කල්පයක් ආනුභාව ගෙන දෙන මෝර පිරිත

දෙසැම්බර් 6, 2021

 

බොහෝ බෞද්ධයන් පවා විශ්වාස කරන කාරණයක් වන්නේ බුදුදහම තුළ විස්තර කරන්නේ සියල්ලම කර්මයෙන් ම වන බවයි. නමුත් අපගේ භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පුබ්බේකතහේතු වාදය නම්වූ ‘සියල්ල පෙර කර්මය අනුව සිදු වේ’ යන්න ප්‍රතික්ෂේප කරති. ජරාවට පත්වීම, ලෙඩවීම යනු උපන්නා වූ සියලූම සත්ත්වයා හට පොදු වූ ධර්මතාවයකි. ලෙඩ දුක් යන කාරණය ද ගත්කල කාරණා අටක් නිසා හටගනී.

 

(වාත සමුට්ඨානා ආබාධා)

වාතය කිපීමෙන් හටගන්නා ආබාධ,

(පිත්ත සමුට්ඨානා ආබාධා)

පිත කිපීමෙන් හටගන්නා ආබාධ,

(සෙම්හ සමුට්ඨානා ආබාධා)

සෙම කිපීමෙන් හටගන්නා ආබාධ,

(සන්තිපාතිකා ආබාධා)

තුන්දොස් කිපීමෙන් හටගන්නා ආබාධ,

(උතු පරිණාමජා ආබාධා)

ඍතු විපර්යාස නිසා හටගන්නා ආබාධ,

(විෂම පරිහාරජා ආබාධා)

පුද්ගලයාගේ විෂම පැවතුම් හේතුවෙන් හටගන්නා රෝග,

(ඕපක්කමිකා ආබාධා)

විවිධ පුද්ගලයින් යොදන උපද්‍රවයන්, උපක්‍රමයන් නිසා ඇතිවන ආබාධ.

(කම්ම විපාකජා ආබාධා)

කර්ම විපාක නිසා හටගන්නා ආබාධ.

 

මේ අනුව ලෙඩ රෝග කරදරවලදී කර්ම විපාක එක හේතුවක් පමණක් බව වටහා ගත හැකියි. එසේම නාගසේන මහරහතන් වහන්සේ විසින් මිලිඳු රාජ ප්‍රශ්නයේ දී දේශනා කළ පරිදි මනා ශ්‍රද්ධාවෙන්, බලවත් විශ්වාසයෙන්, පහන් සිතින් පිරිත් බලය යොදාගෙන කර්ම විපාකයෙන් සිදුවන ආබාධ හැර අනෙක් ආබාධ දුරුකර ගත හැකියි.

අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අප කෙරෙහි පතළ වූ මහා කරුණාවෙන් අපගේ ආරක්ෂාව පිණිස එසේ ලබා දුන් පිරිතක් ලෙස මෝර පිරිත හැඳින්විය හැකියි. මේ උතුම් පිරිත් ආරක්ෂාව නිසා අපගේ මහා බෝධිසත්ත්වයෝ මොනර යෝනියේ ඉපිද අවුරුදු හත්සියයක් කිසිදු උවදුරකට ලක් නො වී ජීවිතය ගත කළහ. මේ උතුම් මෝර පිරිත අංගුලිමාල පිරිත මෙන් කල්පයක් ආනුභාවය පවතී. නාගසේන මහරහතන් වහන්සේ දේශනා කළ පරිදි මනා ශ්‍රද්ධාවෙන්, බලවත් විශ්වාසයෙන්, පහන් සිතින් මෝර පිරිත නිතර සිහිකරන අයකු හට සම්පූර්ණ ජීවිත ආරක්ෂාව හා උවදුරු අනතුරු නිවාරණය කර ගැනීමේ හැකියාව පවතී. ඒ නිසා අතීතයේ ශ්‍රාවකයෝ නිතර මෝර පිරිත භාවිත කළහ.

 

මේ සසරේ ඇති බිහිසුණු බව මනාව ප්‍රකට කරමින් දස පාරමිතා පුරමින් පැමිණියා වූ අප මහා බෝසතාණන් වහන්සේ ද එක් වරක් මොනර යෝනියේ උපත ලැබූහ. කිණිහිරි මල් පැහැය වැනි රන්වන් පැහැ ඇති මොනර බිත්තරයකිනුයි ඒ බෝසත් මොනරා උපත ලැබුවේ. මොනරාගේ පිල් කලඹ තනි රන්වන් පැහැ විය. පියාපත් අතරේ රතු පාටින් දිලිසෙන පිහාටු විය. ඒ බෝසත් මොනරා පර්වත හතරක් එපිට ඇති දණ්ඩක හිරණ්‍ය නමැති එක්තරා පර්වත තලාවක වාසය කළා. සෑම උදෑසනකම ඒ රණමොනරා පර්වත මුදුනේ හිඳගෙන උදාවෙන හිරුමඬල දෙස බලා තමන්ට අනතුරක් නොවීම පිණිස ආරක්ෂක මන්ත්‍රයක් ලෙස මේ ගාථා කීමට පුරුදු වී සිටියේය.

 

උදේතයං චක්ඛුමා ඒකරාජා

හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ

තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං

තයජ්ජගුත්තා විහරේමු දිවසං

 

මේ හිරු උදාවන විට – ඇස් ඇති එක ම රජු ලෙස

පතුරුවා රන්වන් රැස – මහපොළොව බබුළුවන්නේ

මහපොළොව බබුළුවන – හිරු මඬල නුඹ වදින්නෙමි මම

නුඹ විසින් සුරකින අපි – මෙ දවස වසමු සුවසේ

මෙසේ බෝසත් මොනරා මේ ගාථාව කියා සූරයයා හට ද අතීතයේ වැඩ හිඳ පිරිනිවී ගිය බුදුරජාණන් වහන්සේලා හට ද බුදුගුණයන්ට ද දිනපතා නොවරදවා නමස්කාර කිරීමට පුරුදු වී සිටියේය.

 

යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ

තේ මේ නමෝ තේ ච මං පාලයන්තු

නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා

නමෝ විමුත්තානං නමෝ විමුත්තියා

 

හැම දහම් පරතෙර වැඩි – උතුම් සම්බුදු මුනිවරුන් වෙද

ඒ උතුම් මුනිවරු හට – මාගේ වැඳුම වේවා

ඒ උතුම් සම්බුදුවරු – මගේ දිවි සුරකිත්වා

සම්බුදුවරුන් හට – මාගේ වැඳුම වේවා

සතර මග ඵල නුවණට – මාගේ වැඳුම වේවා

උතුම් රහතුන් හට – මාගේ වැඳුම වේවා

ඒ රහත් ඵලයට – මාගේ වැඳුම වේවා

 

ලෙස පවසා ඒ රණමොනරා දිනපතා ගොදුරු සොයාගෙන ගියේය. සවසටත් ආයෙමත් පර්වතේ මතට ඇවිදින් බැස යන හිරු මඬල දෙස බලාගෙන මෙසේ කීමට පුරුදු වී සිටියහ.

 

අපේතයං චක්ඛුමා ඒකරාජා

හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ

තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං

තයජ්ජගුත්තා විහරේමු රත්තිං

 

පතුරුවා රන්වන් රැස

බබුළුවා මේ පොළොව ද

ඇස් ඇති එක ම රජු ලෙස

හිරුමඬල බැස යන විට

මහපොළොව බබුළුවන

හිරු මඬල නුඹ වඳින්නෙමි මම

නුඹ විසින් සුරකින අපි

මේ රැය ද වසමු සුවසේ

 

යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ

තේ මේ නමෝ තේ ච මං පාලයන්තු

නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා

නමෝ විමුත්තානං නමෝ විමුත්තියා

 

හැම දහම් පරතෙර වැඩි

උතුම් සම්බුදු මුනිවරුන් වෙද

ඒ උතුම් මුනිවරු හට – මාගේ වැඳුම වේවා

ඒ උතුම් සම්බුදුවරු – මගේ දිවි සුරකිත්වා

 

සම්බුදුවරුන් හට

මාගේ වැඳුම වේවා

සතර මග ඵල නුවණට

මාගේ වැඳුම වේවා

උතුම් රහතුන් හට

මාගේ වැඳුම වේවා

ඒ රහත් ඵලයට

මාගේ වැඳුම වේවා

 

මේ ලෙස පිරිතේ ආරක්ෂාව ඇතිකරගත් මොනරා හට ඒ ආනුභාවයෙන් ම වසර හත්සියයක් දක්වා කිසිදු අතුරු ආන්තරාවක් සිදු නොවීය. රාජ ආඥාවට අනුව රාජ පරම්පරා 6ක් ම මොනරා අල්ලන්නට උපක්‍රම යෙදුවත් කිසිදු දෙයක් සඵල නො වී ය. නමුත් හත්වැනි පරම්පරාවේදී ඒ සඳහා වෑයම් කළ වැද්දා මොනරා පිළිබඳව ඔත්තු බලා සිටියදී මේ ගාථාවේ රහස දැනගත්තේය. ඔහු සෙබඩක් පුරුදු කරවා බෝසත් මොනරා බුද්ධ මන්ත්‍රය සිහිකරන්නට පෙර සෙබඩ මිහිරි හඬකින් කෑ ගැසීමට පුරුදු කළේය. පිරිත අමතක වූ මොනරා සෙබඩිය සොයා ගියේ ය. මේ අවසරයෙන් වැද්දා මොනරා අල්ලා ගත්තේ ය. එවකට ඒ රජු වී සිටියේ අපගේ ආනන්ද මහරහතන් වහන්සේය. ඒ අවස්ථාවේදී අපගේ බෝසතාණන් වහන්සේ උන්වහන්සේගේ ධර්ම බලයෙන් ගැලවුනේ ය. රජු ද සතුටු කරවූයේ ය. මේ විස්තරය සවිස්තර විග්‍රහයක් ජාතක පොතේ 158 වැන්න වූ ස්වර්ණ මයුර (මෝර) ජාතකයේ සඳහන් වේ.

 

නමුත් සමහරුන් විසින් මෙහි පළමු කොටස උදෑසනටත්, අනික් කොටස හවසටත් කීමට පුරුදු වී සිටී. එහි එතරම් වරදක් නැති බව සැබෑව. නමුත් බුදුරජාණන්වහන්සේ විසින් අපහට මෙය වදාළේ එකටය. එසේම මෙම පිරිතේ ආනුභාවය දස දහසක් ලෝක සක්වල පැතිර පවතී. එමනිසා මෙය සිහිකිරීමට විශේෂිත තැනක් වෙලාවක් නැත්තේය.

 

එසේම ගමනක් යෑමේදී මෙය නිසිපරිදි සිහිකිරීමෙන් මාර්ග අනතුරු, ජීවිත අනතුරුවලින් ආරක්ෂාවීමට හැකියාවක් පවතී. අණවින, කොඩිවින, උවදුරු නොවැදීමටත්. අමනුෂ්‍ය දෝෂ පහව යාමට මෝර පිරිත උදේ සවස සිහිකිරීම හේතු වේ. නමුත් මිලිඳු රාජ ප්‍රශ්නයේ දී නාගසේන මහරහතන් වහන්සේට අනුව එහිලා සුදුසුකම් අවශ්‍ය ය. විශ්වාසයත්, සිතේ පහන් බවත්, කර්ම විපාකයෙන් ආවරණය නො වුණ බවත් ය. නරක ස්වප්න දුටු අයෙක් උදේ සිහිපත් වේ නම් ඇඳේ සිට ම මෝර පිරිත සිහිකළ යුතු ය. බුදු පහන දල්වා සජ්ඣායනා කළ යුතු ය. නපුරු ස්වප්න දෝෂ නැති වේ. සෑම සුභ කටයුත්තකදී ම මෝර පිරිත සිහිකරන්නවුන්ට අර්ථය සැලසේ.

අසාධ්‍ය රෝගීන්, හදිසි අනතුරු සිදුවූ අවස්ථාවල දී, රෝගය සොයා ගත නො හැකි අවස්ථාවල දී (මහා සෑය, මහා බෝධිය) ආදී උතුම් ස්ථානවලදී මෝර පිරිත බොහෝ වර සජ්ඣායනා කොට සෙත් පතන්න. අර්ථය සැලසේ. එමනිසා මෙම මහානුභාවසම්පන්න මෝර පිරිතේ ආරක්ෂාව ඔබේ ජීවිතයට එකතුකර ගැනීමෙන්වන යහපත මෙතෙකැයි කිව නොහැකියි.

 

අවසාන වශයෙන් කීමට ඇත්තේ අපගේ මහා බෝධි සත්ත්වයෝ තිරිසන් යෝනියේ ඉපිද සිහිකළ ගාථා මෙතරම් බලසම්පන්න නම් උතුම් සම්බුදු බවට පැමිණ වදාළ රතන සූත්‍ර, ධජග්ග සූත්‍ර, කරණීයමෙත්ත සූත්‍ර ආදියේ කෙතරම් බලානුභාවයක් ඇද්දැයි අපහට සිතා ගතවත් නොහැකියි. එම නිසා සියල්ලම කර්මයට ම භාර නොදී තෙරුවන් සරණ ගිය අපහට ලැබුණු නිධානයක් බඳු වූ පිරිත් දේශනාවල ආරක්ෂාව ඔබ සැමගේ ජීවිත ආරක්ෂාවට එක්කර ගන්න.

 

සම්බන්ධීකරණය- මධුර ප්‍රභාත් ගමගේ

 

 

අනුශාසනාව

පූජනීය , තෙලඟපාත ධම්මජෝති ස්වාමින් වහන්සේ