වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
අම්මාගේ සෙනෙහෙ බලය
මාතෘත්වය වනාහී පූජනීය වූවකි. ඉන්දු නිම්න ආදී පැරණි ශිෂ්ටාචාරවල දී පවා ඒ මාතෘත්වය දේවත්වයෙන් පිදුම් ලැබූ බව මවු දෙවඟන වන්දනාව පිළිඹිබු කෙරෙන පුරාවස්තු සාධකයන්ගෙන් ද දැකගත හැකිවේ.
විශ්වයේ අසහාය ශාස්තෘන් වහන්සේ වන ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ද මව් ගුණය ඉතා උත්කර්ෂයෙන් වර්ණනා කොට තිබේ.
උභයලෝක අභිවෘද්ධියම සලසාලන මෛත්‍රී භාවනාව පිළිබඳව උපදෙස් ලබා දෙන ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මෛත්‍රී චිත්තය උපමා කරන්නේ ද මවකගේ සෙනෙහසටය.
" මාතා යථා නියං පුත්තං
ආයුසා ඒකපුත්ත මනුරක්කෙඛ,
ඒවම්පි සබ්බ භූතෙසු
මානසං භාවයෙ අපරිමාණං"
මවක් තම එකම පුතු සිය ජීවිතය සේ ආරක්ෂා කරන්නේ යම් සේද, ඒ ආකාරයෙන්ම සියලු සත්ත්වයන් කෙරෙහි මෛත්‍රී සිත පැතිරවිය යුතු බව ඉන් ප්‍රකාශ වේ.
උතුම් විශ්වීය ප්‍රතිපදාව වූ මෛත්‍රිය පවා තම දරුවා පිළිබඳව, මව තුළ ඇති සෙනෙහසට උපමා කොට දැක්වීමෙන්ම මව් සෙනෙහසක ඇති පාරිශුද්ධත්වය අපට වටහාගත හැකිය. ලොව්තුරා බුද්ධත්වය නැමැති උත්තරීතර බෝධිය පතා පෙරුම් පුරන්නාවූ මහ බෝසත්වරුන් , ප්‍රථමයෙන්ම ලොව්තුරා බුදුබවට විවරණය ලබන්නේ දයාබරම වූ අම්මාගෙනි.
අම්මාගේ ආශිර්වාදයට එසේවූ අනුභාවයක් තිබේ. අම්මාගේ සිතිවිලි පිළිබඳව අපූර්වතම කතාවක් අට්ඨකථාවල දක්නට ලැබේ.
අතීතයේ මවක සහ පුතෙකු ජීවත් වූ පවුලක් විය. එහි දරුවා තරමක් හිතුවක්කාර අකීකරු දරුවෙකි. දිනක් මව එපා කියද්දීම ගමනක් යෑමට මේ දරුවා සූදනම් විය.
මව නැවත නැවතත් ගමන යෑමට දරුවාට එපා කිව්වාය. නමුත් දරුවා ගමන යෑමටම උත්සුක විය. එවිට මව මෙසේ කීවාය.
" මට අකීකරුව ඔය යන ගමනෙදි හරකෙක්වත් ඇනපුදෙන් මගදි"
එසේ කීවේ දරුවා භය කොට නවත්වා ගැනීමටය.
නමුත් අකීකරු දරුවා මව එපා කියද්දීම ගමන පිටත් වී ගියේය. ඔහුගේ ගමන්මග වැටී තිබුණේ වනගත ප්‍රදේශයක් හරහාය.
හදිසියේම ඒ මාර්ගයේ ඔහු ඉදිරිපිටට බියකරු ගවයෙකු සම්මුඛ විය. ඒ ගවයා දරුවාට අනින්නට අං දිගුකරගෙන දිව ආවේය. දරුවාට බේරෙන්නට ක්‍රමයක් නැතිවිය.
පිහිටක් පිළිසරණක් නැති ඔහුට මතක් වූ එකම පිළිසරණද අම්මාය. ඔහු සත්යයක්රියාවක් කළේය.
" යමක් මාගේ අම්මාගේ සිතේ තිබූණේද, එයම ඉටු වේවා !
යමක් මාගේ අම්මාගේ වචනයෙහි පමණක් වූයේද එය සිදු නොවේවා ! " යනුවෙනි.
මව්ගුණ සිහිකොට ඒ සිදුකරන ලද සත්යයක්රියාවේ බලයෙන් එම ගවයා ආපසු හැරී කැලයටම යන්නට ගියේය.
දයාබර මවගේ සෙනෙහස් බලයෙන් ඔහු රැකවරණයට පත්විය. විටෙක මවකගේ වචන රළුවිය හැකිය. ස්වරය විටෙක උද්වේගකර විය හැකිය. ඉරියව් කටුක විය හැකිය. නමුත් සිතිවිලි එකක් එකක් පාසාම පිරී ඉතිරී විනිවිද ගොස් තිබෙන්නේ දරුවන් කෙරෙහි වූ අසීමාන්තික දරු සෙනෙහසෙන්මය. එය නිසැක වූ උත්තරීතර සත්‍යයකි.
ලෝකෝත්තර නිර්වාණය නමැති ඛේමස්ථානයට සාංසාරික සත්ත්වයන් යොමු කරවන ලොව්තුරා බුදුරජාණන් වහන්සේ, අතිරේක වශයෙන් අසරණ සත්ත්වයන්ට සුගති මාර්ගයද පෙන්වා වදාරති.
මෙම උභයාර්ථ සිද්ධියම සඳහා උපකාරීවන දශවස්තුක සම්මා දිට්ඨියෙන් දෙකක්ම අම්මා සහ තාත්තා පිළිබඳව වූ කාරණාවන්ය.
" අත්ථි මාතා, අත්ථි පිතා"
මවට උපකාර අපකාර කිරීමෙහි ආනිශංස විපාක ඇත. පියාට උපකාර අපකාර කිරීමේ ආනිශංස විපාක ඇත යනු එහි අර්ථයයි.
එම අවබෝධයෙන් තොර අයෙකුට සුගති හෝ නිවන් මගක් නොමැත.
මවක් පිළිබඳව ඇතිකරගන්නා කෝපය ද්වේශය ද ඉතා බරපතළය.
සාලිය අශෝකමාලා පෙම්පුවත ඉතා ප්‍රකට වූවකි. රජ කුමරෙකුගේ සිතපවා ප්‍රේමයෙන් මුසපත් කළ අශෝකමාලාවට ඉතා උසස් වූ රූප සම්පත්තියක් තිබුණි. නමුත් ඈ උපන්නේ සම්මත වශයෙන් අඩු කුලයකය. ඊට හේතුව කුමක්දැයි පැරණි බණ පොත්වල විස්තරව තිබේ.
පෙර භවයක ඈ තම මවත් සමඟ විහාරස්ථානයට ගියාය. මව මළුව අමදා අවසන්ව පැන් ගෙන ඒමට පිටත්ව ගියාය. දැරියට කුසගින්නක් දැනුනි. මව එනතෙක් නොඉවසූ දැරිය රැගෙනවිත් තිබූ කැඳ බඳුන දෝතට ගෙන බොන්නට වූවාය. ඈ අතින් ඇමදූ මළුවේ තැනතැන කැඳ හැළී විසිරුණි.
පැන් රැගෙන ආ මව තැන තැන හැළුණු කැඳෙන් මළුව අපවිත්‍ර වී තිබෙනවා දැක,
" මොන රොඩී කෙල්ලද මේ කැඳ හලලා තියෙන්නේ " යැයි ඇසුවාය.
මේ වචනයෙන් මව හා කිපුණු ඈ,
" මම නෙමෙයි රොඩී කෙල්ල., අම්මයි රොඩී කෙල්ල " යනුවෙන් තම මවට අපහාස කළාය.
එම ජීවිතයේ කොතරම් පින් සිදුකළත්, මවට රොඩී කෙල්ලයැයි පෙරළා අපහාස කළ පවින් ඈ උපදින භවයක් භවයක් පාසා රොඩී වැනි පහත් යැයි සම්මත කුලයකම උපත ලැබුවාය.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමාන යුගයේ වැඩසිටි සාමණේරයන් වහන්සේ නමක්ද, පෙර භවයක "අම්මාව මං උල තියනවා" යැයි කී පවින් භව පන්සීයක් පුරා උලක් උඩම මරණය වූ බව අටුවාවන්හි සඳහන් වී තිබේ.
මෙසේ මවකට සිදුකරනා කුඩා අපහාසයක් , දෝෂාරෝපණයක් පවා ඉතා බරපතළ වන්නේ මවක් තුළ ඇති අසීමාන්තික වූ මව්ගුණස්කන්ධය නිසාමය.
අංගුලිමාලයන් මිනිසුන්ගේ ඇඟිලි කපා මාලා දරමින් මිනීමරුවෙකු වීමට පෙර ගුණධර්ම තිබූ අහිංසකයෙකි. පිසුණු බස් අසා අසත්පුරුෂයෙකු වූ ගුරුවරයාගේ වැරදි මග පෙන්වීම නිසා ගුරුපූජාව පිණිස ඇඟිලි දහසක් එකතු කිරීමට ඔහු මිනිසුන් මරන්නට පටන් ගත්තේය. සමහර ඇඟිලි තැබූ තැන් අමතක වී සොයාගත නොහැකි විය. සමහර ඇඟිලි සතුන් කා දැමුවේය. පසුව ඔහු මිනිසුන් මරා කපාගන්නා ඇඟිලි අමුනා මාලයක් කොට ගෙලේ දමා ගත්තේය. ඇඟිලි නවසිය අනූ නවයක් පිරෙන විට ඔහු දහසකටත් වඩා මිනිසුන් මරා අවසන් ය.
කොසොල් රජතුමා චතුරාංගනී සේනා රැගෙන අංගුලිමාලයන් මරා හෝ ජීවග්රහයෙන් හෝ ගැනීමට යද්දි ඔහුගේ මව ඔහු කෙරෙහි දයාවෙන් කැලයට ඔහු සොයා ගියේ අපමණ දරු සෙනෙහස නිසාමය.
මිනිසුන් දහසක් මරා දැමුවත් ධර්මාවබෝධයට සුදුසුකම් වැසී නොතිබිණි. එහෙත් තම එකම මවගේ ජීවිතයට හානියක් කළහොත් ඒ හේතුවෙන් ස්වර්ග හෝ මෝක්ෂ යන උභයාර්ථ ලාභයම ඇහිරී යෑම ඒකාන්තය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවෙන් ඒ මහා අභාග්‍යයෙන් බේරීමට අංගුලිමාලයන්ට හැකිවිනි.
එසේ නොවන්නට ආනන්තරිය පාප කර්මය නිසා අංගුලිමාලයන්ටද අජාසත් රජුන්ට සේ ඒකාන්තයෙන්ම අපාගත වන්නට සිදුවනවා නොඅනුමානය.
එබැවින් දරුවෙකුට අම්මා යනු ඉතා සුවිශේෂී තැනැත්තියකි. සුගතිය හෝ දුගතිය තීරණය කරන මහා බලයකි. සසර දුක හෝ නිර්වාණ සැපය හිමිකරදෙන තීරක ශක්තියකි. නුවණැත්තන් එය හඳුනාගෙන කටයුතු කළ යුතුය.
කොතරම් සෙනෙහසින් ඇතිදැඩි කළමුත් , කළගුණ නොදත් දූ දරුවන්ගේ වරදින් වැඩිහිටි නිවාසයන්හි වේදනාවෙන් දිවි ගෙවන දයාබර අම්මාවරුන්ගේ කතාවන්ද බොහෝවිට අසන්නට ලැබේ. සමහර දයාබර අම්මාවරුන්ව මහමග දයා විරහිතව අසරණ කොට දමා යන දූදරුවන් ගැනද විටින් විට අසන්නට ලැබේ.
එවැනි අවිඥානකයින්ට අදවන් මව්වරුන්ගේ දිනයකවත් උතුම් මව්ගුණය සිහිවේවා!
සත්පුරුෂයින්ගේ මා පිය ගුණානුස්මරණය එක් දිනයකට පමණක් සීමා වුවක් නොවන්නේය.
සෑම විපතක දී ම , උවදුරක දී ම අපට සිහිවන්නේ අම්මාය. කුස ගින්නේ දී පිපාසයේ දී පවා අපට සිහිවන්නේ කවදාවත්ම දන්පැන් අඩු නොවූ දන්සලක් අප වෙනුවෙන් දැරූ අම්මාය. මතු බුදුවන මහ බෝසතාණන් වහන්සේලාට දසමරුන් පරදා ලොව්තුරා බුදුවන්නයැයි විවරණ දුන්නේ ද අම්මාය. බියක දී තැතිගැන්මක දී රැකවරණය සලසා දෙන පිරිත් ස්වරයත් අම්මාය. ජීවිතයේ සැපය සැනසීම අභිවෘද්ධිය උදාකර දෙන සෙත්කවිය ද මංගල්‍යය ද දයාබරම අම්මාය.
එවන් මවකට උපකාර කොට, සත්කාර කොට ණයගෙවීමට , ප්‍රත්‍යුපකාර කොට නිමා කිරීමට ඉතා අපහසුයැයි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. දරුවෙකුට ඒ තරම් උසස් යහපතක් අම්මා කෙනෙකුගෙන් සැලසෙන්නේය.
එවන් උත්තරීතර මව්ගුණය සිහිකරනා අදවන් දිනෙක අප වැදූ හැදූ අම්මාට දෙළොව සැපයත්, උතුම් සැනසීමත්, පැතූ බෝධියකින් සත්‍යාවබෝධයත් ලැබේවායි හද පතුළින්ම ප්‍රාර්ථනා කරමු.
වෙනදාටත් වඩා ඇගේ යහපත සැනසීම සුවසහනය වෙනුවෙන් දරුවන් ලෙසින් අපි වඩවඩාත් ඇපකැප වෙමු.
තෙරුවන් සරණයි !
සම්බන්ධීකරණය - මධුර ප්‍රභාත් ගමගේ
අනුශාසනාව
(ත්‍රිපිටකාචාර්ය , ත්‍රිපිටක විශාරද , සද්ධර්ම භාණක , අභිධර්ම භාණක පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි .
සිරි උපාලි ධර්මාශ්‍රමය , කුඩා කිවුල, කොට්ටුකච්චිය)