අවුරුදු 15න් උසස් පෙළ ලියා අඩු වයසින් වැඩ පෙන්නපු හලාවත අවීෂා

ජුනි 10, 2024

 

අම්මාට සහ තාත්තාට ලෝකයේ හමුවන උත්තරීතරම දායාදය වන්නේ තම දරුවන් ය. ඕනෑම මවක පියකුගේම තම දරුවන්ගේ ජයග්‍රහණයක සතුට දැක දෑස්වලින් උතුරා පිටාර ගලන්නේ ඔවුන්ගේ හද පත්ලෙන් නැඟෙන දාරක සෙනෙහසයි. අද අප මේ කතා කරන්නට යන ඒ දියණිය, අම්මාගේ සහ තාත්තාගේ පමණක් නොව මුළු රටේම ගෞරවාදරය දිනාගන්න සමත් වූවාය. ඒ ඇය උසස් පෙළ විභාගයෙන් ලබා ගත් ඉමහත් ජයග්‍රහණය නිසාවෙනි. ඇය සුවිශේෂි වන්නේ ඇයට තවම වයස අවුරුදු 15ක් වන නිසාවෙනි. වයසට වඩා දැනුමින් මුහුකුරා ගිය ඇය පුත්තලම දිස්ත්‍රික්කයේ ගණිත අංශයෙන් 16 වැනියා වුණා. හලාවත විජේකටුපත පදිංචි ඇය අවීෂා නෙත්සරණි මංචනායකය.

 

අඩු වයසකින් වැඩ පෙන්වපු අවීෂා වයසට වඩා දැනුමින් මුහුකුරා ගිය හරි අපූරු දියණියක් වග හැමෝම දැනගත්තේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලැබීමත් සමඟයි. හැබැයි මීන් පෙර අවස්ථා කිහිපයකදීත් ඇය සැබැවින්ම දක්ෂ දියණියක් බව ඔප්පු වී තිබුණා. ඇය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 190 අරගෙන තිබුණා. ඒ විතරක් නෙවෙයි ඇය සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්නේ 8 ශ්‍රේණියේදී. සම්මාන 8ක් සහිතව සාමාන්‍ය පෙළ විභාගයත් සමත් වුණා. කිසිම උපකාරක පංතියකට නොගිය ඇයට මේ දක්ෂතාව උපතින්ම හිමිව තිබීම නම් හරිම අහම්බයක්.

 

මේ ලැබුණු ජයග්‍රණයත් එක්ක ඇය නම් ඉන්නේ කියා ගන්න බැරි තරමේ සතුටකින්. ඒ ජයග්‍රහණයේ සතුට තරුණී සමඟින් බෙදා හදා ගන්නට ඇය හඬ අවදි කළේ මේ විදිහට.

 

මට හොඳ ඉලක්කයක් තිබුණා. මගේ ජයග්‍රහණවලට ප්‍රධාන හේතුව වුණේ මට මා ගැන තිබුණ ලොකු විශ්වාසයයි. විශ්වාසය තිබුණට මදි කැපවීම සහ අධිෂ්ඨානය තියෙන්න ඕනේ. අධ්‍යාපන වැඩ කරන කාලය තුළ බාහිර ලෝකයෙන් ඉවත් වෙලා ඒ කටයුත්ත හොඳින් අධ්‍යයනය කළොත් හැමෝටම ජය ලබන්න පුළුවන්. මම අන්තර්ජාලයෙත් නිතර ඉන්න කෙනෙක්. හැබැයි ඒ අධ්‍යාපන කටයුතුවලට පමණයි. නරක පැත්තකට යොමු වෙනවානම් අන්තර්ජාලය නිසා ඕ‍ෙනම කෙනකුට විනාශ වෙන්නත් පුළුවන්. මට විභාගවලට සහ වෙනත් තරගවලට 6 ශ්‍රේණියෙන් පස්සේ ඉදිරිපත් වෙන්න ලැබුණේ නෑ. කොරෝනා කරදර ආවා. ඒත් එක්කම 8 ශ්‍රේණියේදී පාසලෙන් ඉවත්වුණ නිසාත් එවැනි දේට යොමු වෙන්න අවස්ථාවක් ලැබුණේ නෑ. කුඩා පන්තිවල ඉද්දි නම් ඉදිරිපත්වුණු හැම තරගයකදීම හොඳින් ජය ලැබුවා.

 

මට උදවු කරපු හැම ගුරුවරයෙක්ම මේ අවස්ථාවේ ආදරයෙන් ගෙෳරවයෙන් මතක් කරනවා. මගේ තාත්තා අම්මා ඒ අය තමයි මගේ හොඳම ගුරුවරු. මම දෙවියන් බුදුන් ලෙස අදහන්නේ අම්මව තාත්තව. මගේ බලාපොරොත්තුව තමයි කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩිදුර හදාරන්න. එහෙම කරලා මගේ රටට සේවයක් කරන්න පුළුවන් කියල මම හිතනවා. ඉස්සරහට කරන්න මට ලොකු වැඩ කොටසක් තියෙනවා. ඇය පිපාසයෙන් දැනුම සොයන්නියකි. මේ පුංචි වයසට මෙවැනි දෙයක් කළ නොහැකියි කියා කියන අයට ඇය ආදර්ශයකි. උත්සාහය කැපවීම නිසා අද ඇය ඒ ජයග්‍රහණය ලබා ගෙන ඇත. ඇගේ මේ ගමනට හිරු සඳු වූයේ ආදරණීය මාපිය දෙපොළ ඇයව මේ තැන තිබූ ඒ මාපිය යුවළගේ නෙතේ රැඳුණේ ආදරණීය සතුටු කඳුළුය. ඒ සතුටු කඳුළු පිරුණූ දෑසින් ඔවුන් බලාගෙන ඉන්නේ තරුණීට මේ කතාව කියන්නයි.

 

ඇයගේ පියා පුද්ගලික ආයතනයක සේවය කරන තාක්ෂණික නිලධාරියෙකි. ඔහු කුමාර මංචනායක. ඔහුගේ දයාබර බිරිය උදේනි ප්‍රියංගාට සහ ඔහුට සිටින ඒ එකම දරුවා අවීෂා නෙත්සරණි බව මව පවසන්නේ හරිම ආඩම්බරයෙනි. දියණියකට පියෙක් කියන්නේ මහමෙරක්. පියෙක්ට දියණියක් කියන්නේ වටිනා මැණිකක්. ඉතින් දියණියක් සහ පියෙක් අතර ඇති බැඳීම හරි පුදුමාකාරයි. මේ ආදරණීය දියණිය ගැන ඔහු හඬ අවධි කළේ මේ විදිහට.

 

මගේ දුව පොඩි කාලේ ඉඳලම හරි දක්ෂයි. ඒක මම තේරුම් ගත්තේ එයා බොහොම පුංචි කාලේ ඉඳලා. දුවගේ මුල්ම පාසල වුණේ හලාවත විජයකටුපත මහා විදුහලයි. එයා පෙරපාසල් යන්න පටන් අරගෙන වැඩිකාලයක් ගියේ නෑ අවුරුදු 3දි විතර ඉඳලා ඉස්කොලේ යන්න ආශාවෙන් අපිට ඇවිටිලි කළා. ඒත් පාසලට ඇතුළත් කරගන්න නියම වයසක් තියනවානේ. අපි අවුරුදු 6න් දුවව ගමේ පාසලට ඇතුළත් කළා. පස්සේ 03 ශ්‍රේණිය වෙනකන් එහි අධ්‍යාපනය ලැබුවා. ඒවෙනකොටත් දුව අධ්‍යාපනයේ විශේෂ දක්ෂතා පෙන්නුවා. පස්සේ දුවව අපි පුත්තලම විල්පත අනුර මහා විදුහලට ඇතුළත් කළා. එයා 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වුණා. ලකුණු 190 ක් ගත්තේ කිසිම උපකාරක පන්තියකට යවන්නේ නැතුව. මට ඉස්කෝලෙන් කියාදෙන දේ ඇති කියලයි දුව හැම වෙලාවෙම කිව්වේ.

පස්සේ මගේ රැකියා අවශ්‍යතාවයක් නිසා ගම්පහ පදිංචියට ගියා. අපි කුලී නිවසක තමයි පදිංචි වුණේ. දුවව ගම්පහ රත්නාවලී මහා විදුහලට ඇතුළත් කළා. එයා පන්තියේ සෑම අවුරුද්දකම පළමුවෙනියා. සෑම විෂයකටම ලකුණු 90ට වැඩිය ගත්තා. දෝණි කියනවා එයාට 10 සහ 11 ශ්‍රේණිවල පොත් කියවන්න ආසයි, ඒ පොත් සොයලා දෙන්න කියලා. පාසලේ අක්කලා අයියලාගෙන් පොත් ඉල්ල ඉල්ලා කියවනවා.

 

පස්සේ එම පොතුත් මම පොත් සාප්පුවකින් මුදලට ගෙනත් දුන්නා. පස්සේ දුව 8 පන්තියේ ඉද්දි මැයි මාසේ කිව්වා එයාට අ. පො.ස .සාමාන්‍ය පෙළට ලියන්න ඕනේ කියලා. අම්මත් මමත් බැන්නා ඔයාට තාම වයස තියනව පිස්සු කතා කරන්න එපා කියලා. එහෙම කිව්වාට මගේ හිතත් කිව්වා දුවගේ දක්ෂතා එක්ක ඒ දේ දුවට පුළුවන් කියලා.

 

දුව අඬලා කිව්වා සාමාන්‍ය පෙළ  ලියන්න දුන්නේ නැත්නම් ආයේ ඉස්කොලේ යන්නේ නෑ කියලා. මට බය හිතුණා පස්සේ මමත් බිරියත්  පාසලට ගිහිල්ලා  විදුහල්පතිවරයාව මුණ ගැහිලා ඉල්ලීමක් කළා. මේ පිළිබඳව අපිට එතුමා දොස් කිව්වා ළමයාගේ අධ්‍යාපනය, අනාගතය විනාශ කරන්න එපා වයස තියෙනවා. පාසලේ එහෙම උසස් පන්තියකට දාන්නත් බෑ කියලා. අපි පස්සේ දරුවගේ පෙරැත්ත කිරීම නිසාම සාමාන්‍ය පෙළ විභාගයට පුද්ගලිකව  ඉල්ලුම් කළා. දුවව පාසලෙන් නීත්‍යනුකූලව අස්කරගත්තා. දුව 2022 වර්ෂයේදී විභාගය ලියනවා. එතකොට එළියට බහින්න බෑ. කොරෝනා. දුව කළේ ගෙදරට වෙලා පාඩම් කරපු එක. අපි පුද්ගලික පන්තියකට දමන්න හැදුවත් එයා යන්න බෑ කිව්වා. ගෙදරට ගුරුවරු ගෙනල්ලා උගන්වන්න හැදුවත් කැමති වුණේ නෑ.

ඒ වර්ෂයේ එයා විභාගයට පුද්ගලික අංශයෙන්  ලියලා A සමාර්ථ 8ක් සහිතව විභාගය සමත් වුණා. පස්සේ කිව්වා උසස් පෙළ ලියන්න ඕනෙ කියලා අම්මා තදින්ම විරුද්ධ වුණා. ඒත් එයාගේ ස්ථාවරයේම හිටියා. අපි කිව්වා එහෙනම් පුද්ගලික පන්තියකට යමු කියලා. බෑ කිව්වා. මගෙන් ඉල්ලීමක් කළා අවශ්‍ය පොත් ගෙනත් දෙන්න කියලා.

එයා පෙළපොත්වලට අමතරව අන්තර්ජාලය යුටියුබ් හොඳින් පරිශීලනය කළා. සිලබස් හොයා ගත්තා. උසස්පෙළ අවුරුද්දයි තනියම අධ්‍යයනය කළේ, ලියන්න ඕනේ කිව්වා.

පස්සේ අපි 2023 වර්ෂයේදී පුද්ගලික අයදුම්කරුවකු විදිහට විභාගයට ඉල්ලුවා. ඒ අනුව මේ වර්ෂයෙදී උසස් පෙළට  ලියලා තමයි ඔය ප්‍රතිඵලය ලබා ගත්තේ. මට මහ පුදුම සතුටක් දැනෙන්නේ මගේ දෝණී ගැන. කිසිම උපකාරක පන්තියකට නොගොස් අවුරුදු 15 දී ගණිත අංශයෙන් උසස් පෙළ කරලා දිස්ත්‍රික්කයක 16 වැනියා වෙනවා කියන්නෙම ඇය නම් උපන් හපනියකි. මේ ජයග්‍රණය උපයා ගත්තේ ඇය විසින්මයි. ඇය තනිව යන ගමනට අත්වැල සැපයූවේ මේ මාපිය දෙපොළයි. දියණියකගේ ජයග්‍රණයක් පිටුපස ඉන්න පියකුට සේම මවකට ද තම දියණිය ගැන කියන්න බොහෝ දේ තිබිය හැකියි. මේ ඒ ආදරය වචන වූ හැටිය.

 

මේ වගේ දුවෙක් මගේ කුසෙන් බිහි කරන්න ලැබීමත් ලොකු වාසනාවක් කියලයි මට හිතෙන්නේ. අපිට ඉන්න එකම දරුවා. අපි හැමදේම කරන්නේ එයා වෙනුවෙන්. සමහරවිට ඒ නිසාම වෙන්නත් ඇති එයා අපිව මේ විදිහට සතුටු කරන්නේ. පාඩම් වැඩ කොච්චර තිබුණත් පුළුවන් වෙලාවට ඇවිල්ලා මට කුස්සියේ වැඩවලටත් උදවු කරනවා. අමතර පන්තිවලට අපිට රුපියලක්වත් වියදම් වුණේ නැහැ. දුව තනියමමයි මගෙන් ගත්තේ. හැබැයි මම ඒක අනුමත කළේ නැහැ. ඉන්න එකම දරුවා නිසා මට ඕනේ වුණේ හොඳට උගන්වන්න. එයා කිව්වෙම එයා ගැන විශ්වාසය තියන්න කියලා. දවසින් දවස එයාගේ දක්ෂතා, ජයග්‍රහණ එක්ක අපිට එයා ගැන විශ්වාසය ඇති වුණා. අද එයා ගැන තියපු විශ්වාසෙට වටිනාකමක් ලැබිලා තියෙනවා. එයා ගැන මම මහ ගොඩක් ආඩම්බරයි. එයාට හොඳ ගමනක් තියෙනවා කියලා මට විශ්වාසයි.

 

අම්මා කෙනකුගේ බලාපොරොත්තුව දියණියකට ආදරණීය ආශීර්වාදයකි. තමාගේ දරුවා හොඳම තැන සිටීම සෑම මාපිය යුවළකගේම බලාපොරොත්තුවයි. ඔවුන්ගේ අාශීර්වාදය මැද ඈ යන මේ ගමනට අපි ද සුබ පැතුම් එක්කරන්නෙමු !