ලිප්ස්ටික්වලින් චිත්‍ර අඳින පුංචි කෙල්ල සෙනුති

අප්‍රේල් 15, 2024

 

ලිප්ස්ටික්වලින් හරි අපූරු චිත්‍ර අඳින කෙල්ල. කවුරුත් ඇය ගැන කිව්වේ එහෙමයි. මුහුණු පොතට ගියොත් ඇය සිත්තම් කළ චිත්‍රයක් ඇස නොගැටුණු අයෙක් නැති තරම්. ඇගේ මේ විස්මිත හැකියාවේ රහස ඇගෙන්ම අහලා දැනගන්න නම් ඇයව සොයාගන්නම වෙනවා. ඒ නිසාම අපි හිතුවා ඇයව සොයාගෙන යන්න.

 

ඉතින් අපි අද ඇවිත් ඉන්නේ කුරුණෑගල ඇතුගල්පුරවරයට. ඇතුගල්පුරය කියද්දී කාටත් මතක් වෙන්නේ ඇත්කඳ රජමහා විහාරස්ථානය. ඔව් මේ ඇෙග් ගම් පියසයි. Senu Art කිව්ව ගමන් ඔබට මතක් වෙයි අද කවුරු ගැන ද කියන්න යන්නේ කියලා. ඔව් මේ ඇය. සෙනුති අයෝද්‍යා දිසානායක. Senu Art පේජ් එකේ චිත්‍ර අඳින සිත්තරාවිය. ඇයත් සමඟ කතා කරලම බලමු.

 

සෙනූ චිත්‍ර අඳින්න පටන් ගත්තේ කොයි කාලෙදි ද?

 

චිත්‍ර අඳින්න ඕනම කෙනේක් පටන් ගන්නෙ පුංචිම කාලෙදි ඉඳන්. පැස්ටල් කූරු අරන් බිත්තිවල කුරුටු ගාන එකත් සිතුවම් නිර්මාණයක් තමයි. හැබැයි චිත්‍ර ගැන අවබෝධෙකින්, අලුත් දේවල් හොයන ගමන් ආසාවෙන් චිත්‍ර අඳින්න පටන් ගත්තෙ මම මීට අවුරුදු දෙක්කට කලින්. ඒ සාමාන්‍ය පෙළ ඉවර වෙලා නිකම්ම ගෙදර ඉන්න කාලෙ.

 

පාසල් යන කාලේ ජයග්‍රහණ ලබාගෙන තියෙනව ද?

 

මං සාමාන්‍ය පෙළ වෙනකන් ඉගෙන ගත්තෙ කුරුණෑගල ජනාධිපති බාලිකා විද්‍යාලයෙ. උසස් පෙළ හදාරන්නෙ කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙ. පාසල් කාලෙ ජයග්‍රහණ කොච්චර ලබාගෙන තිබුණත් ඒ එකක්වත් චිත්‍රවලට නම් නොවේ. අන්තිමට සෝෂල් මීඩියා හරහා තමා මගෙ නිර්මාණ ප්‍රේක්ෂකයන් අතරට අරගෙන යන්න පටන් ගත්තෙ.

 

දැන් අධ්‍යාපන කටයුතු අවසන් ද?

මං තාම ඉගෙන ගන්නවා. මේ අවුරුද්දෙ තමා උසස් පෙළ විභාගයට පෙනී ඉන්නෙ. කලා අංශයෙන් උසස් පෙළ හදාරනවා.

 

චිත්‍ර ඇඳිල්ල අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නෙවෙයි ද?

 

ගොඩදෙනෙක් මගෙන් එහෙම අහනවා. මම හැමදේම කළමනාකරණය කරගෙන වැඩ කරන කෙනෙක්. හැබැයි මේ ටිකේ අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දෙනවා. මොන දේ කළත් අධ්‍යාපනය හරියටකර ගත්තේ නැත්නම් ඒ ජිවිතයෙන් වැඩක් නැහැ.

 

කරන්න ආසම දේ චිත්‍ර අඳින එක ද?

චිත්‍ර අඳින එක තමා මං ආසාවෙන්ම කරන දේ. කලාව කීවම චිත්‍ර අඳින එක විතරක්මත් නෙවෙයිනෙ. තව අලුත් අලුත් නිර්මාණ අත්හදාබලන ගමන් ඉන්නෙ මේ දවස්වල.

 

දැන් ඔයාගේ වෘත්තිය චිත්‍ර ශිල්පය ද?

 

තමන්ගෙ විනෝදාංශයම මුදල් උපයන මාර්ගයකර ගන්න එක තමා හොඳම දේ. තමන් කරන දේ මොකක් වුනත් ඒක ආසාවෙන් කරන්න පුළුවන් වෙන්නෙ එතකොටනෙ. දැනට ව්‍යාපාරයක් විදිහට pencil arts අඳින එක තමා කරගෙන යන්ණෙ.

 

ඕඩර්ස් කීයක් වගේ ලැබෙනව ද?

ඕඩර්ස් භාරගන්න බැරි ප්‍රමාණයක් එක දවසකට විතරක් එනවා. රිප්ලයි කරලා ඉවරකර ගන්න බැරි තරමට msg ගොඩාක් පිරෙනවා මගෙ business acc වල. එච්චර වටිනාකමක් මට ලැබිලා තියෙන එක ගැන වචන කරන්න බැරි තරම් සතුටක් තියෙන්නෙ. ඒත් කොහොම වුනත් ඕඩර්ස් කීපයක් විතරයි මං භාර ගන්නෙ. මොකද කරන එක දෙක වුනත් නිදහසේ ලස්සනට ඉවර කරලා හොඳම කොලිටි එකෙන් දෙන්න ඕ‍ෙන නිසා.

 

Senu Art නම හැදුණේ  කොහොම ද?

"senu art" කියන නමට වටිනාකමක් හදලා දුන්න තැන තමයි සෝෂල් මීඩියා. ඒ නිසාම ආදරණීය මිනිස්සුන්ගෙන් ලැබෙන අගය කිරීම්වලින් අඩියෙන් අඩිය ඉස්සරහට යන ගමන් ඉන්නෙ..

 

සමාජ මාධ්‍ය ජාලාතුළින් මේ ගමන යන්න ලොකු උදවුවක් ලැබෙනවා ඇති?

 

සමාජ මාධ්‍ය ජාලා නැත්නම් මට මේ ජනප්‍රියත්වය ලැබෙන්නේ නැහැ. මගේ tiktok බලලා තමයි ලොකු පිරිසක් මා වටා එකතු වුණේ. දැන් fb එකට ගියොත් pages කිහිපයකම වගේ මගේ හැකියාව ගැන දාලා තියෙන post තියෙනවා.. ඒ හැමදේම වෙන්නේ සෝෂල් මීඩියා නිසා.

 

ඔයා චිත්‍ර අඳින්න භාවිත කරන්නේ වෙනස් වෙනස් ක්‍රම. කොහොමද මේ අදහස් ආවේ?

 

චිත්‍ර අඳින අය දන්නවා ඒවට පාවිච්චි කරන අමුද්‍රව්‍යවල මිල ගණන් කොච්චර වැඩිද කියලා. මුල්ම දවස්වල ඒ ඕ‍ෙන කරන කලර්ස් නැති නිසා ඒ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් ආදේශක මොනාද කියලා තමයි මං කල්පනා කරේ. ඒ වගේම වෙනස් අමුද්‍රව්‍යවලින් වෙනස් ක්‍රම පාවිච්චි කරලා චිත්‍ර අඳින අයත් ලංකාවෙ දකින්න ගොඩක් අඩුයි. ඒ නිසා ඒ විදිහට චිත්‍ර අඳින්න උත්සාහ කරලා බැලුවා. ගොඩක් වෙලාවට ලස්සන ලස්සන අදහස් ගන්නෙ යූටියුබ් එකෙන් තමයි. යූටියුබ් එකේ දකින දේවල් මං ආස විදිහට වෙනස් කරලා මගෙ අදහසුත් එකතු කරලා ලස්සන නිර්මාණ කරන එක තමයි මං කරන්නෙ. මම පැන්සලෙන් ඇඳපු චිත්‍ර වලට ලොකු රීච් එකක් තිබුණේ නැහැ. ඊට පස්සේ මම අඟුරුවලින් චිත්‍රයක් ඇන්දා. ඒකට ලොකු ප්‍රසිද්ධියක් ලැබුණා.මම ලිප්ස්ටික් වලින් කරන පේන්ට්ස්වලට ගොඩක් අය ආසයි. ඇඟිල්ලෙන් චිත්‍ර අඳින එකටත් කැමැති අය ඉන්නවා.

 

චිත්‍ර අඳින හැටි රූගත කරන්නේ කවුද?

 

content එකක් ක්‍රියේට් කරන තැනේ ඉඳලාArt එක ඇඳලා, video කරලා, edit කරලා අප්ලෝඩ් කරන තැන වෙනකන් මං තනියම තමා හැමදේම කරන්නෙ. ඒ නිසා අඩුපාඩුත් ගොඩක් වැඩියි. ඉස්සරහට ඒ දේවල් හදාගන්න බලාපොරොත්තු වෙනවා.

රඟපාන්න අවස්ථාව ලැබුණේ කොහොමද?

sapumal production යූටියුබ් චැනල් එකේ ' සරුංගල් ' කියන drama එකට තමා රංගනයෙන් දායකත්වය දෙන්නෙ මම ' සූකිරි ' කියන චරිතයෙන් . මං හරිම ආසාවෙන් සම්බන්ධ වුණ වැඩක් වගේම මට ලැබුණ වටින අවස්ථාවක් තමයි ඒ. ඒකටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

 

චිත්‍ර ඇඳලා ජීවිතය ජයගන්න පුළුවන් වෙයි කියලා කවදා හරි හිතුව ද?

 

කලින් එහෙම හිතලා තිබුණේ නෑ කවදාවත්. දැනටත් මං හිතන් ඉන්න සාර්ථකත්වයට මං තාම ගිහින් නෑ ඒත් මං උත්සාහ කරනවා. මට විශ්වාසයි අද හෙට නැතත් ඉක්මනට ඒ දවස එයි කියලා.

 

පවුලේ අයගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා ඇති..

 

මං ඉන්නෙ කුරුණෑගල සාරගම කියන ගමේ. අම්මා තාත්තා ගොඩක් උදවු කරනවා. තාත්තගෙන් තමා ගොඩක් උදවු ලැබෙන්න වැඩවලට. orders වලට අඳින pencil arts ෆ්‍රේම් කරලා, deliver කරලා ඒ හැමදේම හරියට බලන්නෙ තාත්තා තමයි.

 

මේ ගමන යද්දි බාධක කැපිලි කෙටිලිත් එන්න ඇති නේද?

 

අනිවාර්යෙන්. දැනටත් ඒක ඒමයි. අපිට ආදරේ කරන පිරිසක් වගේම අකමැති පිරිසකුත් ඉන්නවා අපි මොන ක්ෂේත්‍රයක හිටියත්. මං ඒ හැමෝගෙම හොඳ, නරක හැම ප්‍රතිචාරයක්ම සතුටින් භාර ගන්නවා.