කාන්තාවන් අවලස්සනව සහ දුප්පත්ව ඉපදෙන්නේ ඇයි ?

මල්ලිකා සුත්‍රය ඇසුරෙන්
සැප්තැම්බර් 15, 2021

 

කේන්ති ගැනීමේ ඇති බරපතල කාරණය වන්නේ එයින් ඔවුන්ට රූපය අවලස්සන වී ඉපදීමට කර්ම ඇති පදම් සකස් කර දීම ය. අවලස්සන රූපයක් ඇතිව ඉපදීම විශේෂයෙන් කාන්තා පාර්ශ්වයට එක්තරා ආකාරයකින් සාපයක් බඳු ය.

 

අපගේ ශාස්තෘෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් නිර්වාණාවබෝධය සඳහා මෙන්ම ගිහි උපාසක උපාසිකාවන්ගේ අවශ්‍යතා හා සිතුම් පැතුම් පිලිබඳව ද ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් ඔවුන්ගේ සසර ගමන සුවපත්, යහපත් කිරීම අරමුණුකොටගෙන ද විවිධාකාර දේශනාවන් සිදුකර ඇත. එසේ කාමභෝගී ගිහි උපාසිකාවක් අරභයා දේශනා කළ, බැලූ බැල්මට ඉතා සරල දේශනාවක් මෙන් පෙනෙන නමුත් අපගේ ජීවිත කෙරෙහි තදින් ආරෝපණය කරගත යුතු වූ ද, ගැඹුරින් සිතිය යුතු පසේනදී කොසොල් රජතුමාගේ අග්‍ර මහේෂිකාව වූ මල්ලිකා බිසව අරභයා කළ දේශනාවක් කෙරෙහි මේ ලිපියෙන් අවධානය යොමු කරමු.

 

අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටි සමයේ මල්ලිකා දේවිය භාග්‍යවතුන්වහන්සේ වෙත පැමිණ වන්දනා කොට එකත්පසව හිඳ ගත්තා ය. ඉන්පසුව ඇය මෙම ප්‍රශ්න භාග්‍යවතුන් වහන්සේට පැවසුවා ය.

 

ස්වාමීනි, මේ ලෝකයේ සමහර ස්ත්‍රීන් අවලස්සනය, විරූපීය, දැකීමට අප්‍රසන්නය. එසේම දුප්පත්ය, ධනධාන්‍යයෙන් අල්පය, බෝග සම්පත් අල්පය, පහත් මට්ටමේ උපත් ඇත්තේය.එනම් අල්පේශාක්‍ය ය. එයට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක් ද?

 

ස්වාමීනි, මේ ලෝකයේ සමහර ස්ත්‍රීන් අවලස්සනය, විරූපීය, දැකීමට අප්‍රසන්නය. නමුත් ධනධාන්‍ය යෙන් ආඪ්‍යය, මහාධනය ඇත, මහා භෝග සම්පත් ඇත. මහේශාක්‍ය ය. එයට හේතුව කුමක්ද? ප්‍රත්‍යය කුමක්ද ?

 

ස්වාමීනි, මේ ලෝකයේ සමහර ස්ත්‍රීන් ලස්සනය, දර්ශනීයය, දුටු දුටුවන් පහදී,ඉතා ලස්සන වර්ණ සෞන්දර්යයෙන් යුක්තය. නමුත් දුප්පත්ය, ධනධාන්‍යයෙන් අල්පය, බෝග සම්පත් අල්පය, පහත් මට්ටමේ උපත් ඇත්තේය. එනම් අල්පේශාක්‍ය ය. එයට හේතුව කුමක්ද? ප්‍රත්‍යය කුමක්ද ?

 

ස්වාමීනි, මේ ලෝකයේ සමහර ස්ත්‍රීන් ලස්සනය, දර්ශනීයය, දුටු දුටුවන් පහදී,ඉතා ලස්සන වර්ණ සෞන්දර්යයෙන් යුක්තය.

 

ධනධාන්‍ය යෙන් ආඪ්‍ය ය, මහාධනය ඇත, මහා භෝග සම්පත් ඇත. මහේශාක්‍යය. එයට හේතුව කුමක්ද? ප්‍රත්‍යය කුමක්ද ?

 

සැබැවින්ම මෙම සතර පිරිසට සමාජයේ සිටින කාන්තා පිරිමි සියලුම දෙනා අයත් ය. මෙය සරල ප්‍රශ්නයක් බව මතුපිටින් පෙනුන ද මෙයින් සැබැවින්ම අසන්නේ ලෝකයේ පුද්ගලයන් අතර රූපයෙන් මෙන්ම සමාජීය ආර්ථික වශයෙන් විවිධත්වයක් විෂමතාවක් දක්නට ඇත්තේ ඇයි කියාය. එනම් දුප්පත් පොහොසත් භේදයක් ඇත්තේ ඇයි කියාය, ඇති නැති පරතරයක් ඇත්තේ ඇයි කියාය.. මෙම ගැටලුවට විසඳුම් දීමට ලොව සියලුම ආගමික මතවාද මෙන්ම ආර්ථික හා සමාජීය දර්ශන පවා ඉමහත් වෙහෙසක් දරයි. සමහරු ඒ සියල්ල නොපෙනෙන දෙවි කෙනෙකු හට පවරයි. සමහරු සමාජ අසාධාරණය කියා පවසයි. නමුත් මෙම ගැටලුවට සත්‍යය ලෙස බලපෑ හේතුව අප සම්මා සම්බුදුරජාණන්වහන්සේ විසින් මෙසේ පෙන්වා දෙන ලදී.

 

‘මල්ලිකාවනි, සමහර ස්ත්‍රීන් ක්‍රෝධ කරයි. බොහෝ සෙයින් කිපේ. සුළු දෙයක් කීව ද ගැටේ, තරහ වේ, දැඩි වේ, ද්වේශය පහළ කරයි. එසේම ශ්‍රමණයකුට හෝ බ්‍රහ්මණයෙකුට හෝ ආහාරපාන, වස්ත්‍ර , පාවහන්, මල්, සුවඳ විලවුන්, සයනාසන, ආවාස, පහන් ආදිය නොදේ. ඊර්ෂ්‍යා යුක්ත සිතින් වාසය කරයි. එනම් අනුන් ලබන්නා වූ ලාබ සත්කාර ගෞරව වන්දනා පූජා කෙරෙහි ඊර්ෂ්‍යා කරයි, තරහ ඇති කර ගනී. ඊර්ෂ්‍යා ව බැඳගනී. එමනිසා ඒ පිරිස යම් දිනක ඒ ජීවිතයෙන් චුතවී යම් තැනක උපදී ද ඔවුන් අවලස්සනය, විරූපීය,දක්නට අප්‍රසන්නය, දුප්පත්ය, භෝග සම්පත් අල්පය,පහත් මට්ටමේ උපත් ඇත්තේ වේ.. ‘

මෙයින් අපට වැටහෙන්නේ අවලස්සන වීමට බලපාන අංක එකේ කාරණය වන්නේ කේන්ති ගැනීමයි, ක්‍රෝධයයි, කිපීමයි, තරහ ඇති කර ගැනීමයි, ගැටීමයි. මේ සමාජයේ සිටින සමහර බිරින්ඳෑවරු ද , සමහර ස්වාමීපුරුෂ උත්තමයන් ද ගත් කල ත්‍රස්තවාදී නායකයන් බඳුය. ළඟින් ගියොත් ඇසක් අහිමි වේ. හොස්ස ළඟින් මැස්ස යන්නට බැරිය. නමුත් එම කේන්ති ගැනීමේ ඇති බරපතල කාරණය වන්නේ එයින් ඔවුන්ට රූපය අවලස්සන වී ඉපදීමට කර්ම ඇති පදම් සකස් කර දීම ය. අවලස්සන රූපයක් ඇතිව ඉපදීම විශේෂයෙන් කාන්තා පාර්ශ්වයට එක්තරා ආකාරයකින් සාපයක් බඳු ය. ඔවුන්ව සමාජයෙන් කොන් වේ. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ම සමාජයේ උසුළු විසුළුවලට පත් වේ. තමා කැමති ආකාරයේ සහකරුවෙක්ව සොයා ගැනීමට නොහැකි වේ. එසේ කිරීමට උත්සාහ ගතහොත් පිරිස අතරම ඇයව විහිළුවක් බවට පත් වේ. සමහරවිට රැකියාවෙන් ඉහළට යෑමට ද රූපය බාධාවක් විය හැකියි. එමනිසා යමෙකු එවන් ඉරණමක් තමා කරා එනවාට බිය නම් අකමැත්තෙන් හෝ කැමැත්තෙන් හෝ තරහ නොගෙන සිටීමට උත්සහයක් හෝ ගත යුතු ය.

 

මෙහි ඇති යහපත් කාරණය නම් යමෙක් අපහසුවෙන් හෝ තරහව පාලනය කර ගතහොත්, හැකිනම් මෛත්‍රීය වැඩුවහොත් මතු ජීවිතයක නොව, මේ ජීවිතයේදී ම ලස්සන වීමය. මෙහිදී ලස්සන වීම යනු සමේ පැහැය වෙනස්වීම නොව, අන් අයට ප්‍රියමනාප, දැකුම්කලු පුද්ගලයෙකු බවට පත් වීමයි. සමහර කාන්තාවන් පවා ඔබ දැක ඇති, එතරම් ලස්සනක් නොතිබුණ ද, හමේ පැහැය පැහැපත් නොවූව ද, අන් අයට ඉතා ප්‍රියමනාප ය. අන් අයගේ ආකර්ශණය ඔවුනට නිතැතින් ම හිමි වේ. සමේ පැහැය ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ. මේ ජීවිතයේ තරහව හැකි පමණ දුරු කළහොත්, මෛත්‍රීය වැඩුවහොත් මෙම වරප්‍රසාද ඔබට ද නිසැකවම උරුම වේ.

 

මෙහි ඇති ඊලඟ කාරණව වන්නේ දන් දීම නොදීම පිළිබඳවයි. මෙම ලිපිය කියවන ඔබ විසින් තමන් දන් දෙන නොදෙන ආකාරය පිලිබඳව හොඳාකාරව ම දනී. සමහරුන් හට ඇත්තේ එකතු කිරීම පමණි. දීමක් ඇත්තේ ම නැත. දෙන්නට අවස්ථාව යෙදුණහොත් දෙන්නේ ද ඉතා අමාරුවෙන් ය. අමාරුවෙන් දන් දෙන්නා හට යම් දිනෙක යමක් උපයා ගන්නට ද වන්නේ ඉතා අමාරුවෙන් ය. ඔබ දැක ඇති සමහර අය හට යන්තම් කුස පුරවා ගැනීම සඳහා ඉමහත් වෙහෙස වී වැඩ කරන්නට සිදු වේ. සමහර ආයතනවල රැකියාවට ගිය කළ සොච්චම් පඩියකට වහලුන් මෙන් වැඩ කිරීමට සිදු වේ. එම පඩිය ද සමහර විට ලැබෙන්නේ ප්‍රමාද වීය. එසේ අකැමැත්තෙන් හෝ දන් නොදුන් කෙනාට එයවත් නොලැබේ. ඒ ඔවුන්ට ලැබී ඇත්තේ ඔවුන් විසින්ම වැපිරූ දෙයෙහි අස්වැන්න වේ.

 

“යස්සෙව භීතො න දදාති මච්ඡරි

තදේව දදතො භයං

ජිගච්ඡා ච පිපාසා ච යස්ස භායති මච්ජරි

තමෙව බාලං ඵුසති අස්මිං ලොකෙ පරම්හි ච”

 

මසුරා යමකට බියෙන් නො දේ ද, නො දීමෙන් ඔහුට වන බිය ද එය ම ය. සාගින්නය, පිපාසාවය යන යමකට මසුරා බිය වේ ද, එය ම ඒ බාලයාට මෙලොව දී ද පරලොව දී ද (දන් නොදීම නිසා) පැමිණේ. ( ඛිළාරකොසිය ජාතකය)

දින්නං සුඛ ඵලං හොති

නාදින්නං හොති තං තථා

චොරා හරන්ති රාජානො

අග්ගි ඩහති නස්සති

 

දුන් දෙය සැප විපාක ඇති කරන්නේ වේ. නො දෙන ලද්ද වැඩීමක් නො වී එහි ම නැසෙන්නේ ය. එය සොරු ද ගනිති. රජහු ද ගනිති. ගින්න ද දවයි. විනාශ ද වෙයි.

මෙය කියවන යමෙකු මේ ලොව පොහොසත් යැයි සම්මත යමෙක් වේද, අවම වශයෙන් තුන් වේල හෝ කුස පිරෙන්නට අනුභව කොට සිටින යමෙක් වේද ඒ කිසිවෙක් දන් නොදී එම තත්ත්වයට පැමිණ නැත. එසේම රූප සෞන්දර්යයෙන් යුක්ත යමෙක් වේ ද තරහ නොගෙන සිටීමෙන් හෝ මෛත්‍රී කීරීමෙන් තොරව එම තත්ත්වයට පැමිණ නැත. එසේ යමක් කමක් ඇති අය මේ ජීවිතයේ දන් නොදේ ද, රූප සෞන්දර්යයෙන් යුක්ත අය මේ ජීවිතයේ තරහ පාලනය කර නොගනී ද, ඔවුන් විසින් යළිත් ඔවුන් අකැමැති ඒ දුක් සහිත ඉරණම කරා යාමට අවැසි කර්ම රැස් කර ගනියි.

 

එසේම අල්පේශාක්‍ය වන්නේ අන් අයට ඉරිසියා කිරීමෙන් ය. තමන්ගේ ළමයාට ඉගෙන ගත නොහැකිනම් ඉගෙන ගත හැකි අනිත් ළමයාට ඊර්ෂ්‍යා කරති. නැත්නම් තමන්ට වඩා අන් අයෙකුට භවබෝග සම්පත් වැඩිනම් එයට ද ඊර්ෂ්‍යා කරති. ඉතා සුළු දෙයක් අලාගෙන දවස පුරාවටම වුවද ඉරිසියාවෙන් පැලී පැලී සිටිය හැක. අනවින, කොඩිවින සඳහා එක් ප්‍රධානතම හේතුවක් වන්නේ ද මෙම ඉරිසියාවයි. මෙහි අනිත්පැත්ත එනම් ප්‍රතිවිරුද්ධ කර්මය වන්නේ මුදිතාවයි. එනම් අන් අයගේ සැපය, සතුට දියුණුව කෙරෙහි ඇතිවන සතුටයි. අද කාලයේ කිරීමට අපහසුම කාර්යයක් වන්නේ ද මෙයයි. විශේෂයෙන් තමා අකැමැති යමෙකුට පවා මෙය අපහසුවෙන් වුවද කළ හැකිනම් ඒ තැනැත්තා හෝ තැනැත්තිය විසින් ඉතා ප්‍රබල කුසලයක් රැස් කර ගනියි. එම කුසලය විසින් ඔබව සසරේ ඉතා සුරක්ෂිත භාවයකට පත්කරනු නොඅනුමාන ය.

 

 

අනුශාසනාව

පූජනීය , තෙලගපාත ධම්මජෝති ස්වාමින් වහන්සේ