වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
වෙහෙසකර ජීවිතයට සරල භාවනාවක්
ඉතා කාර්යබහුල ජීවිතයක් ගතකරන බොහෝ මිනිසුන් දවස අවසන් කරන්නේ ඉතා වෙහෙසකාරී බවිනි. උදෑසනින්ම රැකියාවට හෝ අනෙකුත් කටයුතුවල යෙදෙන්නට පිටත්වන ඔවුහූ සවස් වන විට හෙම්බත්ව සිටිති. බිරිය හෝ දරුවන් සමඟ විනෝදයෙන් ගතකරන්නට ප්‍රසන්න වූ කාලයක් ඔවුනට කොයින්ද ? හෙට දිනයේ සුපුරුදු දින චර්යාවට අනුගත වන්නට ඔවුහූ වෙහෙසකාරීව බැඳී සිටිති. මේ නොනවතින වෙහෙසකාරී හෙම්බත් බවින් මිදී ජීවිතය විඳින්නට භාවනාව යොදාගන්නේ කෙසේද ? අද අපි ඒ පිළිබඳව විමසා බලමු.
බොහෝමයක් මිනිසුන් සිතා සිටින්නේ භාවනාව යනු ජීවිතය කලකිරීමට පත් මිනිසුන්ට අදාළ දෙයක් බවය. නැතිනම් භාවනාව යනු ගුප්ත කාර්යයක් බවය. එසේත් නැතිනම් භාවනාව යනු ජීවිතය නීරස කරගත් මිනිසුන්ට පරලොව පිළිබඳ බලාපොරොත්තු දල්වන්නක් බවය. මේ සියල්ලම අනවබෝධයෙන් ඇතිකරගත් මිථ්‍යාවන්ය.
භාවනාව යනු හුදෙක් මනස නිරෝගීව , ජව සම්පන්නව සුවපත්ව පවත්වා ගැනීමට හේතුවන අභ්‍යාසයකි.
අපට සිරුරක් මෙන්ම මනසක් ද තිබේ. නමුත් අපි වඩාත් සැලකිලිමත් වන්නේ සිරුර පිළිබඳවයි. සිරුර නිරෝගීව ,ජව සම්පන්නව , සුවපත්ව පවත්වා ගැනීමට අප ව්‍යායාම කරන්නෙමු. පෝෂණය ලබා දෙන්නෙමු. ක්‍රියාශීලීව පවත්වා ගන්නෙමු.
සිරුර පමණක් නිරෝගී වූ පමණින් අපි නිරෝගී වූවන් නොවෙමු. මනසෙහි සුවපත් භාවය පිළිබඳව ද අපි අවධානය යොමුකළ යුතුය. නමුත් බොහෝ දෙනා එසේ නොකරති. ඒ නිසාම විඳිය යුතු ජීවිත විඳවමින් ඔවුහූ ලෝකයාට දොස් තබති.
මිනිසුන්ගේ ජීවිතය තුළ සතුට, ප්‍රීතිමත් බව අතුරුදන් කරවන ප්‍රධානම කාරණය මානසික පීඩනයයි. එය කුඩාවට ඇතිවී සමහර විෙටක සම්පූර්ණ ජීවිතයම අපායක් කර මනෝ ව්‍යාධියකින් අවසන් වෙති. එය මහත් අවාසනාවකි.
මිනිසෙක් දිගු ගමනක් යන්නට ආරම්භ කොට තිබේ. ඔහු අතේ ඉතා බර ගමන් මලු දෙකක් ද තිබේ. ඒ ගමන් මලු දෙක දෑතට ගෙන , එය බිම නොතබා වැරෙන් ගමන් ගන්නා ඔහුට අතරමගදී දැඩි වෙහෙසක් දැනෙයි. ගමන් මලු දෙක ද දැන් වඩාත් බරට දැනෙයි. දෑතත් කැඩෙන්නට මෙනි. දෙපාත් ගතත් රිදුම් දෙයි. ඔහුට මාවත අසල සිහිල් සෙවණ ඇති මහා වෘක්ෂයක් පෙනෙයි. දැන් කුමක් කළ යුතු ද?
විකල්ප දෙකකි. එකක් නම් ඔහු ගමන් වෙහෙසත්, ගමන් මලුවල බරත් දරාගෙන නොනැවතී ගමනාන්තය දක්වා ගමන් කිරීමයි.
දෙවැන්න නම් මඳක් සිහිල් සෙවණේ , මහා වෘක්ෂය මුල ගිමන් හැර පසුව ගමන පිටත් විය යුතුය.
විකල්ප දෙකෙන් පළමු තේරීම ඉතාම පීඩාකාරීය. මානසික තෘප්තියෙන් ඉතා දුරස්ය. ඔහුගේ සම්පූර්ණ ගමනම දුක්බර එකකි.
දෙවැනි විකල්පය තෝරාගෙන විවේකගත් තැනැත්තාට නැවත ගමන යන්නට අලුත් ජවයක් ලබාගත හැකිය. මෙතෙක් ඉතා බරට දැනුණු ගමන් මලු දැන් නැවතත් සැහැල්ලුවට ඔහුට දැනෙයි. අධික වෙහෙසකර බවින් තොර නිසා මනසත් ප්‍රීතිමත් බවින් යුතුය.
මෙය අපගේ ජීවිතය සම්බන්ධව ඉතා ප්‍රකට උපමාවකි. දුර ගමනක් යන මිනිසා නම් ජීවන ගමන යන අපිමය. ඉතා බර මලු දෙකනම් අතීතය හා අනාගතයයි. මිනිස්සු නිතරම අතීතයේ වූ දේවල් ගැන සිතමින් කනස්සලු වෙති. දොම්නසට පත් වෙති. පීඩාවට පත්වෙති. එසේම මොහොතක් පාසා අනාගතයේ කළයුතු දෑ සිතති. සැළසුම් කරති. දැරිය යුතු, කළ යුතු දෑ පිළිබඳව පූර්ව නිගමන වලට එළඹෙමින් පීඩනයෙන් සිටිති.
මේ පීඩනයෙන් මිදී සිහිල් සෙවණ ඇති වෘක්ෂයක් පාමුල ගිමන් හැරීම යනු අතීතය හා අනාගතය පිළිබඳව , වෙහෙසකාරීව සිතිවිලි ගොඩ නොනඟමින් හුදෙක් වර්තමානය තුළ මොහොතක් දිවිගෙවීමයි.
එනම් මොහොතක් භාවනා කිරීමයි. එයින් ප්‍රීතිමත් බවත් ගමනට අවශ්‍ය නව ජවයත් ලබාගැනීමට හැකිය.
අභ්‍යාසය 01
• වෙහෙසට පත්ව නිෙවසට පැමිණ පිරිසුදුවී සැහැල්ලු ඇඳුමින් සැරසුණු ඔබට විනාඩි දහයක් මේ සඳහා කැපකළ හැකිනම් එය ඉතා යහපත්ය.
• පහසුවෙන්, ඉතාම සැහැල්ලුවෙන් කොන්ද කෙළින් සිටින පරිදි හිඳගන්න. එසේ නොහැකිනම් කුඩා පුටුවක, ඇඳක සැහැල්ලු ලෙස වාඩිවෙන්න.
• තුන්වරක් ඉතා ගැඹුරින් සෙමෙන් ආශ්වාස ප්රාශ්වාස කරන්න. දැන් ඉතාමත් සැහැල්ලුවෙන් දෙනෙත් පියා ගන්න.
• සාමාන්‍ය ලෙස ආශ්වාස ප්රාශ්වාසය සිදුකරන්න. කිසිඳු බලපෑමක් එයට නොකරන්න. දැන් බාහිර අරමුණු කිසිවක් නොසිතා, කිසිවකට සිත නොයවා
නෙතින් බලා ඉන්නවාක් මෙන් සිතින් ඔබගේ හුස්ම දෙස බලා ඉන්න. ඇතුල්වෙන පිටවන හුස්ම දෙස ඉතාමත් සැහැල්ලු මනසින් බලා සිටින්න. හුදෙක් එපමණක්ම කරන්න. අන් කිසිවක් පිළිබඳ නොසිතන්න.
විනාඩි දහයකින් පමණ නෙත් හැර ලෝකය දෙස බලන්න. බලන සැම දේකම නවමු සුන්දරත්වයක් ඔබට දැනෙනු ඇති.
අභ්‍යාසය 02
• එසේ නැතිනම් මේ සරල අභ්‍යාසය සිදුකරන්න.
• සන්සුන්ව තැම්පත් වන ඔබ පෙර සේම තුන් වරක් ගැඹුරින් හුස්මවාර තුනක්පිටකොට දෙනෙත් පියාගන්න.
• ඔබේ නෙත් හා නළල අනවශ්‍ය පීඩනයකින් තද කොට රැලිගන්වා නොගන්න. ඉතා පියවි සැහැල්ලුවෙන් නෙත් වසා ගන්න.
• දැන් ස්වාභාවික සිදුවෙන ආශ්වාසය එක ලෙසත් ප්රාශ්වාසය දෙක ලෙසත් ඉතා අවධානයෙන් පහ දක්වා ගණන් කරන්න.
• පහෙන් නතර කොට හයවැනි ප්රාශ්වාසය එක ලෙස ගෙන නැවත හය දක්වා ගණන් කරන්න.
• මෙසේ එකේ සිට පහටත්, නැවත එකේ සිට හයටත්, නැවත එකේ සිට හතටත්, නැවත එකේ සිට අටටත්, නැවත එකේ සිට නවයටත් , නැවත එකේ සිට දහයටත් ගණන් කරන්න.
• කිසිම විටක ආයාසයෙන් හුස්ම නොගෙන ගණනද නොවරදවමින් සැහැල්ලුවෙන් කටයුතු කරන්න. මෙසේ වාර තුනක් සිදු කරන්න. හැකිතාක් ගණන් නොවරදවමින් අවධානය තබා ගන්නට කටයුතු කරන්න. ඉන්පසු නෙත් හැර අවට ප්‍රීතිමත්ව නරඹන්න. මෙයින් ඔබේ මතක ශක්තිය , නිර්මාණශීලිත්වය හා ප්‍රීතිමත් බව දිනෙන් දින දියුණු වනු ඇත.
අභ්‍යාසය 03
• ඔබ තරුණ වියේ පසුවන නිරෝගී අයෙක් නම් යෝග අභ්‍යාසයකට නෑකම් කියන මෙම ක්‍රමය ද අත්හදා බලන්න.
• පෙර සේම පිරිසුදුව සැහැල්ලු ඇඳුමින් සැරසෙන්න. හිඳගෙන හෝ උඩුබැලිව වැතිරී ඔබට මෙය කරන්නට පුලුවන.
• ශරීරය ඉතා සැහැල්ලු කොට සන්සුන් කොට ඉහිල් කරන්න. පෙර අවස්ථාවල සේම ගැඹුරු ආශ්වාස - ප්රාශ්වාස වාර තුනක් පිට කරන්න.
• සැහැල්ලුවෙන් හුස්මක් ගන්න. විශ්වයේ පවතින ඉවසීම, කරුණාව, නිර්මාණශීලිත්වය ආදී ශක්තීන් ඒ හුස්ම සමඟ තමා තුළට ඇදී එන බව මනසින් දකින්න.දැන් තරමක් වේලා ඒ හුස්ම රඳවා තබා ගන්න. තමා තුළ ඇති වරදකාරී
හැඟීම්, අලස බව ආදී දුර්වලතා දුරු කරමින් විශ්ව ශක්තිය තමන් තුළ පැතිරෙන බව මනසින් දකින්න. අපහසු නොවන මට්ටමට හුස්ම රඳවා ගැනීමට සැලකිලිමත් වන්න.
( හුස්ම ගැනීම, රඳවා ගැනීම , පිට කිරීම යන අවස්ථාවල නිවැරැදිම කාල අනුපාතය 1:4:3 යි. නමුත් මෙම අභ්‍යාසය ඔබට සැහැල්ලු හා පහසු අයුරින් සිදුකරන්න )
තෙවනුව ඉතා සැහැල්ලුවෙන් රඳවා තබාගත් හුස්ම සෙමෙන් පිටකර හරින්න. සියලු දුර්වලතා දුරු වී යන බව මනසින් දකින්න.
මෙසේ වාර පහක් සිදු කරන්න. ඉන්පසු දෙනෙත් හැර ප්‍රීතිමත් බව අත්විඳින්න.
මනස ප්‍රීතිමත්ව ජව සම්පන්නව නිරෝගීව තබා ගැනීමට මෙම මානසික අභ්‍යාස ඉතාමත් වැදගත් වනු ඇත.
දිනපතාම විනාඩි දහයක් මෙවැනි අභ්‍යාසයක යෙදීමෙන් කෙටි හා දිගු කාලීනව මහත් ප්රතිලාභ ඔබට අත්විඳීමට හැකිවේවි.
මෙම අභ්‍යාස වල යෙදීම ආගම් හෝ ජාති භේදයක් නැත. වටිනාකම දන්නා කාටත් එක සේ ප්‍රයෝජනවත් වනු ඇත. වෙනදා දුටු නීරස වෙහෙසකර ලෝකය ඉතා රසවත්ව හා ප්‍රීතිමත්ව ඔබට විඳින්නට නිසැකයෙන්ම මේ අභ්‍යාස තුළින් හැකියාව ලැබේවි.
සිරි උපාලි ධර්මාශ්‍රමයෙහි අනුශාසක පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි ,
කුඩා කිවුල, කොට්ටුකච්චිය.