යහපත් බැඳීමකට ආදරය සහ කරුණාව අවශ්‍යයි

දෙසැම්බර් 4, 2019

පින්වතුනි, කවුරුත් ආදරය කියන වචනයට රුචිකත්වයක් දක්වනවා. ආදරයෙහි ගැඹුර පිළිබඳ එතරම් වැටහීමක් නොතිබුණ ද ලොකු, කුඩා වශයෙන් හැමෝම ආදරයට ආදරෙයි. අන් හැම දෙයකටම වඩා සියල්ලන්ම ආදරය සොයයි.

ධර්මයේ ‘ආදරය’ යන වචනය ‘ප්‍රේමය’ නමින් හඳුන්වා දෙයි. බුදු දහම ප්‍රේමය, ශෝකයක්, දුකක් ලෙස සැලකුව ද කිසිසේත් එය ප්‍රතික්ෂේප නොකරති. මක්නිසාද ආදරය බැහැර කොට මේ සමාජයට ගමන් කළ නොහැකි බැවිනි.

මිනිසුන් පමණක් නොව තිරිසන් සත්ත්වයා ද ආදරය සොයයි. මේ අනුව ආදරය කෙතරම් වටිනා දෙයක් ද යන්න මැනැවින් පැහැදිලි වනු ඇත.

ආදරයේ යථාර්ථය වේදනාව බව පැහැදිලි කරන බුදු දහම එහි ඇති වටිනාකම ද මැනැවින් පැහැදිලි කරයි. ආදරය වේදනාවක් බව සුද්ධෝදන රජු රාහුල කුමාරයාව බුදුන් වහන්සේ පැවිදි කළ අවස්ථාවේ සඳහන් වචන වලින් පැහැදිලි වේ. “සම්, මස්, නහර, ඇට, ඇට මිදුලු විදගෙන ආදරය ගමන් කරයි. දරුවන්ට ඇති ආදරය එය අහිමි වූ විට දරා ගැනීම අතිශය අපහසුය.”

ආදරයෙහි වටිනාකම තහුවරු වනුයේ එයට කරුණාව මුසු වූ විටය. එවිට සුන්දර මිනිසුන් සිටින පරිසරයක් බිහිවනු ඇත. වර්තමානයේ දකින්නට ලැබෙනුයේ ආදරයට අයිතිවාසිකම් එකතුකර ඇති බවක්ය. එහිදී ආදරයේ ඇති පිරිසුදුකම අහිමි වනු ඇත.

ඔබ ඔබ තුළ යහපත් විඳවීමකින් තොර ජීවිතයක් අපේක්ෂා කරන්නේ නම් ආදරය සහ කරුණාව දැනෙන්න ජීවත් විය යුතුය. එය හදවතින් පුරුදු පුහුණු කරන්නට අවශ්‍ය දෙයකි. එකිනෙකා තුළ යහපත් පිරිසුදු බැඳීමක් ගොඩ නැගීමට නම් ඔවුනොවුන් මනා සංවාදයක් ඇති කර ගැනීම අත්‍යාවශ්‍යයි. වර්තමානයේ එකිනෙකා අතර කතා බහ බෙහෙවින් අඩු වී ගොසිනි. එවිට ඔවුනගේ අදහස්වලට ඇති ඉඩ ඇහිරී යාවි. එයින් එකිනෙකා වැරැදි පූර්ව නිගමනවලට එළැඹේවි. සැකය උලුප්පා දැක්වේවි.

පින්වතුනි, ආදරය සේම කරුණාව ද යහපත් මානව සබඳතාවක් ශක්තිමත් වීමට ඇවැසිමය. කරුණාව යනු හදවතේ ඇතිවන තෙතමනයයි. අනුකම්පාවයි. හදවතේ ඇති වන්නා වු අනුකම්පාව සහ තෙතමනය අනෙකා කෙරෙහි උපේක්ෂාවෙන් බලන්නට පුරුදු කරවයි.

ඇතැමුන් තවත් කෙනකුගේ අඩුපාඩු දකී. දොස් නගයි. එහෙත් ආදරය සහ කරුණාව එකතු වු විට ඇති වනුයේ දැඩි ආදරණීය සොඳුරු බවකි.

එහි ගෞරවනිය බවක් එකතු වේ. පින්වතුනි, ගෞරවයෙන් තොර ආදරයක් කිසිසේත් ඇති විය නොහැකිය.

ඔබ හැකි සෑම විටම අනෙකාට ගෞරව කරන්න. විශ්වාස කරන්න. විශ්වාසයෙන් තොර පැවැත්මක් කිසිසේත් ගොඩනැගිය නොහැකිය. ආදරය හා කරුණාව එකිනෙකා අතර වර්ධනය වන විට එකිනෙකාට ඔවුනොවුන් තේරුම් ගැනීමේ හැකියාව උදාවනු ඇත.

වර්තමානයේ දකින්නට ලැබෙන ලොකුම ඛේදවාචකය නම් ආදරය රාගයට පමණක් සීමා කිරීමට යාමයි. ආදරයට රාගය පමණක් එකතු කළ විට දිගු ගමනක් යා නොහැකිය. පින්වතුනි, බොහෝ පෙම්වතුන් සහ පෙම්වතියන්, ස්වාමිපුරුෂයන්, බිරින්දෑවරුන් මානසික අසහනයට පත්වනුයේ නිසි මානසික සබඳතා නොමැති බැවිනි. ආදරයට, කරුණාව එක් නොවුවහොත් ඇතැම්විට වෛරයකට වුව පෙරළේ.

ආදරයට, කරුණාව මුසු වූ විට ලැබෙන ලාභය නම් අනෙකා මොන තරම් සිත රිදෙන යමක් කළ ද කරුණාවෙන් ඉවසීමට පුරුදු වීමයි.

දරුවන් කෙතරම් මවුපියනට ඉවසිය නොහැකි දේ කළ ද මවුපියන් කිසි විටෙක උරන නොවේ. ඒ ඔවුන් තුළ දරුවන් කෙරෙහි ආදරය මෙන්ම කරුණාවද ගැබ් ව ඇති බැවිනි.

පින්වතුනි, මේ ලෝකයේ අංග සම්පූර්ණ මිනිසුන් දැකිය නොහැකිය. එබැවින් නිතරම උත්සාහ ගත යුත්තේ ජීවිතාවබෝධය පුළුල් කර ගැනීමයි. අවංකව අනෙකාට යමක් නොදී තමා සියයට සීයක් දෙයක් බලාපොරොත්තුවීම සිදු නොවිය යුත්තකි.

අප අතර යහපත් බැඳීමකට ආදරයත් සමග බැඳුණු කරුණාව නිසා එකිනෙකාට ඇති විය හැකි නොරුස්නා ගති ඉවසිය හැකියි.

කොතරම් දේ සිතට ආවද අනෙකාට රිදවිය යුතු නැත යන මනෝභාවය පැමිණේ. එක්තරා විදියකට එය ඔවුනොවුන් අතර ඇති වන අවබෝධය ලෙස ද හැඳින්විය හැකියි. දෙදෙනකු අතර සබඳතාවය බිඳී යනුයේ ඇතැම් විට පුංචිම කරුණක් නිසා විය හැකියි. එහිදී නැවත නැවත සිහිගන්වාගෙන ආදරය, කරුණාව පෙරදැරිව කටයුතු කරන්නේ නම් මැනවි. බැඳීමක් ශක්තිමත් වන්නේ එවිටය. ආදරය ළඟ දුක නොදැනීමට නම් එයට කරුණාව ද අවැසිමය.

 

අනුශාසනාව පානදුර රන්කොත් විහාරවාසී මහා කරුණා පදනමේ සභාපති

ශාස්ත්‍රවේදී රත්මලේ විමලකිත්ති හිමි

 

ඡායාරූපය - උපාලි ජයරත්න