බලාගෙන ඉන්නකොට නි‍ෙවසක් තනා නිමකර ගන්නා පුංචි රහස්

මාර්තු 18, 2024

 

නිවෙසක් තැනීම තාක්ෂණික කටයුත්තකට වඩා ගැඹුරු වූ ක්‍රියාවලියකි. ඒ සඳහා තාක්ෂණික දැනුම පමණක්ම ප්‍රමාණවත් නොවෙයි. මේ කටයුත්ත සාර්ථක කර ගැනීමට ගෘහ නිර්මාණ ශිල්පය මෙන්ම ජ්‍යොතිෂ්‍යය හා සබැඳි වාස්තු විද්‍යාත්මක පදනම ද බෙහෙවින්ම වැදගත්ය.

අපට මුදල් තිබූ පමණින් නිවෙසක් තනා ගැනීමට නොහැකිය. ඒ සඳහා ඉඩමක් හා එම කටයුත්ත සාර්ථකව නිම කළ හැකි තාක්ෂණික ශිල්පීන් හා අමුද්‍රව්‍ය රාශියක් අවශ්‍ය වෙයි. මේ නිසාම නිවෙසක් තැනීමේ කටයුත්ත ආරම්භ කිරීමට පෙර ඒ සඳහා සුදුසු කාල හෝරාවක් මුලින්ම තීරණය කිරීම මේ කාර්යය වඩාත් හොඳින් සාර්ථක කර ගැනීමට හේතු වෙයි.

නිවෙසක් තැනීමේදී අපි පියවර ගණනාවක් අනුගමනය කරමු. මුලින්ම අපි ඉඩමක් තෝරාගත් පසු ඊළඟ පියවර ලෙස නිවෙස තැනීමට සුදුසු ස්ථානය තීරණය කරමු. මේ සඳහා නිවාස සැලසුම දිශාගත කර ගැනීමට ලණු ඇදිම පළමු පියවරයි. තවත් වැදගත්ම කටයුත්තක් වන්නේ අත්තිවාරම කැපීමයි. ඉන්පසුව සිදු කරන කටයුත්ත වන්නේ මුල්ගල් තැබීමයි. මුල්ගල් තැබීමෙන් පසුව බිත්ති බැඳීම ද ආරම්භ වන්නේ සුබ නැකතිනි. මෙය බිත්ති පිරීම ලෙසින් ද හඳුන්වයි. මේ කටයුත්තෙන් පසුව සිදු වන්නේ නිවෙසේ උළුවහු, ජනෙල් තබා උළුවහු පැහීමේ කටයුත්තයි. අවසානයේදී වහලය ගසා සුබ නැකතින් නිවසේ පදිංචි වීම සිදු කරනු ලබයි.

මේ කටයුතුවලට අමතරව බීමට ජලය ගැනීම, ළිං කැපීම ද සුබ මොහොතින් සිදු කරන කටයුතු කිහිපයකි. මේ සඳහා ඔබට ප්‍රවීණ ජ්‍යොතිශාස්ත්‍රඥයකුගේ මඟපෙන්වීම අත්‍යවශ්‍ය වෙයි. ඒ අනුව එම වාස්තු ශාස්ත්‍රඥයා විසින් කෝණ ලබන කාලසීමාවන් හෙවත් මාස හා සත්දින මරු සිටින දිශාවන් කෙරෙහි අවධානය යොමු කර ඒ සඳහා සුදුසු කාල හෝරාවන් තීරණය කරනු ලබයි.

 

කෝණ ලබන කාල

විශ්වයේ පවතින ග්‍රහ වස්තූන්ගේ බලපෑම සැලකිල්ලට ගෙන පුරාණ ඍෂිවරයන් විසින් අනාවරණය කරගත් රාශි 12කි. එයට නැකැත් 27ක්. දිශා 8ක්, දවස් 7ක් සහ තීර්ථ 30ක් මුල්කර ගනිමින් වාස්තු විද්‍යාව නිර්මාණය වී ඇති බව අප පසුගිය ලිපිවලදී සාකච්ඡා කරන ලදි. එහෙත් වර්ෂයේ පවතින ලිත් මාස 12 මුළුල්ලේම දවසේ ඕනෑම වේලාවක, ඕනෑම නැකතක්, දිශා 8 පුරා සුබ නොවනු ඇත. සුබ කටයුත්තක් සඳහා අසුබ යැයි සම්මත කාලපරිච්ඡේද 4ක් වාස්තු විද්‍යාවේ හඳුන්වා දී තිබේ.

ඒ අනුව වර්ෂයේ මාස 12ට අයත් කාලසීමා තුළ බලපවත්වන නැකැත් අනුව ප්‍රධාන කෝණ ලබන සීමාවන් හෙවත් අසුබ කාල 4ක් වාස්තු විද්‍යාවේ සඳහන්ව ඇත. එම කෝණ කාලය තුළ විශේෂයෙන් ගෘහ ආරම්භක කටයුතු, ව්‍යාපාරික කටයුතු හා විවාහ කටයුතු නොකළ යුතු යැයි අවධාරණය කරයි. එමනිසා නිවාස තැනීමේ ගෘහ නිර්මාණ ශිල්පයේ අත්තිවාරම දැමීම, උළුවහු තැබීම, වහල ගැසීම ආදී සියලු කටයුතු සඳහා සුබ මොහොතක් කෝණ ලබන කාලසීමාවන් සැලකිල්ලට ගෙන තීරණය කළ යුතු වෙයි.

මීන කෝණය

මෙයට අයත් වන්නේ මාර්තු මාසයේ 14 සිට අප්‍රේල් 11 දින දක්වා කාලයයි. මේ කාලය තුළ සූර්යයා මීන රාශියේ ගමන් කරයි. මීන කෝණ කාලසීමාව සුබ කටයුතු සඳහා යොදා නොගන්නා ලෙසත් විශේෂයෙන් ගෘහ කටයුතු මේ කාලය තුළ ආරම්භ කළහොත් ඒ සියල්ල අසාර්ථක වන බව වාස්තු ශිල්පීන් සඳහන් කරයි. මෙවැනි නැකත් කිරීමට වාස්තු විද්‍යාත්මක මෙන්ම විද්‍යාත්මක පදනමක් ද වෙයි. එනම් මේ කාලසීමාව තුළ පවතින කාලගුණ තත්ත්වය නිවෙසක කටයුතු ආරම්භ කිරීමට හෝ හිරු එළියට නිරාවරණය වූ කටයුතු සඳහා සුදුසු නොවනු ඇත. හිරු කිරණ ඍජුවම පෘථිවිය මතට පතිත වීම මේ කාල වකවානුව තුළ සිදුවන බැවින් එය ඕනෑම කටයුත්තක් සඳහා බාධා ගෙන දෙයි.

 

මිථුන කෝණය

ජුනි 15 වැනිදා සිට ජූලි 16 දක්වා වන සූර්යයා මිථුන රාශියේ සිටින කාලය මිථුන කෝණ මාසය ලෙස හඳුන්වයි. එම කාලය තුළ සුබ කටයුතු ආරම්භ කළහොත් සතුරු පීඩාවන් ඇතිවන අතර, නෑසියන්ගෙන් හා අසල්වැසියන්ගෙන් උවදුරු සිදුවන බව වාස්තු ග්‍රන්ථයන්හි සඳහන් වේ.

කන්‍යා කෝණය‍

සූර්යයා කන්‍යා රාශියේ ගමන් කරන කාලය කන්‍යා කෝණ මාසය ලෙස හඳුන්වයි. සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 15 දක්වා මේ කාලයයි. මේ කාලය තුළ සුබ කටයුතු ආරම්භ කළහොත් කඩාකප්පල් වීම හා ලෙඩ රෝග ඇතිකරන බව සඳහන් වේ.

ධනු කෝණය

විශේෂයෙන් නිවාසවල මුල්ගල් තැබීම, උළුවහු තැබීම, වහල ගැසීම කිසිම කටයුත්තක් මේ කාලසීමාව තුළ සිදු නොකරයි. මේ කාලයේදී සූර්යයා ධනු රාශියේ ගමන් කරන කාලයයි. එම කාලය තුළ සුබ කටයුතු ආරම්භ කිරීමෙන් රැකියා කටයුතු කඩාකප්පල් වන බවත්, වැඩිහිටියන්ට කරදර සිදුවන බවත් ජීවිතයට නොයෙකුත් බාධකවලට මුහුණදීමට සිදුවන බව වාස්තු ශිල්පීහු පෙන්වා දෙති.

අපි මීළඟ ලිපියේදී කෝණ හර කාලසීමාවන් පිළිබඳ විමසා බලමු. එම කාලසීමා තුළ නිවෙසක කටයුතු ආරම්භ කළ යුතු කාලසීමාවන් හා දිශාවන් ගැන එහිදී විමසා බලමු.

 

උපදෙස් -

ධර්මපාල සොන්දප්පෙරුම ආරච්චිගේ

සංහිඳ ජෝතිෂ්‍ය හා වාස්තු විද්‍යාපදනම

මඩපාත පාර කොටගෙදර පිළියන්දල