භාග්‍යවන්ත මාසයේ නව අරුණලු පහස විඳිමු

අප්‍රේල් 14, 2021

 

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය සිංහල අලුත් අවුරුද්ද යයි කීවාට වරදක් නැත. සැබැවින්ම භාග්‍යමත් මාසය නමින් හඳුන්වන මෙම මාසයේ නව අරුණලු රැස් මහ පොළොවට පතිත වෙද්දී සුපිපෙන සුගන්ධවත් පුෂ්පයන්ගෙන් සමන්විත මේ සොඳුරු සුකොමල මනස්කාන්ත පරිසරය අන් කවරදාකටත් වඩා සුන්දරය.

විචිත්‍ර සම්පන්නය. කෘෂිකර්මාන්තය හෙළ වෙදකම එකට සබැඳි එදා යුගය ලංකාවේ පෙරදිග ධාන්‍යාගාරය බවට පත්වූවේද, වෛද්‍ය ක්ෂේත්‍රය අන් කිසිදු රටක වෛද්‍ය වෘත්තියට වඩා ශක්තිමත් වූවේද අපේ මේ තිබූ සබැඳියාව නිසාමය.

එදා කෘෂි ආර්ථිකයෙන් ස්වයං පෝෂිතවූ අපේ රටේ මිනිස්සු තම යුතුකම ලෙස සැලකූ කළගුණ සැලකීම අදට වඩා ඉහළින්ම ආරක්ෂා විණි. තම ගොවිතැනට එහි සරුබවට හේතුවූ හිරු රශ්මියට කෘතගුණ සලකමින් හිරු දෙවියා පිදීම සූර්ය මංගල්‍යය අලුත් අවුරුද්ද එසේත් නැත්නම් හෙළයේ මහා මංගල්‍යය සමරූහ.

අස්වැන්න ගෙට ගෙන ලද අස්වැසිල්ලෙන් ඵල ලැබීමට, සතුට අභිවෘද්ධිය සැමරීමට එදා සිට අද ද සිංහලයා කරගෙන යන මේ සැමරුම් උළෙල අද අපට ඉතිරි වී ඇත්තේ ඒ වටිනා සාරධර්ම ගුණගරුක ඇවතුම් පැවතුම්වල අවශේෂ කොටස් පමණකැයි සිතීමට තරම් කරුණු ඇත. එදා පැවැති ආගමික හැදිියාව, ක්‍රීඩා කෞශල්‍ය ආහාරපාන හා ආගන්තුක සත්කාර අදවන විට ශේෂවී ගොසිනි.

එහෙත් ඒ සම්ප්‍රදාය ඉදිරියට ගෙන යාම ඔබ අප කාගේත් යුතුකම වන්නේය. රජකු වුවත් ලෙඩකු නම් ඉන් පළක් නොවේ. ඒ නිසා මුලින්ම නීරෝගි මානසිකත්වය නීරෝගි කායික සුවය අපට දායාද කරන සිංහල අලුත් අවුරුද්ද සුවිශාල කරුණු කාරණා රැසක්

අපට හුවා දක්වයි. ඒ අතර පිදිය යුත්තන් පිදීම ආහාරයට මුල් තැනදෙමින් ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට ක්‍රීඩාව හා වෙනයම් ක්‍රියාමාර්ග තුළින් කායික සුවය උදාකර ගැනීම අපගේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අතර වෙයි.

කොටින්ම කියනවා නම් එකම වෙලාවට සුබ නැකතට පන්සල් යන, ආහාර පිසින, ආහාර අනුබව කරන නැකතට මුල්තැන දෙන රටක් වෙන නැති තරම්ය. එය අපේ අන්‍යන්‍යතාවයයි. අපේ සිංහල ලකුණයි.

එය ආරක්ෂා වන්නේ වෙන කිසිවක් නිසා නොව සිංහල අලුත් අවුරුද්ද වෙතින් පමණි.

අපේ රටේ රසවත් ආහාරපාන එළියට එන්නේ අලුත් ඇඳුම් විලාසිතා එළියට එන්නේ ක්‍රීඩා කුසලතා එළියට එන්නේ මේ අවුරුදු කාලෙටය.

ඒ පමණක්ද නොව රාජකාරියට හෝ නිවෙසට කොටුව ගත කළ අවිවේකී මානසිකත්වයෙන් මිදී එකට එකතුවන ආගමික සහජීවනයට හුරුවන එකම දවස මේ සිංහල අලුත් අවුරුද්දයි.

විශේෂයෙන් නැකතට මුල් තැන දෙන මේ අවුරුදු සමයේ ඔබට අපට බලපාන ග්‍රහ තත්ත්වයය කෙබඳු දැයි අපට සොයා බැලිය හැකියි.

එදා රජවරු සිටුවරු පවා අලුත් අවුරුද්දේ ක්‍රියාකාරකම් පිළිබඳව නැකැත් සීට්ටුවට මුල්තැන දුන් අයුරු අපට පොත පතින් දැක බලා ගැනීමට පුළුවන.

අදද ඒ සංස්කෘතික වටිනාකම අප අතර පවතී. නැකත නිසි වෙලාවට කටයුතු කිරීමය.

එය කෙබඳු සංස්කෘතියකට වුවද කෙබඳු ජනතාවකට වුවද කෙබඳු ජනකොටසකට වුවද හරවත් කටයුත්තකි. එදා අප රට සහලින් කෘෂි භෝගවලින් ස්වයං පෝෂිත වූවේ නැකතට යලට මහට පරිසර ක්‍රියාකාරකම් වලට අනුගතව කටයුතු කළ නිසාය. එයට සුවිශේෂී දායකත්වය උරුම වූවේ මේ නැකැත් ශාස්ත්‍රය තුළිනි. ඒ නිසා එදා මෙදාතුර මහඟු වගකීමක් ඉටු කරන ඡ්‍යොතිෂය පිළිබඳව එය ස්වභාවය හා ග්‍රහ තත්ත්වය පිළිබඳ මෙසේ සිතා බලමු.

නව වසරේ සූර්ය සංක්‍රාන්තියත් සමග එනම් හිරු මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වී නව ගමන අරඹන අප්‍රේල් මාසය මෙසේ අපට වැදගත් ක්‍රියාකාරකම් රැසක් හුවා දක්වයි.

ඒ අනුව අප්‍රේල් 14 වන දින අලුම 02.23 ට සූර්යයා මේෂ රාශියට ප්‍රවිශ්ඨවීමද, මෙදිනම කුජ ග්‍රහයා අළුයම 01.14 ට මිථුන රාශි ගතවීමද බුධ ග්‍රහයා 16 වන දින රාත්‍රී 08.58 ට මේෂ රාශි ගත විමද සමඟ සුවිශේෂ ග්‍රහ වළල්ලක අසිරිය අපට ගෙනහැර දක්වයි.

ඊට පෙර අප්‍රේල් 06 වන දින අලුයම 00.23 ට (05 දින රාත්‍රී 12.23 ට) ගුරු ග්‍රහයා නීචයෙන් මිදී සිය උච්ච රාශිය වන කුම්භ රාශියටද අප්‍රේල් 10 වනදා සිකුරු ග්‍රහයා උදේ 06.29 ට මේෂ රාශි ගතවීමද අප රටට අපට ඉතා සුවිශේෂී සුබවාදී ග්‍රහ වළල්ලක අසිරිය දක්වයි.

මෙය අපට ඉතා සුවිශේෂී නව ගමනාරම්භයකට අසිරිය දනවයි. නීචව සිට ගුරු නීචයෙන් මිදීම බුධ, සිකුරු යහපත කරා යාම හිරු අභිවෘද්ධිය කරා ඒම අපගේ අඳුරු යුගය දුරු කරමින් සොඳුරු ලොවකට අවතීර්ණ විය හැකි බවට කදිම නිදසුනකි.

කදිම පණිවුඩයකි.

ඒ අනුව අප රටට අපට ඒ ඒ ලග්න අනුව මෙවර සිංහල අලුත් අවුරුද්දෙන් පසු කෙසේ දැයි විමසා බලමු.

 

 

අවුරුදු පලාඵල

මේෂ ලග්නය

නි‍ෙවසේ උත්සවශ්‍රීයක්

මේෂ ලග්නයට අනුව මෙම වකවානුව ඔබට සුවිශේෂී වෙයි. සිතේ සතුට අභිවෘද්ධිය හා නිර්මාණශීලී බව මෙන්ම කොයි කා අතරත් කැපී පෙනෙන තත්ත්වයක් උදාවේ. විවාහ සහකරු සහකාරිය අතර අන්‍යෝන්‍ය සබැඳියාව දැඩිවනු ඇත. නි‍ෙවසේ උත්සවශ්‍රීයක් උසුලයි. පිනට දහමට නැඹුරු වනු ඇත.

 

වෘෂභ ලග්නය

රාජකාරියට දුර බැහැරට යයි

වෘෂභ ලග්නයට අනුව ඔබට මෙම අවුරුදු සමය නි‍ෙවසින් පිට රාජකාරි යෙදෙනු ඇත. විශේෂයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ අයගේ කටයුතු බහලුවනු ඇත. ධනය අතින් වියදම් පැත්ත වැඩිවන අතර තම අනාගතය වෙනුවෙන් යහපත් ආයෝජන රැසක් සිදුවන බව පෙනේ. තමාගේ ඥාති සබඳතා වැඩි දිියුණු වනු ඇත.

 

මිථුන ලග්නය

ව්‍යාපාරික පල

මිථුන ලග්නයට අනුව කටයුතු බහුලවේ. ආර්ථික අතින් උසස් ලැබීම් සහිතයි. අවුරුදු සමයේ තම ඥාති පිරිස් නි‍ෙවසට යාම්, ඒම් වැඩිවේ. තමාට රැකියා ස්ථානගත ව්‍යාපාරික ස්ථානගත අභිවෘද්ධිය මතු කෙරේ. සමාජයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු රැසකට සහභාගි වීමට සිදුවේ.

 

කටක ලග්නය

කලා නිර්මාණ බිහි වේ

කටක ලග්නයට අනුව ඔබට මෙම වකවානුව රැකියා ස්ථානගත අභිවෘද්ධිය මතුවේ. ස්ථානමාරු රැකියා තනතුරු, උසස්වීම් සහිතයි. ව්‍යාපාරයකට අත ගසනවානම් එයටම සුබ කාලයකි. තම කලා නිර්මාණ බිහි කිරීමට පොත් පත් රචනා කිරීමට සුදුසු පසුබිමක් වැටේ. පාදයේ වළළුකරට අගුණයි. ප්‍රවේශම් වන්න.

 

සිංහ ලග්නය

පෙර පින පල දේ

සිංහ ලග්නයට අනුව මෙම වකවානුව ඔබට වියදම් අධික වුවද ඊට සමගාවීව ලැබීම් සහිතයි. තම පෙර පිං මහිමය මතුවීම තුළ ලැබිය යුතු හිමිකම් සහිතයි. ඉඩම් ලාභ හා මිල මුදල් හිමිවන කාලයකි. ගුරු 7 හි විවාහ ස්ථානගත සහයෝගිතාව අවිවාහක අයට මංගල යෝග උදාවීම පෙන්වයි.

 

කන්‍යා ලග්නය

වෙහෙස මහන්සිය දැඩි වේ

කන්‍යා ලග්නයට අනුව මෙම වකාවුනව ඔබට පිටරටක සිටින අයකුගෙන් යහපත් ප්‍රතිචාර ලැබේ. කුජ 10 වැන්නේ නිසා අධිෂ්ඨානය සපලවී ආර්ථික සම්පත් උදාකර ගැනීමටට හේතුවේ. තුනටියට අපලයි. ප්‍රවේශම් වන්න. අධික වෙහෙස මහන්සිය නිසා කාලය අමිහිරි විය හැකිය. එහෙත් තම හිතවතුන් තම කටයුතුවලට සහාය වන නිසා සිතේ සතුට ඇතිවේ.

 

තුලා ලග්නය

ක්‍රමවත් ජීවන රටාවක්

තුලා ලග්නයට අනුව සැමදේම තුලනාත්මකව සිදු කිරීමට ඔබට අවස්ථාව උදාවේ. විවාහගත අභිවෘද්ධිය ඇතිවේ. තම ආදර සබඳතා පුළුල් වේ. සෙනෙහස දයාව සිත තුළ ඇතිවීම නිසා ක්‍රමවත් ජීවන රටාවකට යොමුවිමට හැකි වේ. දරු සම්පත් අපේක්ෂා කරන අයට වාසනාවන්ත පුත්‍ර ඵල හිමිවනු ඇත.

 

වෘෂ්චික ලග්නය

අඹුසැමි මතභේද

වෘෂ්චික ලග්නයට අනුව අධික වෙහෙස මහන්සිය හා සමාජ කටයුතු බහුලවීම තම ගෘහ ජීවිතයේ කටයුතු අඩාලවීමට හේතුවේ.

ඒ නිසා අඹුසැමියන් අතර මතභේද සිත් වේදනා කම්කටොලු ඇතිවීමට පුළුවන. ආගමික අංශයේ කටයුතු කෙරේ යොමුව සිත සන්සුන් කරගෙන අනාගතය වෙනුවෙන් කටයුතු කිරීම සුබ වේ.

 

 

ධනු ලග්නය

ගෘහ ජීවිතය යහපත් වේ

ධනු ලග්නයට අනුව මෙම වකවානුව ඔබට සුබයි. නිවසේ අලංකාරය සඳහා කටයුතු සැලසේ. තම දූ දරුවන්ගේ දක්ෂතා මතුවන වකවානුවකි. ඒ නිසා එය අනාගත අභිවෘද්ධිය සඳහා හේතුවේ. නි‍ෙවසේ් උත්සවශ්‍රීයක් උසුලයි. තම මවුපියන් වෙනුවෙන් වැඩි කැපවීමක් කිරීමට සිදුවේ. ගෘහ ජීවිතය යහපත්ය.

 

මකර ලග්නය

නි‍ෙවසේ අලුත්වැඩියාවක්

මකර ලග්නයට අනුව මෙම වකවානුව ඔබට වාහන නිවාස හිමිකම් උදාවේ. නිෙවසේ අලුත්වැඩියාවක් හෝ නව නිෙවසකට යාමට අවස්ථාව උදාවේ. නි‍ෙවසට අලුත් ගෘහ භාණ්ඩ රැගෙන එනු ඇත. යටිබඩේ අසාත්මිකතා පැන නගී. අවුරුදු සමයේ තෙල් කෑම සැරකෑම සුබ නැත. ඇඟ නිවෙන ආහාරපාන සුදුසුවෙයි.

 

කුම්භ ලග්නය

අතමිට මිල මුදල් ගැවසේ

කුම්භ ලග්නයට අනුව ඔබ නව ව්‍යාපාරයකට අතගසයි. මනලියන්ගේ උපකරණ විලාසිතා අංශ නියෝජනය කරන ව්‍යාපාර මේ අතර ප්‍රමුඛවේ. තමා ආගමික කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන වකවානුවකි. අතමිට මිල මුදල් ගැවසේ. තම බලාපොරොත්තු වූ පරිදි ගෘහ ජීවිතයේ නව ගමන් මහඟකට හේතුවේ.

 

මීන ලග්නය

සුහද හමුවීම් බහුලවේ

මීන ලග්නයට අනුව ඉතා සුබ ආරංචි ඔබට අසන්නට හැකි වේ. තම දූ පුතුන් තමා වෙනුවෙන් වැඩි කැපවීමක් සොයා බැලීමක් සිදු කෙරෙනු ඇත. එකිනෙකා අතර සිදුවන සුහද හමුවීම් බහුලවේ. ලැබීම් අතින් ද යහපත්ය. ගෘහ ජීවිතයේ සොඳුරුතම කාලය යයි කීවාට වරදක් නැත.

සුබසෙත ජ්‍යෙෂ්ඨ කර්තෘ

අජිත් ධර්මසිරි