අමතර පන්ති යන දියණියට මෙන්න ට්‍රෙන්ඩ් බෑගයක්

අගෝස්තු 5, 2024

 

මෙවැනි බෑගයක් මිලෙන් ඉහළ නමුත් ඔබට හරිම පහසුවෙන් අඩු මුදලකට දැන් මසා ගත හැකියි. වෙනත් ඇඳුමක් මසා ඉවත දැමු ඉතුරු බිතුරු රෙදි කොටස් කිහිපයක් එකතුකර මසා ගන්නත් පුළුවන්. වර්තමානයේ බෑග් කලාවේ ට්‍රෙන්ඩ් එක මෙයයි. එබැවින් හැඩට ඉන්න කැමැති ඔබට, ඔබේ දියණියට මේ බෑගය කදිමයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

ඩෙනිම් රෙදි හෝ ඝනකම් රෙදි වර්ගයක් නො. 5 සිපර් එකක් සහ හෙඩ් එකක්

ලයිනින් රෙදි

ඊවා ෂීට්

මුද්‍රිත රෙදි කැබැල්ලක් (මල සාදා ගැනීම සඳහා)

 

නිර්මාණය කිරීම

පළමුව පතරොම් ටික කාඩ්බෝඩ්වල ඇඳ සකස්කර ගන්න. ඩෙනිම් හෝ ඝනකම් වෙනත් රෙදි වර්ගයක් ගන්න. රූප සටහන් බලාගෙන අවශ්‍ය කොටස් කපාගන්න. මල් පෙති 24ක් කපා ගන්න. පෙති දෙකක් එකට තබා මසාගෙන හොඳ පිට හරවා අතරට පැඩිං ටිකක් තබා ගන්න.

 

එලෙසම පෙති 12ක් සාදා ගන්න. බෑගයේ ඉදිරිපස කොටස ඊවා ෂීට් තබා රූපය දෙස බලා රටාවකට මසන්න. දැන් සාදා ගත් මැද රවුම ගෙන ඉදිරිපස කොටස මැදින් තබා මසන්න. වටේට පෙති ටික තබා මලක් ආකාරයට මසන්න. මේ සඳහා වර්ණවත් අලංකාර රෙදි වර්ගයක් ගන්න. පිටුපස කොටසද ඊවා ෂීට් තබා මසන්න. හැඩ්ල් දෙක සකස්කර ගන්න. ඉදිරිපස, පිටුපස කොටස් සඳහා හැඩ්ල් පටි තබා මසන්න. අඩිය කොටස රෙදි, පැඩිං තබා මසන්න. ඉදිරිපස පිටුපස කොටස් එකට තබා මසා අඩිය තබා මසා ගන්න. අංක තුන රූපය මෙන් කොටස් දෙකක් කපා ගන්න. ලයිනින් රෙදි කොටස් දෙකක් කපන්න. අංක තුන රෙදි කොටස සහ ලයිනින් කොටස අතරට අඟල් 13 1/2 දිග සිප් එක තබා මසන්න. දෙපැත්ත පහළට මසන්න. සාදා ගත් ඉදිරිපස පිටුපස කොටස් දෙක කනපිට පැත්තෙන් වටේට මසා අඩිය කොටස අල්ලා ගන්න. බෑගය හොඳපිට හරවා ගන්න. මසා ගත් ලයිනින් බෑගය ඇතුළට බස්සවා කට වටේට මසා ගන්න. හොඳපිට හරවා ගන්න.

 

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

ඉරේෂා අබේකෝන්