ගංවතුරේ ගෙදරට එන ලෙඩ හතුරෝ

ජුනි 10, 2024

සිරිලක අසිරිය කියාපාන ගංකොමළියන් බහුතරයක් පාහේ මේ දිනවල ප්‍රචණ්ඩ වෙමින් පවතී. එහි අනිටු ප්‍රතිඵලය වූයේ දහස් ගණන් පිරිස් අවතැන් කරමින් ගංවතුරක් ඇති වීමයි. ගංවතුරේ බැස ඇවිදිමින්, පිහිනමින්, ක්‍රීඩා කරමින් විනෝදවන පිරිසගේ වීඩීයෝ සමාජ මාධ්‍ය හරහා අනේක ලෙස හුවමාරු වෙයි.

ජල ක්‍රීඩා කරමින් ගංවතුර තත්ත්වය විනෝදය උදෙසා යොදාගත් සියලු දෙනා හට කිව හැකිවන්නේ වතුරට බැස විනෝදාත්මක ලෙස ඔබ ඡායාරූප ගත්තේ අසූචි වළවල්වල මලපහ, වෙනදා ඔබ අසලින් යද්දී නහය හකුළාගෙන ගිය ඌරු කොටු, කුකුළු කොටු, එළු ගාල් වැනි සත්ත්ව ගොවිපළවල්වල අසූචී, කුණු කඳුවල ගඳ ගහන පිළුණු නූල් ඇදෙන පණුවෝ ගහපු නරක්වුණ අපද්‍රව්‍ය , රෝහල්වල සායනික අපද්‍රව්‍ය හා විකිරණශීලී අපද්‍රව්‍යවලයි.

මේ ඔබේ නොදැනුවත්කමද ? නැති නම් අනුවණකමද ?

ගංවතුර ( floods ) හෙවත් ජල ගැලීම යනු

කෙටි කාලයක් තුළ අධික වර්ෂාපතනය නිසා සාමාන්‍යයෙන් ජලයෙන් යට නොවී පවතින ප්‍රදේශයක් ජලයෙන් යටවීමයි.

* පිටාර ගැලීම්

( ගංගා ඇළදොළ වැනි ජල මාර්ග පිටාර ගැලීම )

* ක්ෂණික ජල ගැලීම්

( වතුර බැහැර වෙන කානු අවහිර වීම නිසා ) නිසා මේ තත්ත්වය ඇතිවීමට පුළුවනි.

ජල ගැලීම්වලට හේතු

* අධික වර්ෂාපතනය - මිනිස් ක්‍රියාකරම්වල බලපෑම නිසාත් ,ස්වාභාවික පරිසරයේ විවිධාකාර සෘතු වෙනස් වීම් නිසා

* ජලාශවල ධාරිතාව අඩුවීම - ජලාශවලට රොන්මඩ එකතු වීම නිසාත් , කැළිකසළ ජලාශවලට මුදාහැරීම නිසාත් , ජලාශවල නඩත්තු කටයුතු නිසි වේලාවට නොකරන නිසා

* ජලය බැස යන මාර්ග අවහිර වීම සහ නිසියාකාරව කුණු කසළ බැහැර නොකිරීම

ඔබත් ගංවතුරින් පීඩා විඳි අයෙක් නම් මේ ගැන විශේෂ අවධානයක් දෙන්න.

 

පානීය ජල ගැටලු

ළිං , උල්පත් , ගංගාවලට මිනිස් මලපහ , සත්ත්ව මලපහ ,කර්මාන්ත ශාලාවල අපද්‍රව්‍ය , රසායන ද්‍රව්‍ය වැනි විවිධාකාර වූ අපද්‍රව්‍ය මුසුවී තිබිය හැකියි .

**සෑමවිටම පිරිපහදු කළ ජලය, උණුකර නිවාගත් ජලය, බෝතල් කළ ජලය පානය කරන්න.

** ඔබ පානිය ජලය ලබා ගන්නේ ළිඳෙන් හෝ උල්පතකින් නම් ඒවා අනිවාර්යයෙන්ම සෞඛ්‍යයට හිතකර අන්දමින් පිරිසුදු කළ යුතුයි

 

පරිහරණයට නුසුදුසු ජලය

 

ඉහත දැක්වූ පරිදිම ගංගා, ඇළදොළ , ළිංවල ජලයට අපද්‍රව්‍ය එක්වීම නිසා පරිහරණයට නුසුදුසු ජලය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි . ජල ප්‍රභව පිරිසුදු කිරීමට ක්ලෝරින් යොදා ගන්න. ඔබට ක්ලෝරින් හා උපදෙස් අවශ්‍ය නම් ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය නිලධාරීතුමාගෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් ලබා ගත හැකියි.

**මෙහිදී ජලාප්‍රවාහන මණ්ඩලය වෙතින් ඔබ ජලය ලබා ගන්නේ නම් එම ජලය පරිහරණයට සුදුසු විය හැකියි. මන්ද එම ජලය පිරිපහදු කිරීමෙන් අනතුරුව ජල නළ හරහා ඔබගේ නිවෙස්වලට ලබාදීම සිදු වේ.

 

ආහාර ගැටලු

 

** ආහාර සැකසීමට ගන්නේ නළ ජලය වුවද උණුකර නිවාගත් ජලය භාවිත කරන්න .

**හොඳින් පිසගත් ආහාර පමණක් ආහාරයට ගන්න.

** එළවළු , පලතුරු , පලා ජාති ලුණු මිශ්‍ර වතුරින් හෝ දෙහි මිශ්‍ර වතුරින් දෙතුන් වතාවක් සෝදා හොඳින් පිරිසුදු කිරීමෙන් අනතුරුව ආහාරයට ගන්න.

**ආහාර සැකසීමෙන් පසු හොඳින් වසා තැබීමට කටයුතු කරන්න. ( මැස්සන්ට වැසිය නොහැකි ලෙස )

** මාළු පිනි එකක් සමඟ හෝ නිවෙසේදී පිරිසුදුව සකසා ගත් ආහාර වේලක් ගැනීම අතිශය වැදගත් වේවි.

** කඩ කෑම ආහාරයට ගැනීම ලෙඩරෝග රැසකට අතවනන්නක් වේවී.

 

බෝවන රෝග

ගංවතුර ඇති හා ගංවතුර බැස ගිය පසු සමය බෝවන රෝගවලට අතවනන සමයයි.

 

පාචනය

දියාරු මල දිනකට කිහිප වතාවක් පිටවීමේ තත්ත්වයයි. ජලය සහ සෝඩියම්, පොටෑසියම් වැනි ලවණ වර්ග සිරුරෙන් පිට වීමත් සමඟින් ඇතිවන විජලන තත්ත්වය පාචනයේ භයානකම තත්ත්වයයි.

 

ලේ අතීසාරය

පාචනයෙන් පසු ඇති විය හැකි දරුණුම තත්ත්වයක් වන්නේ ලේ අතීසාරයයි. මෙහිදී ලේ සහ සීදම් සහිතව මල පිටවේ. උණ, වමනය, බඩේ කැක්කුම ඉවසිය නොහැකි තරම් වේ.

 

මී උණ

වැසි සමයේ සහ ගංවතුර සමයේ පැතිරී යන රෝග තත්ත්වයකි. මී උණ සෑදෙන්නේ ලෙප්ටොස්,පයිරෝසිස් බැක්ටීරියාවෙනි. මීයන්, ඌරු මීයන්, මී හරකුන්, ගවයන් වැනි සතුන්ගේ වකුගඩුවල මේ බැක්ටීරියාව පවතී. රෝගය වැලඳුණු සතුන්ගේ මුත්‍රා හරහා මේ බැක්ටීරියාව පරිසරයට මුදා හැරේ. කුඹුරු ආශ්‍රිතව වැඩි වශයෙන් දක්නට ලැබෙන මේ බැක්ටීරීයාව සමේ තුවාල හරහා බොහෝවිට මිනිසාට බෝවේ. උණ, කැස්ස, වමනය, අප්‍රාණික බව, ඇස් රතුවීම. වැනි සාමාන්‍ය රෝග ලක්ෂණ පසුව හෘදය, වකුගඩු අක්‍රිය වීම දක්වාම ගොස් අවසානයේ මියයෑමට පවා පුළුවනි.

 

වයිරස් උණ

වැස්සට තෙමීම ආදියෙන් පසු වයිරස් උණ සෑදෙන්නට පුළුවනි. දින 3ක් තිස්සේ තද උණ පවතී නම් ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාව කළ යුතුවේ.

 

ඩෙංගු රෝගය

ගංවතුර ඩෙංගු මදුරුවාට බිජු හෙළන්නට කදිම නවාතැන් සපයාවී. මේ නිසා පිරිසුදු වතුර රැඳෙන ස්ථාන පිළිබඳ අතිශයින්ම සැලකිලිමත් වන්නට වේවී.

* පාචනය , ලේ අතීසාරය , මී උණ( ශරීරයේ තුවාල ඇති නම්) ,පණු රෝග වැනි රෝගවල ලක්ෂණ ඇත්නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න.

* සමේ රෝග , කැසීම් , බිබිලි, පලු දැමීම් වැනි විවිධාකාර ආසාත්මික ඇති නම් කොහොඹ කොළ , කහ, දෙහි මිශ්‍ර වතුරින් ස්නානය කරන්න. හැකියාවක් ලද සැණින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි .

* ගංවතුර තත්ත්වය බැස යන අවස්ථාවේදී විවිධ ස්ථානවල රැස් වු ජලය නිසා ඩෙංගු හා මදුරුවන්ගෙන් බෝවන රෝගද ව්‍යාප්තිය සිදුවිය හැකි නිසා ඔබගේ අවට වටපිටාව පිරිසුදුව තබාගත යුතුයි .

* වැසිකිළි භාවිතයේදී උස් බිමක ඇති වැසිකිළි භාවිතයට උත්සහ කරන්න. ජලයෙන් යටවී ඇති වැසිකිළි භාවිතයට නොගන්න. වැසිකිළි භාවිතයෙන් පසු අත් සබන් යොදා හොඳින් පිරිසුදු කරන්න.

කැළිකසළ හා අනෙකුත් අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කරමු. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට උත්සහ කරමු. රෝගවලින් ආරක්ෂා වෙමු. සමාජයී වශයෙන් හා ඔබේ ආදරණීයයන් වෙනුවෙන් කැප වී රෝග පීඩාවලින් ආරක්ෂා වෙමු.

 

උපදෙස් :

මහජන සෞඛ්‍ය පරික්ෂක

සඳුන් හේමන්ත රත්නායක