අඳුරු අතීතය පසෙකලා සොඳුරු අනාගතය වැලඳගන්න

සැප්තැම්බර් 26, 2022

 

අපේ සතුට රැඳී ඇත්තේ අපේ අතේමය. එහෙත් බොහෝ දෙනකුට එය වටහා ගැනීමට නොහැකිව තිබීම කනගාටුවකි. මේ ජීවිත පෙළ ගැස්ම ඔබේ සතුට ඇත්තේ ඔබේම අතේ බවත් එය සොයා ගන්නේ කෙසේදැයි පහදා දීමටත්ය. එන්න, කියවන්න. ජීවිතයට සතුට කැඳවා ගන්න.

 

සතුට වෙනුවෙන් ජීවිතය නැවුම් කර ගන්න. ඔබ ඔබගේ ජීවිතයේ බාහිර ස්වරූපය වෙනස් කරන විට එහි ඇතුළාන්තයෙන්ම ඇති වන ආකල්ප ද වෙනස් වෙයි.

බොහෝ දෙනකුගේ නිවෙස, කාර්යාලය ලියන මේසය අපිළිවෙළ ය. හැඩි වූ මේසයක් යනු හැඩි වූ මනසක් බවට මතයක් ඇත. අල්පේච්ඡ ජීවිතයක සුන්දර බව විග්‍රහ කෙරෙන ලස්සන කතාවක් ඛලීල් ජිබ්‍රාන් පවසා තිබෙනවා.

 

එක්තරා මිනිසෙක් දිළිඳු මිනිසකු තම නිවෙසට කැඳවා ගෙන එනවා. පළිඟු හා මැණික්වලින් අලංකෘත වූ මාලිගාවක් බඳු නිවෙසක් මේ ධනවතාට තිබුණා. ඉතා ප්‍රණීත භෝජන සංග්‍රහයක් ද අමුත්තා වෙනුවෙන්ම ලබා දුන්නා. මට මෙපමණ දේවල් තියෙනවා. ඔබට තියෙන්නේ මොනවා දැයි ධනවතා දිළිඳු අමුත්තාගෙන් විමසුවා. එවිට දිළිඳු අමුත්තාගේ පිළිතුර වූයේ ඉර, හඳ, තාරකා, ගහකොළ මේ සියල්ල මට අයිති යැයි මා සිතන බවයි.

 

ඔබට දිනක මේ සියල්ල අතහැර යන්නට සිදු වේවි. ඒ නිසා ඔබට අනවශ්‍ය දේ අන් අය වෙනුවෙන් දීමේ චිත්ත ප්‍රීතිය අයත් කර ගන්න.

ඔබට යම් වැඩක් කිරීමට සිදු වූ විට එය වඩා සුබදායි ලෙස අතිරේක සැතපුමක් ගමන් කරමින් ඉටු කරන්න.

මහා තෘප්තිය ට පැමිණියේ මානවයා කෙරෙහි ඇති මාගේ නොනිමි අතෘප්තිමත් ආදරය නිසා බව මහත්මා ගාන්ධිතුමා පවසා ඇත.

අඳුරු අතීතය පසෙකලා සොඳුරු අනාගතය වැලඳගන්න.

සාදූ සුන්දර සින් මෙසේ පවසා ඇත."උදෑසන දෙන ලද පණිවුඩය ක්‍රිෂ්ණා ගෙනි. දහවල දෙන ලද පණිවුඩය බුදුන් වහන්සේ ගෙනි. සන්ධ්‍යාවේ දී දෙන ලද පණිවුඩය ක්‍රිස්තුස් වහන්සේ ගෙනි. මේ සෑම පණිවුඩයක් තුළම ඇත්තේ එකම අර්ථයකි."

අන් අය හෙළා නොදකින්න. අන් මතයට ගරු කරන්න. අන් අයගේ දේට ආශා නොකරන්න.

අන් අයගේ දියුණුවට ඊර්ෂ්‍යා නොකරන්න.

රහසක් භාර දුන් විට, එය පණමෙන් ආරක්ෂා කර ළඟ තබා ගන්න.

ඔබේ අයිතීන් දිනාගැනීම වෙනුවෙන් ඔබම ඉදිරිපත් වෙන්න.

ඔබේ ජීවිතය ගැන වගකීම ඔබ විසින්ම දරාගන්න.

උස් පහත් භේදවලින් තොරව සියලුම දෙනාට එක සේ ගරු කරන්න.

ඔබ විවාහ වන විට, ඇගේ, ඔහුගේ පවුල සමඟ ද විවාහ වෙන්න.

කරදර ගැහැටවල දී විලෝ ගසක් මෙන් නැවී සුරැකියාව සොයා ගන්න. තාරාවකු මෙන් ජීවත් වෙන්න. මතු පිටින් සන්සුන්ව සිට යටින් උපරිමෙන් මහන්සි වෙන්න.

තනිවම මහන්සි වී ප්‍රතිඵල ලබා ගැනීමේ සතුට අත්විඳින්න.

ඔබ ඔබේම වර්ණනාව කියවීමට හෝ ලිවීමට උත්සාහ නොකරන්න.

ආචාරශීලීත්වය ප්‍රගුණ කරගන්න.

අන් අයට හිරිහැර කරන්නන්ට එරෙහිව නැඟී සිටින්න. හිරිහැර ලබන අයව ආරක්ෂා කරන්න.

ඔබ කැමැතිම දේ ඔබේ සිහිනය කරගන්න. ඒ සිහින පිළිබඳ ලියන්න. ලැබෙන තුරුම ඒවා පසුපස එළවන්න.

විශ්වාසවන්ත හා නිහතමානී කෙනෙක් වන්න.

ඔබ වෙනුවෙන් ජීවත්වෙන සහ ඔබව විශ්වාස කරන අයව ආරක්ෂා කරගන්න.

මානසික තෘප්තිය වෙනුවෙන් සෑම දෙයක්ම කරන්න.

සංචරණය කරන්න.

සංගීතය ප්‍රිය කරන්න.

කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සොයා ගන්න.

ආගම, සංගීතය, ප්‍රිය තෙපුල්, නින්ද ඔබව ඉහිල් කරවයි.

 

ඔබේ ජීවිතය සාර්ථක වේවා!

 

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් - අලෙවි

පාලිත දිසානායක මහතාගෙන්

ඔබේ දිවිමඟට පහන් වැටක්