් උස පහත් කරන්න. එය AB වේ. හරහට රේඛාව අඳින්න. A සිට පහතට උස පහත් කරන්න. එය AC වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාවයි. වාටිය රේඛාව සඳහා මැහුම් වාසි තබා වාටිය රේඛාව අඳින්න. පතරොමේ අත්කට ප්‍රමාණය A සිට හැඩේට ලකුණු කරන්න. එය AD වේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණුකර අත්කට වක්‍රය අඳින්න. අත අග වට ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතුකර වාටිය රේඛාවේ හරහට ලකුණු කරන්න. එය BE වේ. ED යාකරන්න.

 

නැෂනල් කොළරය

කොළරය සඳහා පතරොම හෝ ස්ටිෆ් එක මුලින් කපාගන්න. ඒ සඳහා හරහට නවාගන්න. ඇඳුමේ කර වට ප්‍රමාණය මැන එම පිළිතුර 2න් බෙදා හරහට ලකුණු කරන්න.කොළරය කවාකාර කරගැනීම සඳහා අඟල් 1ක් හෝ අඟල් 1 1/2ක් ඉහළට ලකුණුකර කොළරයේ උස අඟල් 1ක් හෝ අඟල් 1 1/2 ක් සිටින සේ ඇඳගන්න. කොළරයේ කෙළවර කවාකාරව අඳින්න. පසුව පතරොම තබා ස්ටිෆ් එකක් හා රෙදි කොටස් 2ක් කපා ගන්න.රෙදි කැපීමේදී මැහුම් වාසි තබා කපා ගන්න.

 

 

මසා ගැනීම

උරහිස මසන්න.

විවරයට පටි අල්ලා මසන්න.

කොළරය අල්ලාගන්න.

අත අල්ලා ගන්න. ( දිගට හෝ කොටට )

අංශය මසන්න.

වාටිය මසන්න.

 

 

උපදෙස් -

මැහුම් නිර්මාණ ශිල්පිනී

දිලූෂි දසනායක