වර්ෂ 2024 ක්වූ September 09 වැනිදා Monday
අප්‍රමාදීව කුසල් වඩන්න සැපය ලැබෙනවා ඒකාන්තයි
මිනිසුන් අතර ද්වේශය වැඩි කරන අමනුෂ්‍යයෝ ඉන්නවා. ඒ අමනුෂ්‍යයන්ට රජකරන්නට, දෙවියන් ඔබ දෙස නොබලන්නට හේතු හැදෙන්නේ ඔබ සීලයෙන් ඈත් වුණොත් පමණි
පින්වතුනි වෙසක් පොහෝ දවස කියන්නේ දස දහසක් ලෝක ධාතුවට ආලෝක කිහිපවතාවක් විහිදුණ දවසක්. එදා බෝසත් පුතා පින්වන්ත මහාමායා දේවියගේ කුසින් ලෝකයට පහළවන විට මහා ඝන අන්ධකාරය පවතින ලෝකාන්තර නිරය පවා සුළු මොහොතකට ආලෝකමත් වුණා. අපායේ ගිනි දැල් සුළු මොහොතකට නිවිලා ගියා. මනුෂ්‍යයන්ට පමණක් නොවෙයි තුන් ලෝකයේම සත්ත්වයන්ට සතුට ගෙනා දවසක්. මේ මහා පින්වන්ත පුතා උතුරු දිශාවට පියවර සතක් ගමන්කර සිංහනාදයක් කළ දවසක්. මේ මගේ අන්තිම උපතයි යන උදාරතර වදන් වාතලයට මුසු කළ දවසක්. ඒ වගේමයි මෙවන් දවසක හිමිදිරි පාන්දර හිත කෙලෙසුන්ගෙන් මුදවාගෙන සම්මා සම්බුද්ධත්වයට පත්වුයේ.
දෙව් මිනිස් ලෝකයාට නිවන් දොර විවර වුණේ එවන් උදාරතර දිනයකයි. ‘මේ දීර්ඝ සංසාර ගමනේ සංසාරය නැමැති ගේ හදපු වඩුවා අද මම සොයා ගත්තා. ඒ කැණිමඬල මා සුනු විසුනු කර දැම්මා.‘ මේ සිංහ නාදයත් සමඟින් උන්වහන්සේ වසර 45ක් පුරාවට අවබෝධ කරගත් ධර්මය ලෝකයට විහිදුවා හැරියේ අද වගේ පින්වන්ත දවසකයි. ‘වයධම්මා සංඛාරා‘ මේ ලෝකයේ සියලු දේ අනිත්‍ය අප්‍රමාදීව කුසල් වඩන්න යැයි උන්වහන්සේ දේශනා කරමින් පරිනිර්වාණයට පත්වුයේත් මෙවන් වෙසක් පොහෝ දිනකමයි.
මේ ලෝකයේ සියලු සංස්කාරයන් අනිත්‍යයි. හටගෙන පැවතිලා නැතිවෙලා යන ස්වභාවයෙන් යුක්තයි. ඒ ධර්මය අවබෝධකර ගැනීමයි. ලෝකයේ සැප ලබන්නට හැකි මාර්ගය. එබැවින් මේ සම්බුදු තෙමඟුල සමරන අද වගේ වෙසක් පෝය දවසක ඔබ අප සෑම දෙනාත් පිළිවෙතින් පෙළ ගැසෙමු.
අද ලංකාවට වෙසක් කලාපයක කරන්නට මේ නගර වෙසක් කුඩු, බෞද්ධ කොඩිවලින් සරසනවා. ආමිසයෙන් ලෝකය පුරාවට විවිධ පූජාවන් පැවැත්වෙනවා. එහෙත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී දේශනා කළේ උතුම්ම පූජාව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය ඔබ ද අවබෝධ කරගැනීම බවයි. ප්‍රතිපත්ති පූජාව වඩාත් සුදුසු වන්නේ එබැවිනි.
මේ ලංකා භූමිය මුල්කරගෙන බුද්ධ ශාසනය ලෝකයේ බොහෝ කාලයක් පවතින බව එදා බුදු ඇසින් උන්වහන්සේ දුටුවා. අවුරුදු දෙදහස් පන්සිය ගණනක් ගියත් මේ ලෝකයට දහම රැකලා දෙන්නේ මේ ලංකා භූමිය මුල්කරගෙනයි. එහෙත් මේ ලංකා භූමියට විටින් විට කරදර උවදුරු මතුවෙනවා.
එබැවින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ සිටියදී අධිෂ්ඨාන පහක් සිදුකරනවා. ඒ අධිෂ්ඨාන පහම ලංකා භූමිය සම්බන්ධවමයි. ඒ වගේම ශක්‍ර දෙවියන්ට පවරනවා මගේ පිරිනිවන් පෑමෙන් පසුව බොහෝ කාලයක් බුද්ධ ධර්මය පවතිනුයේ ලංකා භූමිය තුළයි. එබැවින් දෙවියන්ගේ උපකාරය ඇතුවද බුද්ධ ශාසනය රැකදීමට ලක් භූමිය උදවු කරන්න යැයි පවසනවා. එබැවින් අපේ රටට විටින් විට උපද්‍රව කරදර මතු වුවද දෙවියන් සිහිපත් කරද්දී ඒවා මැඩ පැවැත්වෙන මහා බලයක් සක් දෙවිඳුන් ලබා දෙනවා.
පින්වත් ඔබ මතක තියාගත යුතු වැදගත් කරුණක් වන්නේ දුස්සීල මිනිසුන් වැඩි වන්න වන්න දේව රැකවරණය අඩු වෙනවා. මිනිසුන් අතර ද්වේශය වැඩි කරන අමනුෂ්‍යයෝ ඉන්නවා. ඒ අමනුෂ්‍යයන්ට රජකරන්නට, දෙවියන් ඔබ දෙස නොබලන්නට හේතු හැදෙන්නේ ඔබ සීලයෙන් ඈත් වුණොත් පමණි. එබැවින් සීලයට අනුගත වන්න. පන්සිල් රකින අයකු වන්න. ඔබට දෙවියන්ගේ පිහිට රැකවරණය ලැබෙන ප්‍රධානම දේ පන්සිල් රැකීමයි. ගිහි ශ්‍රාවක ඔබ නිතර මෛත්‍රිය වඩන්න. ‘දේවතා රක්ඛන්තු‘ මෛත්‍රිය වඩන්න වඩන්න ඔබට දෙවියන්ගේ රැකවරණය නොඅඩුව ලැබෙනවා.
වැඩිපුර මිනිසුන් පිරිසක් එවන් යහගුණ හැසිරවීමකින් දිවිය ගෙවන්නේ නම් මේ ලක්භූමියට දේව රැකවරණය නොඅඩුව ලබාගත හැකියි. රටේ පවතින අමනුෂ්‍ය දෝෂ වැළකී යනවා. මේ සමාජ, ආර්ථික, සංස්කෘතික ගරා වැටීම් ගොඩනගා ගන්න හැකි එකම මඟ ඔබ සිල් රැකීමයි.
අතීත රජවරු මේ ලක් දෙරණ කිහිප වතාවක්ම බුද්ධ රත්නයට පූජා කළ පින්වන්ත රටක්. එවැනි පතිරූප දේශයකයි අප ජීවත් වන්නේ. ඒනිසා සියලු දෙවියන්ගේ රැකවරණය, ආශීර්වාදය මේ ලක්භූමියට ලැබෙනවා. ‘බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී පාද පද්මය ලංකා භූමියේ සනිටුහන් වෙද්දී උතුම් දෙව් බඹුන්ගේ සාදු නාදය රැව් පිලි රැව් දුන්නා. බුදුරජාණන් වහන්සේ බුදු වී නව වැනි මාසය ගත වෙද්දී මේ ලක් භූමිය අරක් ගෙන සිටි යකුන් පලවා හැර තිබේ. එබැවින් ඒ උතුම් බුද්ධානුභාවයෙන්, ධම්මානුභාවයෙන්, සංඝානුභාවයෙන් සියලු දෙවියන්ගේ රැකවරණය ලංකා භූමියට නියත වශයෙන්ම ලැබෙනවා. ඔබ අප කළ යුත්තේ යහ ගුණ වැපරවීම පමණි.
මේ උදාවු වෙසක් පුන් පොහෝ දින පටන් පින්වත් ඔබ සසර ගමන හරි හැටි තේරුම් ගන්නට උත්සහ දරන්න. මේ එළැඹුණු වෙසක් පොහෝ දින පටන් අප්‍රමාදීව ධර්මය මෙනෙහි කරන්න.
ඔබට ධර්ම මාර්ගයට ඇතුළු වන්නට වීර්යයක් අවැසියි. ඒ වගේමයි එය පවත්වාගෙන යාමටත් පිරිසක් වුවමනායි. මෙය දවසක දෙකක කටයුත්තක් නොවෙයි. තම අඩුපාඩු ගැන පුනරාජීවනය කරගනිමින් ඒවා තමන්ම සකසා ගනිමින් ජීවිතය ගුණ ධර්මවලින් පවත්වාගෙන යා යුතුයි. එසේම තමන්ට අධිෂ්ඨානයක්, අරමුණක් ඇති කරගත යුතුයි. ‘මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණු ආත්මයේදීම සතර අපායෙන් මිදිය යුතුයි.‘ එවැනි ඉලක්කයක් තුළ ජීවිතය ටික ටික සැලසුම් කරගන්නට අවැසියි.
ධර්මය ගැඹුරුයි. එහෙත් ක්‍රමානුකූලව අවබෝධ කරගැනීමට ඔබ දක්ෂ විය යුතුයි.
අනුශාසනාව
ධම්ම දින්නා මෙහෙණින් වහන්සේ
ඡායාරූපය - ශාන් රූපස්සර