වර්ෂ 2025 ක්වූ February 03 වැනිදා Monday
පබළු අත් බෑග් හරියටම හදමු
තරුණී සහ නුග සෙවණ සුලලිත ආදරණීය සුසංයෝගය නැවතත් හෘදයාංගම ළෙන්ගතුකමින් මෙසේ ඇරැඹේ.
පත්තර මහගෙදර සහ රූපවාහිනී මහගෙදර එක්ව මීට බොහෝ කලකට ඉහත ආරම්භ කළ ඒ සුවිශේෂී සුසංයෝගය නැවත මෙසේ ආරම්භ වීම සමස්ත තරුණී පාඨකයන්ට මෙන්ම සමස්ත රූපවාහිනී ප්‍රේක්ෂකයන්ටද සුබ ආරංචියකි. දෘශ්‍ය මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය හරි අපූරුවට එක් වූ මේ සුවිශේෂී ආදරණීය මොහොත ශ්‍රී ලාංකේය කාන්තාවන්ට අමරණීය සන්ධිස්ථානයක් වනු ඇත. එසේ නම් එන්න, ගොඩවෙන්න. මේ නුග සෙවණ තරුණී සුවිශේෂත්වයයි.
ඔබේ විවේකය සුන්දරවත් අර්ථවත් ලෙසත් ගත කරන්න පබළු නිර්මාණ පෙළක් සාදා ගන්නා අන්දම මෙවර තරුණී වෙතින් ඉදිරිපත් කරන්නෙමු. පුංචි පුංචි පබළු මඟින් විවිධ රටාවට ලස්සන නිර්මාණ කළ හැකි බව දැන් ඔබට පෙනී යයි. කොහොම නමුත් පබළුවල ඇති ආකර්ෂණය නිසාම එමඟින් කරන නිර්මාණවල ද අැත්තේ අපූර්ව සුන්දරත්වයකි. ඔබ මේ දකින්නේ අනගි පර්ස් නිර්මාණයකි.
අවශ්‍ය ද්‍රව්‍ය
පාට දෙකකින් පබළු (සුදු / සිල්වර් හෝ ඔබට කැමැති වර්ණ දෙකක්) නොම්මර 06, 08, 10 හෝ නොම්මර 06 ප්ලාස්ටික් පබළු
ක්‍රිස්ටල් පබළු
මිලි මීටර් 0.5 හෝ 0.55 තංගුස් නූල්
නිර්මාණය කිරීම
මෙය ආරම්භයේදීම ඔබ තංගුස් අමුණා ගන්නා ක්‍රම 02 පිළිබඳ දැනුවත් විය යුතුයි. අප කුමන පබළු නිර්මාණයක් සිදු කළ ද මෙම ක්‍රම දෙකට යටත්ව නිර්මාණය ඇමිණීම සිදු වේ.
01. ක්‍රොස් ක්‍රමය
02. ගැට ක්‍රමය
මෙහි ගැට ක්‍රමය බොහෝ ශක්තිමත්ය. ක්‍රොස් ක්‍රමය සිදු කරනුයේ තංගුස් පොටට පබළු හතරකින් දමා එක්පසෙක පබළුවකින් අනෙක් පස තංගුස් එක දෙපසට මාරු කිරීමයි.
ගැට ක්‍රමයේදී තංගුස් එකක තිබෙන පබළුව නැවත තංගුස් එකේ කොනට දමා අැද එය ලූස් එකක් සේ එතීමයි. අනතුරුව එය අතරට අනෙක් පස තංගුස් එක දමන්න. දමා හොඳින් අදින්න. එය ඇද හිර කරන ගමන් ගැටය පබළුව ඇතුළට දමන්න. ගැට පිටතට නොපෙනෙන සේ එමඟින් ලස්සන නිමාවක් ලැබේ.
ඔබ දකින පර්ස් එක ෂඩාස්‍ර හයක එකතුවකින් කළ නිර්මාණයකි. එක ෂඩාස්රයක් පළමුව සාදා ගැනීම මුලින්ම ඉගෙන ගනිමු. ඒ සඳහා යාරයක් දිග තංගුස් එකක් ගෙන එයට පළමුව සිල්වර් පාට පබළු 6ක් දමාගන්න. එම පබළු ටික තංගුස් පොටේ මැදට වන්නට කෙළවර දෙක අල්ලා ගන්න. එක කෙළවරක තිබෙන පබළුවකට අනෙක්පස තිබෙන පබළුව අතරින් යවා කතිර හැඩයට ඇදගන්න. එහි තංගුස් පොට දෙකෙහි එක පබළුවක් ඉතිරි වේ. ඉන්පසුව දෙවැනි පේළිය පටන් ගැනීමට එක පැත්තකට පබළු 5ක් දමාගන්න. (වම් පසට හෝ දකුණු පසට) එම පබළු 5න් අවසන් පබළුවට කතිරයක් ලෙස තංගුස් එක දෙපසට මාරු කරන්න. වමට පබළු දමාගෙන පටන් ගන්නේ නම් වම් පැත්තට පබළු දැමීම ආරම්භ කරන්න. ඊට ප්‍රථම දකුණු පස පබළුව අතරින් වම් පස තංගුස් එකට තව පබළු තුනක් දමා අවසාන පබළුව අතරින් නැවත තංගුස් පොට අනෙක් පසට මාරුකර ගන්න.
එවැනි අාකාරයට ඉතිරි පබළු තුන ද අමුණා ගන්න. රවුමකට සම්පූර්ණ කොටස් 6ක් එන ලෙස එම රවුම නිර්මාණය කර ගන්න. ඒ ක්‍රමයටම ඉතුරු පේළි ටිකත් ගන්න. ෂඩාස්‍රයේ හැම පැත්තටම පේළි 07ක් ඇත. ඒ හැම රවුමකටම පබළු 6ක් ඇත. එවැනි කොටස් 6කින් සකසාගත් කොටස් දෙකක් අඩිය ලෙස දෙපසටම නවාගන්න.
හැඩය සඳහා එම පබළු 6 මෝස්තරයම වුව නැවත භාවිත කරගත හැකියි. මෙහිදී අප නිර්මාණය කර ඇත්තේ පබළු 4 බැගිනි. ඔබට අවශ්‍ය පරිදි එවැනි පේළි 03ක් සම්බන්ධ කර ගන්න. එහි කෙළවරට ලොකු පබළු තුනක් හෝ ඔබට කැමැති ලෙස අමුණාගත හැකියි.
ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනි
කුමාරි පින්ටො
ඡායාරූප - තිලක් පෙරේරා