වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
වාසනාව ගේනවා කියන විසිතුරු ශාකයම මරු කැඳවන විස ගබඩාවක් වෙන්න පුළුවන්
ඉහෙන් බහින රෝගයක් නොමැතිව ගස් ගල් කඩන්න පුළුවන් තරම් තරුණ වයසේදීත්, ‘අ’ යන්නවත් කියා නැති ළදරු වයසේදීත් හොරු අරගෙන ගියා වගේ ජීවිත මාරයා විසින් උදුරාගෙන යනවා අප දැක තිබෙනවා. ‘හදිසි අනතුරු’ මීට බලපාන ප්‍රධාන හේතුවයි.
ඇස් දෙක වගේ ඉන්න දරු පැටියා ළඟට එන්න මාරයාට පාර කපන්නේ බොහෝ විට වැඩිහිටියන්මයි. නව යෞවන යෞවනියන්, වැඩිහිටියන් නොදැනුවත්කම, නොසැලකිල්ල නිසා වාගේම සිය වුවමනාවෙන්ම මේ මාරයාගේ ගොදුරක් බවට පත් වෙනවා.
අපේ රටේ ජනගහනයෙන් පස් දෙනකුගෙන් එක් අයෙක් රෝහල්ගත වන්නේ හදිසි අනතුරකින්.
අනතුරට මුල හිතට සහනයක් දෙන අපේම නිවෙස සහ ගෙවත්ත වෙන්න පුළුවන්. එසේත් නැත්නම් අප රෝගාබාධයකට ගන්න ඔසුවක් වීමටද ඉඩ තියෙනවා
උදෑසන රාජකාරියට යන වැඩි දෙනෙක් ඉබ්බා කටුව තුළට රිංගනවා වාගේ සවසට යළි නිවෙසට පැමිණෙනවා. නිවෙසේ, ගෙවත්තේ ඇති අනතුරුදායක තැන් ගැන කිසිදු විපරමක් නැහැ. ජිවිතවලට විස එක්කරන්නේ ආදරයෙන් බලා ගන්නා විසිතුරු මල් පැළයක් වෙන්න පුළුවන්.
ශාක විසවීම්
අපේ ළමා රෝග වෛද්‍ය විශේෂඥයන්ට දරුවන්ගේ උණ, බඩේ අමාරු වැනි නිතර සෑදෙන රෝගවලට වාගේම වළක්වාගත හැකි ශාක විසවිම්, ඖෂධ විසවීම්වලටත් ප්‍රතිකාර කිරීමට සිදු වෙනවා.
දරුවන් තුන්සිය විසි පස් දෙනකුගෙන් ශාක විසවීම්වලට ගොදුරු වුණු වයස අවුරුදු පහට අඩු දරුවන් 64% ක් සිටිනවා. වැඩි දෙනෙක් පිරිමි දරුවන්. අපේ රටේ සුලබව විස වෙන්නෙ ගෙවත්තේ ඇති ජැට්රොෆා සර්කස් (බ්චබපධනඩච ඛ්ඪපජභඵ) ශාකයයි. ඔලියැන්ඩර් (ර්ණපතඥචදඤඥප) දරුවන්ට මරු කැඳවන ගෙවත්තේ ඇති ප්‍රධාන විසිතුරු පැළැටියක්.
විස සහිත ශාක හඳුනා ගෙන ගෙවත්තෙන් ඉවත් නොකිරීම මේ අවාසනාවන්ත තත්ත්වයට හේතු වෙලා. ප්‍රතිකාර කිරීමට දරුවන් මාපියන් විසින් රැගෙන එන්නේ ප්‍රමාද වෙලා. විස ශාක ආහාරයට ගත් විට ඉක්මනින් ප්‍රතිකාර කළ යුතුයි. පමාවන්න පමාවන්න විස උරා ගැනීම වැඩියි. දරුවන් ප්‍රතිකාර පමාවන විට උග්‍ර විජලනය, වලිප්පුව, හෘද ගැටලුවලට මුහුණ පාලා. වාසනාව කැන්දන බවට විශ්වාස කරන මනි ප්ලාන්ට්, අලංකාරයට වවන හබරල වර්ග නිසා මුඛය වනවිම, වමනය වැනි විවිධ ගැටලු ඇති වෙනවා. වකුගඩු අකර්මණ්‍යවී මරණයට පත්වීමේ අවදානමක් පවතිනවා.
ගස්වැල් අපේ පරිසරය අලංකාර කරනවා. එපමණක් නොව අපේ රෝගාබාධ සුව කරන ඔසු ගුණයක්ද පවතිනවා. රුව අලංකාර කිරීමට ද මල්, ගෙඩි, ශාක සාර යොදා ගන්නවා. මේ නිසා සෑම ශාකයක් ගැනම අප හොඳ අවබෝධයකින් සිටීම ඉතා වැදගත්. එය දරුවා, සැමියා නිවෙසට එනතුරු බලා සිටීම මෙන්ම ජිවිතේට වැදගත් බව අමතක නොකළ යුතුයි.
ගුණැති ශාක, මල්, ගෙඩි පවා පමණට වඩා ගැනීමෙන් විස වෙන්න පුළුවන්. හොඳම උදාහරණය වන්නේ 1955 පූර්ණ සූර්යග්රහනයේදි වදකහ වීදුරු ගණන් පානය කිරිම හා මෑතකදී දියවැඩියාවට ගුණ නිසා කාමරංගා ගෙඩි මලු පිටින් කෑමට ගැනීමයි.
අපේ රටේ දරුවන්ට, වැඩිහිටියන්ට ප්‍රධාන වශයෙන්ම විසවන ශාක දහයක් තිබෙනවා.
විශේෂයෙන්ම දරුවන්ට සුලබවම විසවන ශාක.
මේවා වැඩිහිටියන්ටද විස විය හැකි ශාකයි.
- වැට එඬරු (රට එඬරු)
- තෙල් එඬරු
- කැපුම් කීරිය
- මඤ්ඤොක්කා
- කොටකිඹුල
- හබරල
- මල් හබරල
- හොඬල
බිම්මල් (කෑමට ගත හැකි බිම්මල්වල බිම්මලේ මුල සහ අග වෙනම පටියක් වැනි කොටසක් නැහැ)
දුම්කොළ (දුම්කොළයෙන් සාදන දුම්වැටි, බීඩි, බුලත් අතේ දුම්කොළ සියල්ල උග්‍ර විස රසායනවලින් යුක්තයි)
- අත්තන
- කනේරු
- නියගලා
- ඔලිඳ
- මැහෝගනී
සාදික්කා (ඖෂධයක් සහ කුළුබඩුවක් වුවත් කෑමට එක් කර ගත යුත්තේ සුළු වශයෙන්)
(අනතුරු සහ විසවීම් ගැන තවත් ලිපියක් මීළඟට)
විස තොරතුරු ඒකකයේ වෛද්‍ය සමන්ත ලියනගේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවැත්වූ තොරතුරු ඇසුරින් සහ මහාචාර්ය
සී. සී. ද සිල්වාගේ අධ්‍යයන වාර්තාවකිනි.
විසවීම ගැන තොරතුරු දැන ගැනීම සඳහා අමතන්න.
0112686143