වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
හැඩවැඩ වෙන්නත් නින්ද ඕනෙම ද?
අපගේ කාර්යබහුලත්වයත් සමඟින් අපට අහිමිව යන වටිනා ම දෙයක් වන්නේ නින්දයි. නින්ද යනු වැඩකට නැති දෙයකැයි ඇතැමුන් සිතා සිටිය ද ආහාර මෙන්ම නින්ද ද සිරුරට අත්‍යවශ්‍ය වන්නකි. දවස පුරා වෙහෙසෙන සිරුර නැවත ප්‍රකෘතිමත් වන්නේ නින්දේ දී ය.
නමුත් නින්ද කැප කිරීමෙන් අපගේ අනෙක් වැඩ කටයුතු ඉටුකර ගත හැකි වුවද කාලයක් යාමේ දී නොදැනුවත්ව ම රෝගීන් බවට පත් වන්නෙමු. එමනිසා නින්ද නිරෝගී දිවියකට මෙන්ම සුන්දර පෙනුමකටත් එකසේ වැදගත් වේ. ඇස් යට කළු වීම, ඇස්වල දීප්තිමත් බව නැතිවීම, ඇස් ඉදිමීම ආදිය අධිකව නිදි වැරීමෙන් ඔබගේ රුවට සිදුවන හානි ය. මේ දේවල් ඍජුවම බලපාන දේ වුවද වක්‍රව සිරුර අවලස්සන කරන දේ ද නින්ද අඩු වීමෙන් සිදු වේ.
නමුත් මෙසේ රාත්‍රියේ නිදිවැරීමෙන් නින්ද සඳහා අවශ්‍ය වන මෙලටොනින් හෝමෝනය ශ්‍රාවය වීම අඩුවන බව හා ඉන් ඇතිවන අහිතකර තත්ත්වය පිළිබඳ අපි ඔබට පසුගිය සතියේ දී පැහැදිලි කළෙමු.
පාඩම් වැඩ කරන දූ පුතුන් බොහෝ වෙලාවට පුරුදු වී සිටින්නේ රාත්‍රියේ දී නිදිවරාගෙන පාඩම් කිරීමටයි. නමුත් එය එතරම් හොඳ පුරුද්දක් නොවේ. එයට වඩා ප්‍රතිඵලදායක වන්නේ උදේ 5.00 ට අවදි වී පැය දෙක තුනක් හෝ පාඩම් කිරීමයි. රාත්‍රියේ පැය 4-5 ක් පාඩම් කරනවාට වඩා උදෑසන පාඩම් කිරීමෙන් ඒවා මතකයේ රැඳෙන ප්‍රමාණය වැඩි වේ.
සිරුරේ උෂ්ණත්වය අවමයෙන් පවතින වෙලාව වන්නේ උදේ 3.00 න් පසු, 3.30-4.00 අතර කාලයයි.
නින්දේ දී සිදුවන මරණවලින් වැඩි කොටසක් සිදුවෙන්නේ මේ කාලයේ දී යි. මෙය සිරුර දුර්වල ම වේලාවයි. එම නිසා මේ වෙලාවේ දී එක්වරම අවදි වීමට සිරුරට අපහසු වේ. එමනිසා උදෑසන 5 පසුවී අවදි වීම වඩාත් සුදුසුයි. රාත්‍රියේ අනවශ්‍ය ලෙස නිදි වැරීම ඔබේ මතක ශක්තිය දුර්වල කිරීමට ද සමත් ය.
නින්ද සඳහා අවශ්‍ය වන අනෙකුත් හෝමෝන වර්ග වන්නේ ලිෆ්තින්, ග්රිනින්, ඊස්ට්‍රජන්, ටෙස්ටෙස්ටරෝන්, කෝටිසෝල්, ග්රෝත් හෝමෝන, ඉන්සියුලින් ආදී හෝමෝන ය. මේ සියලුම හෝමෝන වර්ග අපේ සිරුරේ වර්ධනයට හා තෙල් තැන්පත් වීම හෝ තෙල් දහනය කිරීම තීරණය කරන හෝමෝන වේ.
රාත්‍රියේ දී අප නිදිවරන විට මෙලටොනින් ශ්‍රාවය නතර වේ. එමඟින් ඉන්සියුලින් හෝමෝනයට බලපෑම් ඇති වේ. ඉන්සියුලින් ප්‍රතිරෝධය වර්ධනයකර සිරුරේ වැඩියෙන් තෙල් තැන්පත් වීම සිදුවේ. එවිට දියවැඩියාව, ෆැටි ලිවර්, අධික ස්ථුලතාව වැනි ලෙඩ රෝග ඇති වේ.
අප රාත්‍රියේ නිදිවරන විට කෝටිසෝල් හෝමෝනය ශ්‍රාවය වේ. එයින් අපට නොයෙකුත් පැණිරස ආහාර ගැනීමට ආසාවක් කැමැත්තක් ඇතිවේ. සිරුරේ ඇති මාංසපේෂී දියකර සිරුරට අවශ්‍ය ශක්තිය ලබා ගනී. එමෙන්ම ලේවල සීනි මට්ටම වැඩි වේ.
ලෙප්ටින් වලින් 'කෑවා ඇති' යන සංඥාව මොළයට ලබා දෙයි. නිදිවරන විට ලෙප්ටින් ශ්‍රාවය වීම නතර වන නිසා මොළයට ලැබෙන්නේ නිතරම කන්න කන්න කියන පණිවුඩයයි.
ග්රිනින් හෝමෝනය මඟින් සිදුවෙන්නේ ද බඩගින්න ඇති කිරීමයි. මෙයින් ද ලෙප්ටින් හෝමෝනයට සමාන කාර්යයක් සිදු කරයි. එමනිසා නිතර කෑමට කැමැත්තක් ඇති වේ.
ග්රෝත් හෝමෝනය වඩාත් වැදගත් වන්නේ දරුවන්ටයි. වයස 18ට අඩු දරුවන්ගේ වර්ධන ක්‍රියාවලියට මෙය අවශ්‍ය වන්නකි. මෙම හෝමෝනය ශ්‍රාවය වන්නේ උදේ කාලයේ දී වුවත් රාත්‍රියේ දී නිදිවැරීම නිසා වර්ධක හෝමෝනය (මෙය තාරුණ්‍යයේ උල්පත ලෙසින් ද හඳුන්වයි) ශ්‍රාවය වීම අඩු වේ. මේනිසා තරුණ පෙනුම නැති වී වයස පෙනුමක් ලැබේ.
ලිංගික පද්ධතිය ආශ්රිත හෝමෝන වන ඊස්ට්‍රජන් හා ටෙස්ටෙස්ටරෝන් හෝමෝන ශ්‍රාවය වීම අඩු වීමෙන් ලිංගික ආශාව අඩු වේ.
ඊස්ට්‍රජන්, ටෙස්ටෙස්ටරෝන් හා වර්ධක හෝමෝනය අපේ මාංසපේෂී නිසි ලෙස පවත්වාගෙන යාමට උදවු කරයි. නිදිවරන විට මාංසපේෂී දියවීමකට ලක් වී සිරුර දුර්වල වන අතර වයසට වඩා වයස පෙනුමක් ඇති වේ.
අතීතයේ අයට වඩා අද වන විට නින්ද අහිමිකර ගැනීමෙන් නොයෙකුත් ලෙඩරෝගවලට ගොදුරු වීම වැඩි වී ඇත. තාක්ෂණික මෙවලම් නිසා නින්ද අහිමිකර ගත් අපට දැන් මේ පිළිබඳ වැඩියෙන් හිතන්නට සිදුව තිබේ.
බර අඩුකර ගැනීමට ඇඟ හැඩකර ගැනීමට උපදෙස් දෙන බොහෝ දෙනකු සිරුරේ ඒ සඳහා බලපෑම් ඇති කරන නින්ද හා ඒ ආශ්රි්රත හෝමෝන ගැන අවධානය යොමු නොකිරීම නිසා බර අඩුකර සිරුර හැඩකර ගැනීම හා ලෙඩ අඩුකර ගැනීම ඇතැම් අයට සිහිනයක්ව පවතී.
නමුත් වන්නකු මෙතඩ් ලෙස අප නම් කරන මේ ක්‍රමවේදයෙන් තමාගේ ජීවන රටාවම නිසිලෙස සකසා ගැනීමෙන් පහසුවෙන් නිරෝගී දිවියක්, හැඩකාර සිරුරක් පවත්වාගෙන යාමට හැකියාව ඇත.
ලෙඩ අඩු කර
හැඩ වැඩි කරන හැටි කියාදෙන වෛද්‍ය
ජානක වන්නකු