වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ඔහුට/ ඇයට ඇත්තට ම ආදරෙයිද ? එහෙනම් මේ යුතුකම කරන්න
ඔබේ හදවතේ යම් කෙනකුට ආදරයක්, අනුකම්පාවක් තිබේ නම් ඔබ කළ යුතු යුතුකම කුමක්ද? ඇත්තටම ආදරේ බව පෙන්වන්නේ කොහොමද? අද අපි සදහම් සෙවණ ඔස්සේ ඒ පිළිබඳ පහදා දෙන්නෙමු.
ලොව්තුරා බුදුරජාණන්වහන්සේ ආනන්ද හාමුදුරුවන් අමතා මෙසේ වදාළහ.
"ආනන්ද, ඔබට යම් කිසි කෙනෙක් කෙරෙහි ආදරයක්, සෙනෙහසක්, අනුකම්පාවක් ඇත්නම් ඒ අයව තිසරණෙහි පිහිටුවන්න. එම පුද්ගලයාව ශ්‍රද්ධා, ශීල, ප්‍රඥා, ත්‍යාග, ශ්රැති යන කරුණු පහ කෙරෙහි යොමු කරවන්න''
ඔබත් මමත් කවුරුත් වැටී තිබෙන්නේ විශාල අනතුරකය. ඒ අනතුර තමයි කවදා කොතැනකදී හෝ මිය ගොස් නිරයට වැටෙන්න පුළුවන් වීම. කතා කර කර ඉන්න ගමන් මරණයට පත් වී ප්‍රේත ලෝකයක උපත ලැබිය හැකිවීම. මේ මරණයත් එක්ක සතර අපාය මහගෙදර කර ගත්තු සංසාරයකයි අපි ජීවත් වන්නේ. ඒක තමයි අපි කාටත් තිබෙන භයානක අනතුර.
ඔබ කාටහරි ආදරේ නම්, අනුකම්පා සහගත නම් අනේ මෙයා මට හිතවත්, මට උදව් කරලා තියෙනවා. මෙයා දැන් අමාරුවක වැටෙන්න යන්නේ. හිතවතකුට පොඩි කරදරයක් වුණත් ඔබ මේ ආකාරයෙන් වද වෙනවා ඇති. එහෙත් ඔහුට හෝ ඇයට සැබෑවටම මුහුණ පාන්නට වෙන්නේ මතුපිටින් පෙනෙන කරදරයට නෙවෙයි.
ඔබත් මමත් අපි කවුරුත් ඒ කියන්නේ මිතුරන් වේවා, සතුරන් වේවා කොයි කාටත් විශාල අනතුරක් තියෙනවා. මේ හිනාවෙලා ඉන්නවා. එහෙත් කවදා කොතැනකදී හෝ අපි මිය යනවානෙ. එහිදී නිරයේ උපත ලබන්නට පුළුවන්. කොපමණ සිනහවෙවී, විනෝද වී සිටියත් සුළු මොහොතකින් මරණයට පත් වී ප්‍රේත ලෝකයේ පහළ වෙන්නට පුළුවන්. සමහර වෙලාවට එක බත් මුට්ටියේ උයා ගෙන එක බත් පත කාගෙන හිටි අයට කවදා කොතැනකදී වුව මරණය හමුවන්නට පුළුවන්. කාට කවදා කොතැනකදී ඉස්සර වෙන්න වෙයි කියලා දන්නේ නැහැ.
අපි කවුරුත් මේ යන්නේ සතර අපාය මහගෙදර කරගත් සංසාර ගමනකයි. මේක තමයි අපි කාටත් තියෙන භයානකම අනතුර. එබැවින් ඔබ යම්කිසි කෙනකුට සැබෑවටම ආදරෙයි නම්, සෙනෙහස දක්වන්නේ නම්, අනුකම්පා සහගත නම් ඒ සියලු දෙනාම සංසාර දුකින් බේරා ගැනීම පිණිස ඔවුන්ට මඟ පෙන්වන්නට ඕනෙ. ඒක තමයි බුදුරජාණන්වහන්සේ කියා දුන්න සැබෑම ආදරය.
තව දුරටත් බුදුරජාණන්වහන්සේ ආනන්ද තෙරුණ්ට පැහැදිලි කළේ මෙහෙමයි.
"ආනන්ද ඔබේ ආදරණීයයන් ඔබ කියන දේ ඇහුන්කන් දෙනවා නම් මෙය පැහැදිලි කළ හැකියි. එහෙත් ඔබේ හිතවතා, ඥාතියා, ආදරණීයයා ඔබ කියන දේ ඇහුන්කන් නොදෙන්නට පුළුවන්. අන්න එවිට එයට ඇහුන්කන් දෙන ආකාරයට නම්වා ගැනීමට ඔබ දක්ෂ වන්න.''
බලන්න, බිම්බිසාර රජතුමා බුදුරජාණන්වහන්සේගෙන් බණ අසා සෝවාන් වූවෙක්. රටක් පාලනය කරනවා කියන්නේ ලොකු වගකීමක්. එහෙත් බිම්බිසාර සෝවාන් වූයේ රජකම් කරද්දීමයි. රජතුමාට ඛේමා නම් වූ බිසවක් හිටියා. එහෙත් ඇය බුදු දහමට ළැදි අයෙක් නම් නොවෙයි. රජතුමා හැම වෙලේම කල්පනා කළේ ඛේමා බිසව තුණුරුවන් වෙත යොමු කිරීමටයි. ඇය කිසිසේත් බණ ඇසීමට සූදානම් නැහැ. නමුත් මේ බිසවට හරි ලස්සන රූපයක් තිබුණා. ඇය මේ රූපයට ගොඩාක් ඇලුම් කළා. බුදු දහමේ කියන්නේ රූපය පිළිකුල් හැමෝම මිය යනවා කියන එකයි. ඕක අහන්න බණ දේශනා කරන තැනට යන්නෙ මොකටද ? කියලා ඇය නිතරම සිතුවා. ධර්මය හරියට නොදත් අය අදටත් මේ දේවල් කියනවා. ඛේමාත් තම රූපශ්‍රීයෙන් මාන්නයෙන් බණ ඇසීම ප්‍රතික්ෂේප කළා. එහෙත් තම බිසවට ආදරය කළ බිම්බිසාර රජතුමා උපක්‍රමශීලී වුණා. රජතුමා කල්පනා කළා දේවියට කෙසේ හෝ ශ්‍රද්ධාව ඇති කළ යුතුයි කියා.
රජතුමා බොහොම දක්ෂ ගීත නිර්මාණකරුවකු ලවා බුදුරදුන් වැඩ සිටිනා වේළුවනාරාමයේ සුන්දරත්වය වර්ණනා කෙරෙව්වා. මේ ලස්සන ගීතිකා වලින් කියැවුණ සුන්දරත්වය ඇති පරිසරයක බුදු රජාණන්වහන්සේ වැඩ සිටීම පිළිබඳ ඛේමා බිසව පුදුම වුණා. ඇය කල්පනා කළා. මේ තරම් රූපයට බුදුරජාණන්වහන්සේ ගරහනවා නම්, රූපය අනිත්‍යයයි කියා පිළිකුල් කරනවා නම් ඇයි මෙතරම් ලස්සන උයනක ඉන්නේ ? මේ උයනේ අසිරිය බලන්න මමත් යන්න ඕනේ. ඒත් මම බුදුරජාණන්වහන්සේ බලන්න නම් යන්නේ නැහැ. ඇය සිතුවා වේළුවනාරාමය බිම්බිසාර රජුගේ රාජකීය උද්‍යානයයි. මම සේවිකාවන් සමඟින් එහි යා යුතුයි සිතා බිසව වේළුවනයට ගියා. දැන් ඛේමා බිසව වේළුවනයේ සුන්දරත්වය විඳීමින්, අසිරිය බලමින් යනවා. ඈතින් බුදුරජාණන්වහන්සේ සංඝයා වහන්සේලාට බණ දේශනා කරනවා. මෙය දුටු ඛේමාට බුදුරජාණන්වහන්සේ කියන්නේ මොනවාදැයි අහන්නට ඕනේ වුණා. ඇය එහෙම සිතලා හොරෙන් අසා සිටියා.
මහා කාරුණික බුදුරජාණන්වහන්සේ කල්තියාම බුදු ඇසින් දකිනවා ඛේමාව. බිම්බිසාර රජුගේ අග බිසව ඛේමාව අද දවසේ ධර්මය දකින බව උන්වහන්සේට පෙනී ගියා. ඛේමාව රූපයෙන් මත් වූ අයෙක්. ඇයට රූපයේ යථා ස්වභාවය පෙන්විය යුතුයි. උන්වහන්සේ උපක්‍රමයක් යෙදුවා. බුදුරජාණන්වහන්සේ ඛේමාවට පමණක් පෙනෙන ආහාරයට දිව්‍යාංගනාවන් මෙන් ලස්සන කාන්තාවන් දෙදෙනෙක් බුදුරජාණන්වහන්සේට පවන් සලනවා වගේ සෘදියෙන් මැවුවා. රන්, රිදී, මුතු, මැණික් ආභරණ වලින් සැරසී සිටි මේ කාන්තාවන් දුටු ඛේමා සිතුවා අනේ මට වඩා මේ අය ලස්සනයි කියලා. මේ අතර බුදුරජාණන්වහන්සේ එම කාන්තාවන් ටිකෙන් ටික වයස් ගත වී අවලස්සනව වැරහෙන බව සෘදියෙන් පෙන්වූවා. ලස්සනට හිටිය කාන්තාවන්ගෙ හම රැලි ගැහුණා, කොන්ද කුදු වුණා, කෙස් සුදු වුණා. ඔවුන් ඇද වැටී එතැනම මිය ගියා.
ඒ සැණින්ම ඛේමාවගේ සිතේ තිබූ රූප මදය නැති වී ගියා. මට වෙන්නෙත් ඔය ටිකම තමයි. ඇයට අවබෝධ වුණා. ඇය බුදුරජාණන්වහන්සේ ඉදිරියට ගොස් ධර්මය ශ්‍රවණය කළා. අවසානයේ පැවිදි වීමට අවසරය ලැබුවා.
බලන්න, බිම්බිසාර රජතුමාගේ උපක්‍රමය. තම බිරියට උපක්රමශීලීව ධර්මය අවබෝධ කර දුන්නා. දැන් කාලේ අම්මලා දරුවන්ට ඉගෙන ගන්න කියලා බනිනවා, ගහනවා. තරගකාරී බව හමුවේ දරුවෝ අසරණ කරනවා. දරුවකු අධ්‍යාපනය ලැබිය යුතුයි. ඒත් ඉවසීමක් නැති ගුණධර්ම, චරිතවත් නැති දරුවකුගේ උගත්කම වැඩක් නැහැ. එබැවින් දරුවකුට ධර්මයේ ගුණ හුරු කරවන්න. දරුවාට ආදරේ නම් ගුණධර්ම පිරී ඇති උගත් දරුවකු බවට පත් කරන්න. තවද විවාහ ජීවිතයක් ගත කරන යුවළක් ළඟ ශ්‍රද්ධා, සීල, ප්‍රඥා, ත්‍යාග ගුණධර්ම සමානව තිබෙනවා නම් ඒ දෙදෙනා දෙවියෙක් දෙවඟනක් හා එකට වෙසෙනවා වගේ කියලා ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කර තියෙනවා. ඒ ජීවිතය පුරාම ඔවුන් දෙදෙනා තුළ ආදරය සතුට තියෙනවා.
එබැවින් ඔබ යමකුට ඇත්තටම ආදරේ නම් තුණුරුවන් ගැන ශ්‍රද්ධාවක් ඇති කරන්න. සීලයෙහි පිහිටුවන්න. ධර්මය අසන්නට යොමු කරන්න. ත්‍යාග වන්ත බව ඇති කරන්න.
ඔබේ අම්මාට තාත්තාට, බිරියට සැමියාට, දුවට පුතාට, යාහළුවාව යෙහෙළියට, පෙම්වතා පෙම්වතියට ආදී ප්‍රියයන්ට සසර කතරෙන් එතෙර වීමට මේ විදිහට උදව් කරන්න. එය ඔබටද පින්කමකි.
ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම දේශනාවක් ඇසුරිණි.