ආදරෙයි නම් ඇත්තටම මේ දේ කරන්න

මැයි 22, 2023

ඇත්තටම ඔබ සැබෑවටම ආදරෙයි නම් ඒ ආදරණීය කෙනාව හැම අතින්ම ආරක්ෂා කරගන්න. ඒ වෙනුවෙන් පහත දේවල් කරන්න පුළුවන් නම් ඔබේ ආදරය ඇත්තටම විශිෂ්ඨයි.

 

1. පින්වන්ත දුවේ පුතේ, ඔබ පළමුවෙන්ම, තුනුරුවන්ගේ ගුණ හොඳින්ම දැන හඳුනා ගෙන තුනුරුවන් සරණ යා යුතුය. පන්සිල් වලට අදාළ සියලුම කාරණා හොඳින් දැන හඳුනා ගෙන පන්සිල් රැකිය යුතු ය. කොටින්ම කිවහොත් ඇත්තම බෞද්ධයෙක් විය යුතුය.

2. විවාහ වන්නට පෙර තරුණ තරුණියන්ගෙන් ලිංගික ඇසුර බලාපොරොත්තු නොවී ආදරය කරන්න පුළුවන් නම් මොනම අනාගත ගැටලුවකදී වුණත් අනෙක් කෙනා සුරක්ෂිතයි. ඒ වගේම එය කායික අවශ්‍යතා වෙනුවෙන් ඇති වූ බැඳීමකුත් නොවුණානම් ඉතා සුන්දරයි. කුමර කුමරි බඹසර රැකිය යුතුය. ඇත්තෙන්ම හරිම පින්වන්ත ආදරයක පටන් ගැන්ම කුමර කුමරි බඹසර හැසිරීමෙන්ම පටන් ගත හැකිය. එකිනෙකා හොඳින්ම හඳුනා ගන්නත් පුළුවනි. නමුත් නිසි කාලය වන තෙක් ඉවසීමෙන් දූරදර්ශීව කටයුතු කළ හැකිනම්, ඔබ දූරදර්ශී නම් උසස් අධ්‍යාපනය අවසන්වන තෙක් යුග ජීවිතයක් ගැන නොසිතා සිටීම වඩාත් සුදුසු ය. බොහෝ දෙනා සුන්දර අනාගත අසුන්දර බැදීම්වලින් විනාශ කරගනී. විවාහයට පෙර ලිංගික හැසිරීමේ යෙදෙන්න එපා.

3. වැලන්ටයින් වැනි දිනකදී බොහෝ තරුණියන් තමන්ගේ කන්‍යාභාවය අහිමිකර ගනී. ඉන්පසුව මුළු ජීවිත කාලයම විඳවමින් දුක් විඳිති. බොහෝ තරුණියන්ගේ ජීවිතයේ අඳුරුම පරිච්ඡේදය පටන් ගන්නේ වැලන්ටයින් දිනයත් සමඟයි. (ඒ මුහුණ දෙන ගැටලු තවත් ලිපියකින් විස්තර කෙරේ.) ඒ නිසා විවාහ වන්නට පෙර කාමයෙහි හැසිරීම නොකරන්නත්, නොඉල්ලා ඉන්නත්, නොදී ඉන්නත් පුළුවන් නම් එය පිරිසුදු ආදරයකි. පිරිසුදු ආදරයට අනියම් බැඳිම් නොතිබිය යුතු ය.

4. ඔබේ අනාගත බිරිය හෝ ස්වාමියා වන්නට සිටින කෙනාගේ අනාගතය ගැන හිතන්න. උසස් අධ්‍යාපනයක් ලබා දෙන්න. හැකි තාක් ඒ සඳහා උනන්දු කරන්න. යා හැකි උපරිම සීමාවට දැනුමෙන්, හැකියාවන්ගෙන් සන්නද්ධ කරන්න. තමන්ට හොඳ රැකියාවක් හෝ ව්‍යාපාරයක් හෝ සොයා ගත යුතුම ය. සමහර බැඳීම් “තමන්ට වඩා ඉගෙන ගනීවි. එවිට යටත්ව ඉන්න වේවි...” කියා ඉරිසියාවෙන් අධ්‍යාපනයද කඩා කප්පල් කරන අවස්ථා එමට ය.

5. අනාගතය ගැන කල් වේලා ඇතිවම සැලසුම් කරන්න. අනාගතය ගැන සිතා මුදලක් එක් රැස් කළ යුතුම ය. ගෙවල් දොරවල්, යාන වාහන, දේපළ ඉඩකඩම්, මිල මුදල් නැති ජීවිතයක් කියන්නේ හැම මොහොතකම කරදර ගොඩක උරුමයකි. මවුපියන්ට සලකන්නට, යුතුකම් ඉටු කරන්නට, ගමන් බිමන් යන්නට, විනෝද වෙන්නට, විදෙස් චාරිකා යන්නට, කාටවත් අත නොපා ජීවත් වන්නට, ඇඳුම් පැලඳුම්, රත්තරං ආභරණ, ගෘහ උපකරණ ආදිය ගන්නට, කොටින්ම ජීවත්වන්නට මුදල් අවශ්‍ය වේ. ඒ මුදල් සෙවිය යුත්තේ ධාර්මිකවම ය. (බොහෝ විට කාන්තාවන් ඇදුම් පැලැඳුම් ආභරණ ආදියට දැඩි කැමැත්තක් දක්වයි. ඒවා ඉටු කර දිය යුතුය.)

6. සමහර පිරිමි බිරියට මුදල් එකතු කරන්නට ඉඩ දෙන්නේ නැත. කිසිම තැන්පතුවක් නැත. බිරියගේ හෝ ස්වාමියාගේ අනාගතය ගැන සිතීමත් ඔබේ ආදරයේම ආදරණීය යුතුකමකි. ඔබේ හදිසි අභාවය අනෙකාගේ ජීවිතය අඳුරට වැටීමේ පටන් ගැන්ම නොවිය යුතු ය.

 

7. ස්වාමියා, බිරිය මෙන්ම, දරුවන්ගේත්, මවුපියන්ගේත්, සහෝදර බැඳීම්වලත්, ගෘහ ජීවිතයේ බැඳීමට අදාළ හැම කාරණාවකටම සැලැස්මක් තිබිය යුතුය. යුතුකම් මැනවින් ඉටු කළ හැකි ජීවිතයක් ගෙවන්නෝ වාසනාවන්තයෝ ය.

 

8. දාන, සීල, භාවනාදී සෑම කුසලයක්ම කරගන්නට ඉඩ දෙන, ධර්මයෙහි හැසිරෙන සහකරු හෝ සහකාරිය මුළු සසරම කළමණාකරණය කරගන්නට සහය දෙන දෙලොව යහපතම දකින කළ්‍යාණ මිත්‍රත්වයකි. එවන් බැඳීමක් අමිල වස්තුවකි.

 

 

අනුශාසනාව

පූජනීය , තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ

මිණිපුර අමාශාන්ති තපෝවනය,

පැල්වාඩිය, රත්නපුර.