වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
තාත්තා මට දුන්න හොඳම කලාව තමයි මහ පොළොවේ ජීවත්වන කලාව
තාත්තා
පිය සෙනෙහසක මතක අරුමැසිය
ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු . . .
ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු . . . .
පොළොවේ මිහි සයනේ ගොඩනැගූ මිනිස්සු . . . .
කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සු . . . .
මෙලෙසින් මහ පොළොවේ උරුමය සොයන මිනිසුන් අතර මරණය සැමටම උරුම බව සිතමින් ජීවත් වෙන මිනිස්සු ද අප අතර වෙති. වසන්ත කුමාර කොඹවකයන්ගේ පන්හිඳෙන් ලියැවුණු මේ පදවැල් අර්ථාන්විත හඬින් සැමගේ හදවත්වලට දැනෙන ලෙසින් ගායනා කළේ විශාරද ලක්ෂ්මන් විජේසේකර නම් විශිෂ්ට ගායකයාය. මිනිස්කම උතුරා ගලන හදවතක් ජීවිතය පුරාවටම සැබැවින්ම හිමිකර ගත් මේ කෘතහස්ත කලාකරුවාගේ හඬ පදවැල්වලට නොදෙවැනි ලෙසින් ගැළපී ගීතවත් වූයේ මිනිස් මහිමය ගැන ගැඹුරින්ම අපගේ හදවතට දැනෙන ලෙසිනි. ඔහුගේ හඬින් ගැයුණු අර්ථාන්විත එක් ගීතයක් පමණක් වුවත් ලක්ෂ්මන් විජේසේකර වූ නම් මේ ප්‍රවීණ කලාකරුවා කලා ලෝකයට තිළිණ කළ දෑ බොහෝය. දක්ෂ නිර්මාණකරුවකු ලෙසින් දශක ගණනාවක් පුරා නිර්මාණ රාශියක් බිහි කළ ඔහුගේ දයාබර බිරිය චන්ද්‍රා කළුආරච්චි දක්ෂ රංගවේදිනිය ද අපේ කිසිදිනක මතකයෙන් මැකී නොයයි.
ඔවුන් දෙදෙනාගේ මව්පිය උරුමයට හිමිකම් කියන්නට වාසනාව ලැබූ අමා විජේසේකර නම් දක්ෂ රංගවේදනිය ද මව්පිය උරුමය දෝත දරා කලා ලොව හැඩ කළ දක්ෂ නිළියකි. උපතින්ම තම මව්පිය කලා උරුමයට හිමිකම් කියූ අමා කා අතරත් ජනප්‍රිය වූයේ පුංචි තිරයේ අහිංසකාවිය ලෙසිනි. නිහඬව කලා කටයුතුවල නියැෙළමින් ඇයද තම මව සහ පියා මෙන්ම ඉතා සරල දිවියක් ගත කරන්නේ තෝරාගත් නිර්මාණවලට පමණක් දායක වෙමිනි. මෙලෙසින් නිහඬව ගත කරන ඇය පසුගිය දිනෙක අපට හමුවූයේ කලාපුරයේ ඔවුන්ගේ නිවහනයේදීය. තම ආදරණීය මව්පියන්ගේ මතකය ආවර්ජනය කරමින් මෙලෙසින් ඇය අප සමඟ පිළිසඳරට එක් වූයේ හෘදයාංගම මිත්‍රශීලීත්වයකිනි.
“මුලින්ම මම කලා ක්ෂේත්‍රයට එකතු වෙනකොට මට අවුරුදු පහයි. ඒ කියන්නේ මට කලාවට පිවිසීමට අවස්ථාව ලැබුණේ මව්පියන්ගෙන්. කලා පවුලක දරුවකු ලෙස මට ලැබුණු ජානමය ආභාෂය තුළින් තමයි මගේ හැකියාව ප්‍රගුණ කරන්න අවස්ථාව ලැබුණේ. ඇත්තට ඒ වගේ කුඩා වයසින් දරුවෙකුට කලාවට පිවිසෙන්න ලැබෙන අවස්ථාව බොහොම අඩුයි. නමුත් මගේ අම්මයි තාත්තයි දෙන්නාම කලාකරුවන් නිසා මට ඒ වාසනාව ලැබුණා. ඒකට ප්‍රධානම හේතුවක් වුණේ අපේ තාත්තා. ඔහු පුංචි කාලයේ පටන්ම අපව ඔහුගේ නිර්මාණවලට දායක කරගන්න ආසාවක් තිබුණා. පුංචි කාලෙ අපට නොතේරෙන වයසේදී පවා අපව නාට්‍ය බලන්න චිත්‍ර ප්‍රදර්ශනවලට, චිත්‍රපටවලට එක්ක ගියා. ඒ නිසා අපට නොතේරෙන වයසේ පටන්ම හොඳ ප්‍රවීණ කලාකරුවන්ගේ ඇසුර ලබන්න අවස්ථාව උදා වුණා.
අපේ තාත්තා ගායකයෙක් ලෙස බොහෝ දෙනෙක් හඳුනාගෙන හිටියාට ඔහු කලා ක්ෂේත්‍රෙය් නිර්මාණ රැසකටම දායක වුණා. ඔහු කිසිම දවසක නිකම් හිටියේ නැහැ. මොකක් හරි කටයුත්තකට දායක වෙනවා. ඒ නිසා ඔහුට කලා ලෝකයේ මිත්‍රයෝ විශාල ප්‍රමාණයක් හිටියා. මම තාත්තාගේ දැක්ක වටිනාම දේ තමයි ඔහු හරිම සරලයි. ඔළුවට ලොකු බරක් පටවාගෙන අනවශ්‍ය ලෙස මුදල් පසුපස හඹා ගියේ නැහැ. හරි නිදහසේ ජීවත් වුණේ. ඔහුගේ ජීවිතය තුළ දිදුළන ගමනක් නොතිබුණාට හරිම ආදර්ශමත් ලෙස ජීවත් වුණා. ඒකට තවත් හේතුවක් තමයි අපේ අම්මා. තාත්තයි අම්මයි අතර හොඳ බැඳීමක් තිබුණා.
ඒ දෙන්නා හොඳ අවබෝධයකින් ජීවත් වුණා. කිසිම දවසක අපේ අම්මයි තාත්තයි අපට බලපෑමක් කෙළ් නැහැ. අපට කැමති ක්ෂේත්‍රයක ඉගෙන ගන්න අවස්ථාව ලබාදුන්නා. මගේ මල්ලි විහඟ ප්‍රමුජිත. ඔහු තාත්තා වගේම හරිම නිහඬව කලා කටයුතුවල නියැළෙනවා.
ඒ වගේම අපේ මව්පියන් අපට ඉගෙන ගන්නත් සෑහෙන්න මුදල් වියදම් කළා. මම මූලික අධ්‍යාපනය ලැබුවේ මිලාගිරියේ ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ. ඉන්පසුව උසස් අධ්‍යාපනය සඳහා මම අෙමරිකාවේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරන්න ගියා. අධ්‍යාපනයෙන් පසුව මම වෙළෙඳ දැන්වීම් ආයතනයක සේවය කළා. මේ කාලයේදී තමයි මම විමල් ගැටපේආරච්චි සමඟ විවාහ වුණේ. මල්ලිගේ මගේ අධ්‍යාපන කටයුතු වගේම ගෙදර වැඩ හුඟක් හොයලා බලලා කළේ අපේ අම්මා. ඒ නිසා තාත්තාට නිදහසේ කලා කටයුතුවලට යොමු වෙන්න අවස්ථාව තිබුණා.
මම මුලින් සඳහන් කළ ආකාරයට තාත්තාට විවිධ කලා කටයුතු රැසකට දායක වෙන අවස්ථාව ලැබුණෙත් ඒ නිසයි. සංගීත නිර්මාණය, පසුතල නිර්මාණ, කලා අධ්‍යක්ෂණ කටයුතු රැසකට ඔහු දායක වුණා. මට මතකයි පුංචි කාලෙ තාත්තාගේ ගීත තුනක් සඳහා නිෂ්පාදන කටයුතු හා පසුතල නිර්මාණය කළේ අපේ ගෙදරම. ඒ සින්දු තුනට සෙට් එක හැදුවේ තාත්තා. මල්ලියි, මමයි දෙන්නම ඒ වැඩවලට හරිම ආසාවෙන් උදව් කළා.
අපේ තාත්තා අම්මාට හරිම ආදරෙන් සලකපු කෙනෙක්. ඒ වගේම තමයි අම්මා. ගෙදර වැඩ හැම දෙයක්ම හොයා බලපු අපේ අම්මා හදිසියේම අසනීප වුණා. ඒ වෙලාවේ තාත්තා අම්මට සලකපු විදිහ මට හිතාගන්නත් බැහැ. ඔහු පුදුම විදිහට පුදුමාකාර කැපවීමකින් රැක බලා ගත්තා. හැමදෙයක්ම මගේ උදව් ඇතුව කළේ තාත්තා. මට තාත්තා ගැන ලොකු ගෞරවයක් හා භක්තියක් ඇති වුණේ ඒ ඔහුගේ කැපවීම දැකලා. අම්මා මිය යනකම් තාත්තා කරපු ඇප උපස්ථාන ටික දැක්කම මට හිතුණා තාත්තා මොනතරම් උතුම් මනුස්සයෙක් ද කියලා.
අපේ තාත්තා මුදල් මත ජීවත් නොවුණ කෙනෙක් නිසා කිසිම දවසක ඔහුට ආර්ථික ගැටලු තිබුණේ නැහැ. හැබැයි ලොකු සල්ලියකුත් තිබුණේ නැහැ. ඔහු හැම මනුෂ්‍යයෙක් එක්කම හරිම සුහදශීලීව ජීවත් වුණා. මුදලින් කාට හරි උදව් කරන්න බැරි නම් ශ්‍රමයෙන් හරි සෑම කලා වැඩකටම දායක වුණා. ඇත්තටම අම්මයි, තාත්තයි ජීවත්වන ආකාරය ගැන අපට තරුණ කාලේ ඒ තරම් අවබෝධයක් තිබුණේ නැහැ. අපි හිතුවේ මේ තරම් ජනප්‍රිය වෙලත් ඇයි තාත්තා පයින් යන්නේ, ඇයි මේ තරම් මිනිස්සුන්ට උදව් කරන්නේ? එහෙම කරලා අම්මයි, තාත්තායි සල්ලි හම්බ නොකර දුක් විඳිනවා. මෙහෙම දුක් විඳගෙන ජීවත් වෙන එකේ තේරුම මොකක්ද කියලා.
නමුත් අද අපි වයසින් මුහුකුරා ගිහින් වැඩිහිටියන් ලෙස ජීවත් වෙනකොට තමයි අපට ඔවුන්ගේ ජීවත්වීම කලාව ගැන ගැඹුරින් දැනෙන්නේ. ඇත්තටම ඔවුන්ගේ ජීවිතවල අමුතු ගැඹුරක් තිබුණා. කලාකරුවන් ලෙස සාමාන්‍ය මිනිස්සු සමඟ ගැටෙමින් ඔවුන් හරි සරලව ජීවත් වුණා. ඒ නිසා ජීවිතයේ ප්‍රශ්න අඩුයි. මහ ලොකු සල්ලියක් හම්බ කළේ නැති වුණාට මහ පොළොවේ පය ගහලා හරි සරලව ජීවත් වුණා. මට දැන් තේරෙනවා ඒ ජීවත් වුණු ආකාරය තමයි හරි කියලා.
එහෙම හිතලා දැන් මමත් හෙමින් ගමනක් යනවා. මම නිර්මාණ හොයාගෙන හඹාගෙන යන්නේ නැහැ. ලැබෙන හොඳ නිර්මාණයකට දායක වෙනවා. ඇඳුම් හා මෝස්තර නිර්මාණකරණයේ නියැෙළනවා. මේ දවස්වල වේදිකා නාට්‍ය දෙකකටත් දායක වෙනවා. තවත් රූගත කළ ටෙලි නාට්‍ය කිහිපයක් තිරගත වෙන්න තියෙනවා. මම හිතනවා නාට්‍ය විශාල සංඛ්‍යාවක රඟපානවාට වඩා හොඳ නිර්මාණයකට දායක වෙලා මතක හිටින එක් චරිතයක් රඟපෑවත් ඒක මිනිසුන්ගේ මතකයේ රැඳෙනවා කියලා. ඒ නිසා මම ප්‍රමාණාත්මක රංගනයට වඩා ගුණාත්මක රඟපෑම ගැන වැඩියෙන් හිතනවා. එතකොට මටත් අම්මයි, තාත්තයි වගේ මිනිස්සු ආදරේ කරන කලාකාරිනියක් වෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා.