සුකොමළ ඈ හට ඇයි මේ පීඩා

ඔක්තෝබර් 21, 2024

 

මේ එළැඹ ඇත්තේ පියයුරු පිළිකා පිළිබඳ දැනුම්වත් කිරීමේ මාසයයි. ඔක්තෝබර් 01 දා සිට ඔක්තෝබර් 31 දක්වා වූ මාසයම පියයුරු පිළිකා පිළිබඳ දැනුම්වත් කිරීමේ මාසය ලෙස නම් කොට ඇත්තේ එහි ඇති වැදගත්කම නිසයි. මෙය රෝස මාසය ලෙස ද හඳුන්වයි.

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව 2022 වසරේ ලොව පුරාම කාන්තාවන් ලක්ෂ 23ක් පියයුරු පිළිකාව නිසා පීඩා විඳී. එම වසරේදී ලොව පුරා කාන්තාවන් 67,000ක් පියයුරු පිළිකාව නිසා මියගොස් තිබේ. රටවල් 185ක් අතුරින් රටවල් 157ක කාන්තාවන් අතර වැලඳෙන පිළිකා අතුරින් ප්‍රමුඛතම පිළිකාව වන්නේ පියයුරු පිළිකාවයි. ශ්‍රී ලංකාවත් ඒ අතරට අයත්වේ. අපේ රටේද කාන්තාවන් වැඩිමනත් පිරිසක් පීඩා විඳින්නේ පියයුරු පිළිකාවෙනි. ගෝලීය වශයෙන් මෙන්ම රටක් වශයෙන්ද පියයුරු පිළිකාව පිළිබඳ දැනුම්වත්ව සිටීම වැදගත් වේ.

ලෝකයේමත් කාන්තාවන් පියයුරු පිළිකාවට ලක්වීමේ ප්‍රවණතාව වැඩි වී තිබේ. වෙනසකට ඇත්තේ ලෝකයේ පියයුරු පිළිකාව කලින් හඳුනා ගැනීමේ හැකියාව ලංකාවට සාපේක්ෂව වැඩිවීමයි. මේ නිසා පියයුරු පිළිකාවෙන් මිය යන රෝගීන් ගණන විදෙස් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වැඩි වේ. මේ නිසා කලින් හඳුනා ගැනීම අතිශය වැදගත් වේ.

මෙවර ලෝක සෞඛ්‍ය සංවිධානය පියයුරු පිළිකාව පිළිබඳ දැනුම්වත් කිරීමේ මාසයේ තේමාව ලෙස නම් කොට ඇත්තේ 'කිසිවකු තනිවම පියයුරු පිළිකාව සඳහා මුහුණ දිය යුතු නැත' යන්නයි.

ශ්‍රී ලංකාවේ වසරකට පියයුරු පිළිකාව සඳහා ගොදුරුවූවන් 5500ක් පමණ සොයා ගැනේ. මින් 125ක් පමණ පිරිමින් වන අතර ඉතිරිය කාන්තාවන් වේ. වසරකට කාන්තාවන් 1000ක් පමණ පියයුරු පිළිකාව නිසා මිය යයි.

අපේ සංස්කෘතියට අනුව කාන්තාව පවුල් ජීවිතයක නොනිමි මෙහෙවරක නියැළෙන්නියකි. මෙවැනි රෝගයක් නිසා, මානසික පීඩාවන්ට පත් වීම, ඇය විඳවීම, මරණයට පත්වීම කිසිසේත්ම සිදු විය යුතු නැත.

වයස අවුරුදු 30ත් 60ත් අතර කාන්තාවන් වැඩි පිරිසක් පියයුරු පිළිකාවේ ගොදුරක් බවට පත්වේ. මේ පවුල් දිවියකට කාන්තාවක් අත්‍යවශ්‍යයෙන්ම සිටිය යුතු කාලයකි. කාන්තාවන් මින් මුදවා ගැනීමෙන් සමාජයට වඩාත් වැඩදායි පුද්ගලයන් බිහිකළ හැකිවේ.

පියයුරු පිළිකා මුල් අවධියේදී හඳුනාගෙන ඉක්මනින් ප්‍රතිකාර කිරීමෙන් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි බවත් පියයුරු පිළිකා රෝගියකුට වෛද්‍ය ප්‍රතිකාර පමණක් නොව රෝගයේ ශාරීරික, මානසික අභියෝග ජයගැනීමට ශක්තිමත් ආධාරක පද්ධතියක් අවශ්‍ය බවත් ඒ සඳහා පවුලේ අය, සමීපතයන්, සෞඛ්‍ය සේවා සපයන්නන් සහ මුළු ප්‍රජාවම එකට එකතු වූ පරිසරයක් නිර්මාණය කළ යුතු බවත් මෙවර තරුණි ගෙන එන සෞඛ්‍ය වෛද්‍ය අතිරේකය ඔස්සේ ඔබව දැනුම්වත් කරනු ඇත.

 

පිළිකාවක් යනු කුමක්ද?

 

පාලනයකින් තොරව අසාමාන්‍ය හා අවිධිමත් ලෙස සෛල බිඳීම නිසා ඇතිවන තත්ත්වයකි.

 

ලංකාවේ බහුලව වාර්තා වන පිළිකා

කාන්තාවන්ගේ

* පියයුරු පිළිකා

* ගැබ් ගෙල පිළිකා

* ඩිම්බකෝෂ පිළිකා

 

පිරිමින්ගේ

 

* මුඛ පිළිකා

* පෙණහලු පිළිකා

* ගලනාලයේ පිළිකා

* පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා

 

පියයුරු පිළිකාවක් යනු කුමක්ද?

පියයුරේ කිරි නිපදවන ග්‍රන්ථි හා නාලවල සෛල පාලනයකින් තොරව අසාමාන්‍ය ලෙස බෙදීම නිසා ඇතිවන තත්ත්වයකි.

 

කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයටම පියයුරු පිළිකා වැලඳේ. නමුත් කාන්තාවකට පියයුරු පිළිකා වැලඳීමේ අවදානම පිරිමි අයකුට වඩා සිය ගුණයකින් වැඩිය.

 

පිරිමින්ටත් පියයුරු පිළිකා

 

කාන්තාවන් පමණක් නොව පිරිමින් ද පියයුරු පිළිකාවන්ට ගොදුරු වේ. පිරිමින්ට පියයුරු පිළිකාව වැලඳුණහොත් එය මරණයෙන් කෙළවරවීමට ඇති අවස්ථාව වැඩිවෙයි. එසේ වන්නේ පියයුරු පිළිකාව සීඝ්‍රයෙන් වර්ධනය වීමට ඇති අවස්ථාව වැඩි නිසයි.

දැනුම්වත් වී ජීවිතයේ සුන්දරත්වය රැකගනිමු

 

* පියයුරෙහි සාමාන්‍ය ස්වභාවය පිළිබඳ අවබෝධයෙන් සිටින්න.

* පියයුරෙහි ඇතිවන වෙනස්වීම් පිළිබඳ සැලකිලිමත් වන්න.

* පියයුරෙහි ගැටිත්තක් වෙනසක් හඳුනාගතහොත් නොපමාව වෛද්‍යවරයකු හමුවන්න.

* සායනික පියයුරු පරීක්ෂාව සඳහා වෛද්‍යවරයකු, හෙදි සොයුරියක් හෝ හෙද නිලධාරිනියක්,

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් හමුවන්න.

* අවුරුදු 20- 40 අතර කාන්තාවන් අවුරුදු 3කට වරක්වත්

* අවුරුදු 40 වැඩි කාන්තාවන් අවුරුද්දකට වරක්වත් සායනික පියයුරු පරීක්ෂාවක් කරගත යුතුය.

පියයුරු පිළිකා කලින් හඳුනාගැනීම මඟින් සම්පූර්ණයෙන් සුව කර ගත හැකිය.

 

පියයුරු පිළිකාවක් හට ගැනීම සඳහා වැඩි අවදානමක් ඇත්තේ කාටද?

 

පිළිකා සඳහා පවුල් ඉතිහාසයක් ඇති කාන්තාවන් (මවගේ හෝ පියාගේ පාර්ශ්වයේ ලේ ඥාතියකුට පියයුරු හෝ ඩිම්බකෝෂ පිළිකා වැලඳී ඇත්නම්

 

දරුවන් නොමැති හෝ දරුවන් ලැබීම පමා වූ කාන්තාවන්

 

සමහර පිළිකා පියයුරු රෝග තත්ත්වයන් සඳහා පෙර ඉතිහාසයක් ඇති කාන්තාවන්

 

ජීවිත කාලය තුළ ඔසප් චක්‍ර වැඩි සංඛ්‍යාවකට නිරාවරණය වූ කාන්තාවන් (අවුරුදු 11ට පෙර වැඩිවිය පත් හා /හෝ අවුරුදු 55ට පසු ආර්තවහරණය වූ කාන්තාවන්)

 

වෛද්‍ය උපදෙසින් තොරව ඊස්ට්‍රජන් හෝර්මෝනය අඩංගු ඖෂධ සඳහා දීර්ඝකාලීනව නිරාවරණය වූ කාන්තාවන්

 

ආර්තවහරණයට පසු අධික ලෙස තරබාරු වූ කාන්තාවන්

පියයුරු පිළිකා සෑදෙන්නේ එම අවදානම් සාධක ඇති අයට පමණද?

නැත, අවදානම් සාධක නැති අයටද පියයුරු පිළිකා වැලඳීමේ හැකියාවක් ඇත. එමෙන්ම අවදානම් සාධක සහිත සමහර කාන්තාවන්ට ඔවුන්ගේ ජීවිත කාලය තුළදී පියයුරු පිළිකාවක් ඇති නොවීමටද හැකියාව ඇත.

 

පියයුරු පිළිකාවේ රෝග ලක්ෂණ

බහුලව හමුවන රෝග ලක්ෂණ වන්නේ

* පියයුරුවල අලුතින් ඇති වූ අසමමිතික බවක්

* පියයුරේ යම් කොටසක් ඇතුලට නෙරා යාමක්

* පියයුරුවල සමෙහි යම් වෙනස්කමක් (දදයක්, ඝනවීමක්, පැහැයේ වෙනසක්, ඉදිමීමක්, දොඩම් ලෙල්ලක මතුපිට වැනි ස්වභාවයක්)

* තනපුඩුව ඇතුළට ගිලී යෑමක් (මෑතකදී ඇති වූ) හෝ වෙනසක්

* තනපුඩුවෙන් කිරි නොවන ශ්‍රාවයන් පිටවීමක්

පියයුරුවල අසාමාන්‍ය වේදනාවක්

රෝග ලක්ෂණයක් හඳුනා ගත් විට ඔබ කළ යුත්තේ කුමක්ද?

නොපමාව වෛද්‍යවරයෙක්, හෙදි නිලධාරිනියක්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් හමුවී සායනික පියයුරු පරීක්ෂාවක් කරගන්න.

 

පියයුරුවල ඇති සියලු ගැටිති පිළිකා ද?

නැත, පිළිකා නොවන ගැටිති වර්ගද ඇත.

පියයුරු පිළිකාවක් කලින් හඳුනා ගැනීම වැදගත් වන්නේ ඇයි?

පිළිකාවේ මූලික අවධියේදී හඳුනා ගත් විට සාර්ථකව ප්‍රතිකාරකර ජීවිතය යථා තත්ත්වයට පත්කර ගත හැකි නිසා

පියයුරු පිළිකාවක් කලින් හඳුනා ගැනීමට කළ යුත්තේ මොනවාද?

* ස්වයං පියයුරු පරීක්ෂාව

* සායනික පියයුරු පරීක්ෂාව

* මැමෝග්‍රෑම්/ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂාව

කාන්තාවක් වීම

කාන්තාවක් වීමම පියයුරු පිළිකාව වැලඳීමට හේතුවක් වී තිබේ. පිරිමි පුද්ගලයකු හා සසඳා බැලූ විට කාන්තාවකට එම අවදානම වැඩිවීමට ඇති ඉඩකඩ සිය ගුණයකින් වැඩි වේ.

වයස

වයස අවුරුදු 50ට වැඩිවීම අනෙක් කාන්තාවන්ට සාපේක්ෂව පියයුරු පිළිකාව වැළඳීමට වැඩි ඉඩකඩක් පවතින සාධකයකි. අවුරුදු 30ත් 60ත් අතර කාන්තාවන් විශේෂයෙන්ම පියයුරු පිළිකාවේ ගොදුරක් බවට පත්වේ.

පවුලේ ඉතිහාසය

මවු පාර්ශ්වයේ හෝ පිය පාර්ශ්වයේ අයකුට පියයුරු පිළිකාව තිබුණේ නම් අනෙක් අයට සාපේක්ෂව එම කෙනාට පියයුරු පිළිකාව වැලඳීමට ඇති අවස්ථාව වැඩිවේ.

තරබාරුකම

මත්පැන් පානය දුම් පානය

දරු පල නැතිවීම

 

මෙවැනි අය අනෙක් සාමාන්‍ය අයට වඩා පියයුරු පිළිකාව වැලඳීමට ඉඩකඩ වැඩි අයයි.

වයස ප්‍රධාන සාධකය වන්නේ නම් වයස අවුරුදු 20ට වැඩි සියලුම කාන්තාවන් මසකට වරක් ස්වයං පියයුරු පරීක්ෂාව කළ යුතුයි යන්න නිර්දේශ වෙයි.

ස්වයං පියයුරු පරීක්ෂාව

 

තමා විසින් තමාගේ පියයුර පරීක්ෂාවට ලක් කිරීම ස්වයං පියයුරු පරීක්ෂාවයි. මෙය සෑම මාසයකම තෝරාගත් එක් දිනකදී කළ යුත්තකි. එහිදී තමාගේ පියයුරේ සාමාන්‍ය ස්වභාවය ගැන මනා වැටහීමක් ඇතිවේවි. යම් හෙයකින් කිසියම් හෝ වෙනස්කමක් ඇතිවුණේ නම් ඒ බව ද හොඳින්ම අවබෝධ වේ.

 

පියයුරේ ඇතිවන ගැටිත්තක්, වළ ගැසීමක්, සමේ වෙනසක්, සම ඝනවීමක්, කිහිල්ලේ ඇතිවන ගැටිත්තක්, තනපුඩුවල ඇතිවන වෙනසක්, තනපුඩුවලින් අසාමාන්‍ය ශ්‍රාවයක් ගැලීම, ලේ ගැලීම මෙවැනි ලක්ෂණ පහළ වූයේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුයි.

 

පියයුරු නිරීක්ෂණය කිරීම

* මේ සඳහා ආවරණ ස්ථානයක් (උදාහරණයක් ලෙස කාමරයක්) යොදා ගන්න.

* ඔබගේ උඩුකය සම්පූර්ණයෙන් නිරාවරණය කොට කැඩපතක් ඉදිරිපස සිටගන්න.

 

පහත දක්වා ඇති ඉරියව්වල සිට පියයුරුවල යම් වෙනසක් ඇත්දැයි නිරීක්ෂණය කරන්න.

* අත් දෙක දෙපසට තබා සෘජුව සිටගෙන සිටියදී

* අත් දෙක හිසට ඉහළින් ඔසවා සිටගෙන සිටියද

* අත් දෙක ඉණ මත තබා තරමක් තෙරපමින් මඳක් ඉදිරියට නැමී සිටියදී

 පියයුරු අතින් අල්ලා පරීක්ෂා කිරීම

* පියයුරු අතින් අල්ලා පරීක්ෂා කිරීම, සිටගෙන සිටිමින්, වාඩිවී සිටිමින්, ඇඳක/

ඝන මතුපිටක වැතිරී සිටීමෙන් හෝ ස්නානය කරන අවස්ථාවකදී හෝ සිදු කළ හැකියි.

වැතිර සිටිමින් පියයුරු පරීක්‍ෂා කරන විට පරීක්ෂා කරන පියයුර ඇති පැත්තේ

උරහිසට යටින් ඝන රෙද්දක් නවා තැබීමෙන් පියයුරු පරීක්ෂාව පහසුවෙයි.

* අතේ ඇඟිලි එක්කොට ඇඟිලිවල ඇතුළු පැත්තෙන් පියයුරු ක්‍රමානුකූලව හොඳින්

පරීක්ෂා කරමින් පියයුරෙහි සමට යටින් ඝනවීමක් හෝ එහාට මෙහාට නොයන

ගැටිත්තක් පියයුරේ තද ගතියක් හෝ වේදනාවක් ඇත්දැයි පරීක්ෂා කරන්න.

පියයුරේ සෑම කොටසක්ම ආවරණය වන පරිදි සම්පූර්ණ පියයුරම පරීක්ෂා කරන්න.

* වම් අතින් දකුණු පියයුර සහ දකුණු කිහිල්ල ද දකුණු අතින් වම් පියයුර සහ වම් කිහිල්ල ද පරීක්ෂා කරන්න.

* මහපට ඇඟිල්ල හා දබර ඇඟිල්ල ආධාරයෙන් ඇරියොලාව (තනපුඩුව වටා ඇති තද පැහැති කොටස) මිරිකා තන පුඩුවෙන් කිරි නොවන ශ්‍රාවයක් පිටවන්නේ දැයි බලන්න.

 

ස්වයං පියයුරු පරීක්ෂාව කළ යුත්තේ කවදා ද?

* අවුරුදු 20ට වැඩි සෑම කාන්තාවක්ම මසකට වරක් පියයුරු පරීක්ෂාව කළ යුතුය.

* මාසික ඔසප් වීම සිදුවන කාන්තාවන් ඔසප් වීම අවසානයේ සතියකට පමණ පසුව ස්වයං පියයුරු පරීක්ෂාව කළ යුතුය.

* මාසික ඔසප් වීම නතර වී ඇති කාන්තාවන් සෑම මසකම නිශ්චිත දිනයක් පියයුරු පරීක්ෂාවට යොදාගත යුතුය.

ආර්තවහරණයෙන් පසු

 

සාමාන්‍යයෙන් පියයුරු පිළිකා වැඩිපුර දක්නට ලැබෙන්නේ අවුරුදු 30ත් 60ත් අතරයි. ආර්තවහරණයෙන් පසු කෙනකුට පියයුරු පිළිකා වැලඳෙන්නේ අඩුවෙනි. පියයුරු පිළිකාව හෝමෝනවලට සංවේදී වේ. ඒ අනුව ඊස්ට්‍රජන් හෝමෝනයට දක්වන සංවේදීතාව වැඩි වේ. පියයුරු පිළිකාව ඊස්ට්‍රජන් හෝමෝනය හා බැඳුණු පිළිකාවක් කීවොත් වඩාත් නිවැරදියි.කාන්තාවන්ගේ සිරුරු තුළ ඊස්ට්‍රජන් හෝ්මෝනය වැඩි නිසා පියයුරු පිළිකාව ඔවුන්ට වැඩිවශයෙන් වැලඳෙයි.

 මැමෝග්‍රෑම් පරීක්ෂණය

මෙය පියයුරු පිළිකාව හඳුනා ගැනීම සඳහාම වූ පරීක්ෂණයකි. ස්වයං පියයුරු පරීක්ෂාව මඟින් හඳුනා ගන්නවාට වඩා වසර දෙකකට පමණ පෙර පියයුරු පිළිකා මැමෝග්‍රැෆි පරීක්ෂාව මඟින් හඳුනාගත හැකියි. අවුරුදු 50ට වැඩි අවදානම් සාධක සහිත කාන්තාවන් මේ සඳහා යොමු කෙරේ. මෙම පරීක්ෂණය වේදනා සහගත යැයි සිතා බොහෝ අය ඊට යොමු වීමට මැලිකමක් දක්වයි.

 

මෙය එක්ස් කිරණ අඩු මාත්‍රාවක් යොදා ගනිමින් පියයුරෙහි ඇතුළත පටක බැලීම සඳහා ලබා ගන්නා එක්ස් කිරණ ඡායාරූපයකි. පියයුර යම් පීඩනයකට ලක් කොට විවිධ පැති ඔස්සේ ඡායාරූප ලබා ගැනීමක් මින් සිදුවේ. පියයුරුවල අසාමාන්‍ය සෛල වර්ධනයක්, අසාමාන්‍ය පටක වර්ධනයක් ඇත්නම් ඒ බව මින් තහවුරු වෙයි.

රෝග ලක්ෂණ වර්ධනය වීමට පෙර පියයුරු පිළිකාවේ මුල් සලකුණු සෙවීමට මැමෝග්‍රෑම් හෝ මැමෝග්‍රැෆි භාවිත කරයි. මෙය Screening mammogram ලෙස හැඳින්වේ. ගැටිත්තක්, වේදනාවක්, තනපුඩුවේ ශ්‍රාවයක් පිටවීම හෝ පියයුරු සමේ වෙනස්වීම් වැනි නව රෝග ලක්ෂණ වර්ධනය වුවහොත් කිසියම් අසාමාන්‍යතා සෙවීමට මැමොග්‍රැෆි භාවිත කරයි. මෙය diagnostic mammogram ලෙස හැඳින්වේ.

පිරික්සීමේ මැමෝග්‍රෑම්(Screening mammogram) සහ රෝග විනිශ්චය(Diagnostic mammogram) මැමෝග්‍රෑම් අතර වෙනස කුමක්ද?

 

Screening mammogram යනු සාමාන්‍ය මැමෝග්‍රෑම් එකක් වන අතර, ඔබට රෝග ලක්ෂණ ඇති වීමට පෙර පිළිකා හෝ අසාමාන්‍ය පියයුරු පටකවල සලකුණු සොයා බැලීමට නිර්දේශ කරයි. පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීමට මැමෝග්‍රැෆි පරීක්ෂාව උපකාරී වේ. කල්තියා හඳුනා ගැනීම කල් ඇතිව ප්‍රතිකාර කිරීමට ඉඩ සලසයි, එය පිළිකාව පසුකාලීනව සොයා ගැනීමට වඩා ඵලදායී විය හැකිය.

සාමාන්‍ය පරීක්‍ෂණ මැමෝග්‍රෑම් එකකට සාමාන්‍යයෙන් ඉහළ සිට පහළට සහ පැත්තෙන් පැත්තට විවිධ කෝණවලින් ගන්නා ලද එක් එක් පියයුරුවල පින්තූර දෙකක්වත් ඇතුළත් වේ.

මැමෝග්‍රෑම් එකකින් අසාමාන්‍ය පටක පෙන්නුම් කරන්නේ නම් හෝ පියයුරුවල ගැටලුවක් තිබේ නම් රෝග විනිශ්චය(Diagnostic mammograme) මැමෝග්‍රෑම් එකක් කිරීමට උපදෙස් ලබාදෙයි.

 

මැමෝග්‍රැම් වර්ග දෙකම පරීක්ෂා කිරීමට එකම යන්ත්‍ර භාවිත කරන අතර, රෝග විනිශ්චය මැමෝග්‍රැෆි මඟින් ස්ථාන සම්පීඩනය, පරිපූරක කෝණ හෝ විශාලන දර්ශන වැනි අමතර රූපකරණ ශිල්පීය ක්‍රම භාවිත කරන අතර අධ්‍යයනය කරන අවස්ථාවේ විකිරණවේදියා විසින් අධීක්ෂණය කරනු ලැබේ.

පියයුරු පිළිකා ප්‍රතිකාර අඛණ්ඩව වැඩිදියුණු වෙමින් පවතින අතර පිළිකා ආශ්‍රිත මරණ අඩු කිරීමට දායක වේ. මැමෝග්‍රෑම් පරීක්‍ෂා කිරීම හරහා මුල් රෝග විනිශ්චය කිරීම කෙරෙහි වැඩි බලපෑමක් ඇති කරයි.

මැමෝග්‍රෑම්වල බොහෝ සොයා ගැනීම් අශුභ හෝ පිළිකා නොවන ඒවා වේ. මැමෝග්‍රෑම් පරීක්ෂණයකින් පසු අමතර පරීක්ෂණ අවශ්‍ය පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 1කට වඩා අඩු පිරිසකට පිළිකා ඇත.

මෙම පරීක්ෂණය ඔස්සේ කුඩා පියයුරු පිළිකා සෛල පරීක්ෂාවක් වුව හඳුනාගත හැකි නිසා මුල් අවධියේදීම හඳුනා ගැනීමේ අවස්ථාව හිමි වෙයි. මෙම පරීක්ෂාව සඳහා ගතවන්නේ විනාඩි 20ක පමණ කාලයකි.

යම් අසාමාන්‍ය පටක හමුවුවහොත් ඉන් ලබා ගන්නා නියැදියක් (Biopsy) පරීක්ෂණයන් වෙත තවදුරටත් යොමු කරයි.

කීමෝ ප්‍රතිකාරය

 

මෙයද අනෙක් රෝගවලට ලබා දෙන ඖෂධ මෙන් පිළිකාව සඳහා ලබා දෙන තවත් ඖෂධයකි. ඕනෑම ඖෂධයක අතුරුපල තිබේ. පැරසිටමෝල් පෙත්තක පවා අතුරුපල තිබේ.

 

කීමෝ ප්‍රතිකාරයේ ප්‍රධානම අතුරුපලය කොණ්ඩය යෑමයි. කොණ්ඩය ගියත් එය නැවත වැඩේ. මාස 6ක් පමණ මෙම ප්‍රතිකාරය සිදු කෙරේ. ඉන්පසු කොණ්ඩය පෙර මෙන් වැවේ. කොණ්ඩය යන කාලෙට අවශ්‍ය නම් විග් එකක් පැලඳීමට අවස්ථාව තිබේ. ඒ සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ.

 

 

 

රේඩියෝ තෙරපි ප්‍රතිකාරය

කරන්ට් අල්ලනවා යැයි කියා මේ ප්‍රතිකාරයට බොහෝ අය බියවෙයි. මෙය එක්ස්රේ ප්‍රතිකාරයට සමාන වූවකි. මින් පිළිකා සෛල නැති කොට සාමාන්‍ය නීරෝගි තත්ත්වයට පත් කළ හැකියි.

රෝගය වැඩියෙන් පැතිර ඇතැයි හැඟුණහොත් පළමුව කීමෝ ප්‍රතිකාරය සිදු කොට රෝගය තරමක් මැඬ පවත්වා ශල්‍යකර්මයකට යා හැකියි.

රෝගය පැතිර ඇති වේගය අනුව අදාළ ප්‍රතිකර්මයන් සිදුවේ. වෙනත් ප්‍රතිකාරයන් සිදුකොට රෝගය උත්සන්නව පැමිණෙන රෝගීන්⁣ සිටී. මොවුන් පසුව බටහිර ප්‍රතිකාර සඳහා යොමුවුවත් ඒ ප්‍රතිකාරවලිනුත් ජීවත් කරවිය හැකි වන්නේ වසර 1 1/2 ක් 2ක් වැනි කාලයකි. පිළිකා සෛල ඒ තරමටම සිරුර පුරා ඔඩුදුවා අවසන්ය.

සායනික පියයුරු පරීක්ෂාව

 

ඔබ අවුරුදු 20ත් 40ත් අතර කාන්තාවක් නම් වසර තුනකට වරක් සායනික පියයුරු පරීක්ෂාව වෛද්‍යවරයකු වෙත යොමුවී කරගැනීම වැදගත් වේවි. අවුරුදු 40ට වැඩි කාන්තාවක් නම් වාර්ෂිකව සායනික පරීක්ෂණයන් සඳහා යොමු විය යුතු වේ.

 

සායනික පියයුරු පරීක්ෂාව යනු කුමක්ද?

ඒ සඳහා පහසුකම් ඇත්තේ කුමන ස්ථානවලද?

සායනික පියයුරු පරීක්ෂාව යනු පුහුණුවලත් සෞඛ්‍ය නිලධාරියෙක්/ නිලධාරිනියක් විසින් ඔබගේ පියයුරු පරීක්ෂා කිරීමයි. මෙම සේවාව ඔබ ප්‍රදේශයේ පැවැත්වෙන සුවනාරී සායන, රජයේ හෝ පෞද්ගලික රෝහල්වල පැවැත්වෙන ශල්‍ය වෛද්‍ය සායන, නාරිවේද සායන, සුවදිවි සායන හෝ පියයුරු සායනවලින් ලබාගත හැකියි.

 

අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ

පියයුරු පිළිකාවක් ඇත්දැයි හඳුනා ගැනීමට වයස අවුරුදු 45ට 50ට අඩු කාන්තාවන්ට වඩාත් සුදුසු වන්නේ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයයි.

 

මැමෝ ග්‍රෑම් පරීක්ෂාව

මෙහිදී ඇතුළු වන්නේ එක්ස් කිරණවලටත් වඩා අඩු කිරණ විශේෂයකි. මින් වන හානිය ඉතාම අවමයි.

පියයුරු පිළිකාවක් ඇති බවට හඳුනා ගතහොත් එය පවතින්නේ කවර අවධියකදැයි යන්න තහවුරු කරගැනීම ඊළඟ පියවරයි. එහිදී පිළිකා වයිරසය පියයුරට පමණක් සීමාවී ඇත්ද ඉන් එහාට පැතිර තිබේද යන්න පරීක්ෂා කෙරේ.

පියයුරට පමණක් සීමාවූ අවස්ථාවක ඇත්නම් පියයුර ඉවත් කිරීමට අවශ්‍ය නොවේ. එවිට ඉවත් කරන්නේ ගැටිත්ත පමණයි. ගැටිත්ත පමණක් ඉවත් කර කිරණ ප්‍රතිකාර සිදු කරයි.

ඇතැම් විට කීමෝ ප්‍රතිකාර සිදු නොකර හෝර්මෝන ප්‍රතිකාර පමණක් සිදු කිරීමෙන් රෝගී තත්ත්වයෙන් මිදිය හැකිවේ.

කීමෝ ප්‍රතිකාර සිදුකර, ශල්‍යකර්මයක් දක්වා වුවද යා හැකිවේ. මුලින්ම හඳුනා ගතහොත් අවුරුදු 10ක කාලයකට වැඩි කාලයක් ජීවත් වීම සියයට 92ක් 95ක් පමණ වේ. එය සම්පූර්ණ සුව කිරීමකි.

සිරුර පුරා පැතිර ගොස් හඳුනා ගත් පසු සාමාන්‍ය ජීවත් වන කාලය වසර 2ක් පමණ වේ.

පියයුරු පිළිකාව සඳහා සේවා සපයන ස්ථාන

 

සුව නාරී සායන

 

සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය හරහා මේවා ක්‍රියාත්මක වේ.

මේවා රෝහල්වලත් රෝහල්වලින් පිටතත් ක්‍රියාත්මක වේ.

පියයුරු සායන - ප්‍රතිකාර සඳහා මහරගම අපේක්ෂා රෝහලටම ඒම අවශ්‍ය වන්නේ නැත. දිවයින පුරා ප්‍රධාන රෝහල් කිහිපයකම පියයුරු රෝහල් ආශ්‍රිතව ක්‍රියාත්මක වන අතර මේවාහි කීමෝ තෙරපි, රේඩියෝ් තෙරපි වැනි ප්‍රතිකාර සියලුම ප්‍රතිකාර පහසුකම් තිබේ. මේ අතරට රෝහල් 26ක් පමණ අයත් වේ. මූලික රෝහල්, මහ රෝහල්වල පිළිකා ආශ්‍රිත රෝග සඳහා විශේෂඥ වෛද්‍යවරයකු හෝ සිටියි. මෙම ⁣විශේෂඥ වෛද්‍යවරු අවශ්‍ය කීමෝ සහ රේඩියෝ තෙරපි ප්‍රතිකාර සඳහා ළඟම ඇති ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රෝ්ගියාව යොමු කරයි. මේවාහි ක්‍රියාත්මකවන පියයුරු සායන ඔස්සේ බලාපොරොත්තු වන්නේ ඉක්මනින් රෝගය හඳුනා ගැනීමයි.

 

පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන

 

පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන ලෙස නාරාහේන්පිට, මාතර, රත්නපුර, යාපනය සහ මඩකලපුව යන ප්‍රදේශ වල මධ්‍යස්ථාන 5ක් ක්‍රියාත්මක වේ. ඉදිරියේදී සෑම පළාතකම පිළිකාවන් කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයක් ඇති කිරීමේ බලාපොරොත්තුව සෞඛ්‍ය අමාත්‍යාංශය සතුවේ. නුදුරේදීම බදුල්ල මහ රෝහලේත් ඉන්පසු පොළොන්නරුව, කුරුණෑගල යන රෝහල්වලත් ආදී වශයෙන් පළාත්වල ස්ථාපිත කිරීමෙන් අනතුරුව දිස්ත්‍රික්ක වශයෙනුත් පිළිකා මධ්‍යස්ථාන රෝහල් කේන්ද්‍ර කොට ගෙන ඇරඹෙනු ඇත.

සුවනාරී සායනයේදී සෞඛ්‍ය කාර්යය මණ්ඩලය ඊට යොමු වන කාන්තාවන් පරීක්ෂා කර බලා යම් රෝග තත්ත්වයක් ඇත්නම් හෝ එවැන්නක් පිළිබඳව අනාගත අවදානමක් පවතින බව පෙනේ නම් එම රෝග තත්ත්වය වළක්වා ගැනීමට, මුල් අවධියේ හඳුනා ගැනීමට, සුව කිරීමට හා පාලනය කිරීමට කටයුතු කරයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ මට්ටමින් නොමිලේ පවත්වන සායනයකි. මේ පිළිබඳ ව වැඩි විස්තර ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ගෙන් ලබා ගත හැකි වේ.

පියයුරු පිළිකා සහ ගැබ් ගෙල පිළිකා නිසා කාන්තාවන් වැඩිමනත් පිරිසක් මිය යයි. ශ්‍රී ලංකාවේ කාන්තාවන් පිළිකා අතුරින් වැඩිපුරම මිය යන්නේ මෙම පිළිකා වර්ග දෙක නිසයි. කලින් හඳුනා ගැනීම ඔස්සේ මෙම පිළිකා වර්ග දෙකම සුව කළ හැකි වේ.

* අසාමාන්‍ය පියයුරු ගැටිති හඳුනාගෙන ඒවා පරීක්ෂණයන් සඳහා යොමු කිරීම

* ස්වයං පියයුරු පරීක්ෂාවට සහ සායන පරීක්ෂාවට යොමු කිරීම

* ශරීරය ස්කන්ධ දර්ශකය(BMI) මැනවින් පවත්වාගෙන යෑමට උපදෙස් ලබාදීම

* අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව යන රෝගී තත්ත්වයන්ගේ මට්ටම පරීක්ෂා කර ඒවා මැනවින් පවත්වාගෙන යෑමට උපදෙස් ලබා දීම

* පැප් පරීක්ෂණය සඳහා යොමු කිරීම, එහිදී ලබා ගන්නා ශ්‍රාවයන් රසායනාගාර පරීක්ෂණ වෙත යොමු කිරීම,

ඒවායෙහි යම් වෙනස්කම් ඇත්නම් නාරි වෛද්‍ය විශේෂඥවරුන් වෙත යොමු කිරීම

* ආර්තව චක්‍රය සම්බන්ධ ගැටලු සඳහා උපදෙස් ලබාදීම

මේ ඔස්සේ කාන්තාවන්ට සුවබර ජීවිතයක් ළඟා කරදීම

 

සුවදිවි සායන

මෙම සායන බොහෝ දුරට ක්‍රියාත්මක වන්නේ බෝ නොවන රෝග පාලනය කිරීම සම්බන්ධයෙනි. සෞඛ්‍ය අමාත්‍යාංශය සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයක්ම ඉලක්ක කරගෙන දිවයින පුරා සුවදිවි සායන පවත්වයි.

 

පියයුරු පිළිකා සඳහා ප්‍රතිකාර කරන්නේ කෙසේද?

 

* පියයුරු පිළිකා පාලනය සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම තිබේ.

* රසායනික චිකිත්සාව (පිළිකා සෛල විනාශ කිරීම සඳහා ඖෂධ භාවිතය)

* විකිරණ චිකිත්සාව (පිළිකා සෛලවලට එරෙහිව විකීරණ භාවිතය)

* හෝර්මෝන චිකිත්සාව (පිළිකා සෛල වර්ධනය මැඬ පැවැත්වීම සඳහා ඖෂධ භාවිතය

* ජීව විද්‍යාත්මක චිකිත්සාව (පිළිකා වර්ධනයට සම්බන්ධ අනුව ඉලක්ක කරගත් ඖෂධ භාවිතය)

මූලික පරීක්ෂණ අවසන් වූ පසු ශල්‍ය කර්මය සිදු කිරීමට හෝ ශල්‍ය කර්මයට පෙර වෙනත් ප්‍රතිකාර ක්‍රමයක් ලබාදීමට තීරණය කරනු ලැබේ. පියයුරින් පිටත අවයවවලට පැතිරුණු පිළිකා තත්ත්වයකදී හෝ වැඩිහිටි දුර්වල රෝගීන් සඳහා සැත්කම විකල්පයක් නොවනු ඇත.

පියයුරු පිළිකා සඳහා සැත්කම්

 

පියයුරු පිළිකා සැත්කම් සඳහා අංශ තුනක් ඇතුළත් වේ.

* පියයුරු පිළිකාව ශල්‍යකර්මය මඟින් ඉවත් කිරීම

* කිහිල්ලේ ඇති වසා ගැටිති සඳහා සැත්කම්

* පියයුර ප්‍රතිනිර්මාණය සඳහා සැත්කම්

 

 

විශේෂ ස්තුතිය:

ජාතික පිළිකා මර්දන

වැඩසටහනේ අධ්‍යක්ෂ

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර,

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ

ප්‍රජා සෞඛ්‍ය

විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු,

කොතලාවල ආරක්ෂක

විශ්ව විද්‍යාලයේ පිළිකාවේදී

විශේෂඥ වෛද්‍ය හසන්ති ජයලත්