වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
හොද්දට ලුණු දමන පදම ඉගෙන ගත්තොත් පවුල ම සුවයෙන්
අත සෙලවුවහොත් කට සෙලවීමට හැකිවෙයි. පවුලේ සියල්ලන්ම කෑම මේසයේදී කට සොලවන්නේ මව හෝ ගෘහණිය අත සොලවා පිළියෙල කරන ආහාර පාන නිසාය.
එහෙත් මේ ආහාර පානවලට අත දිගහැර ලුණු, සීනි, තෙල් දැම්මොත් නිවෙසම රෝගීන්ගෙන් පිරුණු රෝහලක් හා සමාන වීම වළක්වාගත නො හැකිය. ඒ සියලු ම රෝග බෝ නො වන රෝග ය. කෝවිඩ් - 19 වසංගතයට වැඩිපුර ම ගොදුරු වූයේත් ගොදුරු වන්නේත් මිය යන්නේත් බෝ නො වන රෝගවලින් පීඩා විඳින අය ය. ඉදිරියේ දී ද වසංගතවලින් අඩුවක් නො වනු ඇත. එමෙන් ම අවාසනාවකට දවසින් දවස බෝ නො වන රෝගවලට ගොදුරු වන පිරිස වැඩි වෙමින් පවතියි. මුළුතැන් ගෙය බෝ නො වන රෝගවලට ගොදුරු වීම අවම කළ හැකි මූලස්ථානය ය.
උපතේ සිට වසරක් යනතුරු ලුණු, සීනි නො දමා දරුවකුට පෝෂණය නො කරන්නේ අධික ලෙස ලුණු, සීනිවලට දිව ඇබ්බැහි වීම නරක පුරුද්දක් බැවිනි. සිඟිති වියේදී ඒවාට හුරු වුණොත් වැඩිහිටි වියේදී ඇබ්බැහි වීම වළක්වාලිය නො හැකිය. ඒත් අපේ රටේ ලුණු අධිකව පරිභෝජනය කිරීමේ නරක පුරුද්ද ගිනස් පොතට යායුතු තරම් ඉහළ ය. ලංකාවේ දිනකට බෝ නොවන රෝග නිසා 250 ක් පමණ මිය යති. ඉන් මරණ සියයකට පමණ හේතුව අධික රුධිර පීඩනය ය. අධික රුධිර පීඩනයේ ප්‍රධාන වග උත්තරකරු වන්නේ ලුණු ය.
අපේ රටේ අය දිනකට අවශ්‍ය ලුණු ප්‍රමාණයට වඩා වැඩි ලුණු ප්‍රමාණයක් භාවිත කරයි. 2019 වසරේ කළ සමීක්ෂණයකින් හෙළිවුණේ එක් පුද්ගලයකු දිනකට ලුණු ග්‍රෑම් 11.3 ක් පරිභෝජනය කරන බව ය. අධික රුධිර පීඩනය - හෘද රෝග - ආඝාතය ( ස්ට්‍රෝක් ) දම් වැල ක පුරුක් මෙන් එකිනෙකට සම්බන්ධ ය. ඊට අමතරව වකුගඩු අකර්මණ්‍ය වීම, දෑස් නො පෙනීම වැනි තත්ත්ව ඇති විය හැකියි.
අප නො දැනුවත්ව තුන් ආකාරයකට ලුණු සිරුරට එක් වෙයි. ප්‍රධාන වශයෙන් ම එනම් සියයට අසූවක් ම වාගේ ලුණු ලැබෙන්නේ නිවෙසේ පිළියෙල කරන ආහාරවලිනි. එහෙත් අඩු වශයෙන් සතියක ට වරක් හෝ පිටතින් ආහාර ගැනීමට සමහරු පුරුදු වී සිටිති. එවැනි ආහාරවලින් එක්වන ලුණු ප්‍රමාණය සිතාගත නො හැකි තරම් අධික ප්රමාණයකි. සැකසූ ආහාර පැකේජවලට ද අද කාලයේ හොඳ ඉල්ලුමක් ඇත. ඒවායේ ඇත්තේ ද අධික ලුණු ප්රමාණයකි. නිවෙසේ පිළියෙල කරන ආහාරවලට සාපේක්ෂව කඩ කෑමවලින් සැකසූ කෑම පැකේජවලින් සිරුරට එක්වන ලුණු ප්‍රමාණය අධිකය.
නිවෙසට රැගෙන එන ආහාර අතරින් වැඩි ම ලුණු ප්‍රමාණයක් ඇති ආහාරය කරවල ය. කාර්යාලයට ගෙනියන බත් පතට ගෘහණියක් කරවල කෑල්ලක් එක් කිරීමට අමතක කරන්නේ නැත. කරවල කෑල්ලේ ඇති අධික ලුණු ප්‍රමාණය සියයට පනහකින් ම අඩු කිරීමට පැය භාගයක් කරවල කෑලි ලුණු වතුරේ පෙඟවීමෙන් පුළුවන. අද යෞවනයේ රැල්ල වන රයිස්, කොත්තු, හැම්බේකන්, සොසේජර්ස් වැනි ආහාර පාන බොහොමයක ලුණු සැඟවී පවතියි.
දැන් වෙළෙඳ පොලේ ඇති ඕනෑම ආහාරයක ට්‍රැෆික් ලයිට් වර්ණ සඳහන් කර තිබෙයි. ආහාර මිලදී ගැනීමේදී පැකැට්ටුවේ ඇති වර්ණ දෙස මිල දෙස වගේ ම ඕනෑකමින් බලන්න. ආහාර පානවල අහිතකර මට්ටමෙන් ලුණු, සීනි, තෙල් ඇත්නම් රතු පැහැ කොටුවකින් ඒ බව දක්වා ඇත. ලුණු මධ්‍ය ම ප්‍රමාණයෙන් ඇත්නම් තැඹිලි පැහැයෙන් ද අහිතකර නැති මට්ටමින් ඇත්නම් කොළ පැහැයෙන් ද ඒ බව දක්වා තිබෙයි. රතු පැහැයෙන් ලුණු දක්වා ඇත්නම් එවැනි ආහාරයක් දිනපතා කෑමට නො ගන්න.
බතට ලුණු එක් කිරීම අපේ ගෘහණියන් කරන තවත් වරදකි. බත් වැඩිපුර කෑමට ගන්නා නිසා වැඩිපුර ලුණු ප්‍රමාණයක් සිරුරට එක්වෙයි. එනිසා ලුණු එක් කළ යුත්තේ ව්‍යංජනවලට ය. හොද්දට පදමට ලුණු එක් කිරීමේ හැකියාවක් දියණියට තිබිය මතය කෙතරම් කාලෝචිතද ?
රුධිර පීඩනය ක්‍රමවත්ව පවත්වා ගැනීමට සෝඩියම් යම් මට්ටමකින් අවශ්‍යය.
වැඩිහිටියකුට නම් සිරුරට අවශ්‍ය වන සෝඩියම් ප්‍රමාණය ග්‍රෑම් දෙකක් පමණ වෙයි. දරුවකුට අවශ්‍ය ඉන් අඩකි. ලුණු හෙවත් සෝඩියම් ක්ලෝරයිඩ් සෝඩියම් ලැබෙන ප්‍රධාන මාර්ගය ය. ලුණුවල සෝඩියම්, ක්ලෝරයිඩ් දෙක ම අඩංගු නිසා එක් අයකු ලුණූ ග්‍රෑම් 5 ක් ( මට්ටම් කරන ලද තේ හැන්දක ප්‍රමාණය ) දිනකට ලබා ගත යුතුය.
ලුණු වැඩි වුණොත් රුධිර පීඩනය වැඩි වෙයි. එනිසා ලුණු යනු අඩුත් නැතිව වැඩිත් නැතිව ගත යුතු දෙයකි.
දරුවකුට අවුරුද්දක් යන තුරු ලුණු, සීනි නැති ආහාර දුන්නත් ඉන්පසු දරුවාට දෙන ආහාරවල ලුණු, සීනි ප්‍රමිතිය ගැන අම්මලා සිතන්නේ ම නැත. නිවෙසේ ව්‍යාංජනවලට ලුණු රසකාරකය අඩු කර දෙහි, ඉඟුරු, සුදු ලූනු, රතු ලූනු, ගොරකා, සියඹලා, කරදමුංගු, කුරුඳු, කරාබු නැටි, තුනපහ වැනි දේට පවුලේ සාමාජිකයන් ගේ දිව හුරු කිරීමේ හැකියාව ඇත්තේ ගෘහණියට ය. තවමත් පමා නැත. අද අදම ලුණු වැඩියෙන් දැමීමේ පුරුද්දට ( 'Shake The Habit' ) නැවතීමේ තිත තබමු.
උපදෙස් - සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නො වන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ
ශාන්ති ගුණවර්ධන
සටහන
චම්පිකා දීපානි රණසිංහ