වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
වැඩ අස්සේ ගන්න අලස සුවයත් හරි සැපයි
ප්‍රවීණ මනෝ උපදේශිකා
අමා දිසානායක
කාන්තාවන් වෙනුවෙන් ගෙනෙන සුවිශේෂී ලිපි මාලාව
දරුවෝ ලොකු වෙලා විවාහ වෙලා යයි. එතකොට ඉතුරුවෙන්නේ ඔයයි සැමියයි විතරයි. ඉතින් තමන්ව අතහැරලා හැමදේම කරලා ඉවරවෙලා ඒත් අන්තිමට තමන් වෙනුවෙන් දෙයක් කරන්න කවුරුත් නැහැ.
බහ තෝරන්න පටන් ගත් වයසේ ඉඳන් අපි හැමෝගෙම මුවින් නිතර පිටවන වචනය අම්මා. ඒ තරමට අම්මා හැමෝගෙම ජීවිතවලට සමීපයි. අම්මා හැමෝම වෙනුවෙන් කෙතරම් කැප කිරීම් කළත් අම්මා ඇය වෙනුවෙන් කැප වුණේ කවදද? දහසකුත් වැඩ එක්ක ජීවිතය ගෙනයන අම්මා එයා වෙනුවෙන් පුංචි වෙලාවක් වෙන් කරගන්නේ කොහොමද? අද අපි කතා කරමු ඒ ගැන.
අතීතයේ කාන්තාවයි වර්තමාන කාන්තාවයි දිහා බලද්දී අහසට පොළොව වගේ ලොකු වෙනසක් තියෙනවා. අහසට පොළොව වගේ වෙන්න පළමු හේතුව තමයි කොච්චර ලොකු රැකියාවක් කළත් කොච්චර ඉගෙන ගත්තත් කාන්තාවකට පවුල ඇතුළේ ලොකු කාර්යභාරයක් පැවරිලා තියෙනවා. ඉතින් ඒ කාර්යභාරය කරගෙන යද්දි එයාට අනිත් අය වෙනුවෙනුත් කැප වෙන්න සිද්ධ වෙනවා.
වෘත්තියක් කරන කාන්තාවන්ගෙන් නිකම් අහලා බැලුවම එයාලා ගෙදරදි මොනවද කරන්නේ කියලා... එයාලා කියන්නේ මහත්තයට කෑම හදලා දෙනවා, රෙදි හෝදනවා, අතු ගානවා, ගෙදර වැඩ කරනවා. මාර්කට් යනවා ඔහොම ලොකු ලැයිස්තුවක් කියවගෙන යනවා.
හැබැයි ඒ ලැයිස්තුව තුළදී මම මගේ මුහුණ වෙනුවෙන් මෙච්චර වෙලාවක් වෙන් කළා.. මම පොතක් කියෙව්වා.. මම චිත්‍රපටියක් බැලුවා කියලා කොහෙවත් සඳහනක් නැහැ.
එයාලගෙන් ඒ ගැන ඇහුවොත් කියන්නේ මම ෆේෂල් එකක් දාලා නැහැ. මම කොණ්ඩෙ ගොතලා නැහැ. මම නියපොතු ටික කපලා නැහැ.. ඒ තරමට එයාලට වෙලාවක් නැහැ කියලා. මේකෙන් කියවෙන්නේ එයාලට හොඳ කළමනාකරණයක් නැහැ කියන එක. එයාලගෙ ඇඟ දිහා නිකමට බැලුවම එයාලා කාලෙකින් කකුල්වල නියපොතු කපලා නැහැ. කොණ්ඩෙ අගිස්ස ගානට කපලා නැහැ. ඇඳුම පිළිවෙළක් නැහැ. අයන් කරලා නැහැ. එතකොට එයා එයා ගැන කිසි සැලකිල්ලක් නැහැ කියන එක ඕනෙ කෙනෙක්ට තේරෙනවා. ඒ වගේ කෙනෙක්ගෙන් ඔයා අන්තිමට කියවපු පත්තරේ මොකක්ද කියලා ඇහුවොත් අපෝ මං පොතක්, පත්තරයක් අල්ලපු කාලයක් මතක නැහැ. එතකොට මම අහනවා ප්‍රවෘත්ති බලනවද කියලා.. අපෝ මට ප්‍රවෘත්ති බලන්න වෙලාවක් නැහැනෙ. ඊට පස්සේ මම අහනවා ඔයා කැමති නාට්‍ය මොකක්ද? අනේ නාට්‍ය බලන්න වෙලාවක් නැහැනේ. ළමයින්ගේ වැඩත් එක්ක කොහෙ නාට්‍ය බලන්නද. එහෙම කියනවා.
තමුන්ව තමන් අමතක කරලා අනුන් වෙනුවෙන් කරලා කිසි ප්‍රයෝජනයක් නැහැ. මොකද පවුලේ අනිත් අයගෙන් අගය කිරීමක් ලැබෙන්නෙත් නැහැනේ. ගොඩක් වෙලාවට ගෙදර එද්දි දකින්නේ කිලිටු පෙරාගත්තු කොණ්ඩෙ අවුල් කරගත්තු, විකෘති වෙච්ච අම්මා කෙනෙක්. හිනාවෙන අම්මා කෙනෙක් දකින්න බලාගෙන ළමයි ගෙදර එනවා. හිනාවෙන බිරියක් දකින්න බලාගෙන සැමියා ගෙදර එනවා. ගොඩක් කාන්තාවන්ගෙන් මහත්තයත් එක්ක තියෙන කායික සම්බන්ධතා කොහොමද කියලා ඇහුවොත් ඕවා කරන්න වෙලාවක් කොහෙද ළමයින්ගේ වැඩ කරලා වළං පිඟන් ටික හේදුවම 12 පහු වෙනවා. එහෙම්ම නිදාගන්නවා කියනවා.
මේ හැමදේම කාල කළමනාකරණයේ වැරදි. සති දෙක තුනකට ලුණු දෙහි ටිකක්, සීනි සම්බෝලයක් හදලා තියන්න පුළුවන්. රෑට බෝංචි කැරට් කපලා ලෑස්ති කරලා තියන්න පුළුවන්. ඒ වගේ පුංචි දේවල්වලින් වෙලාව ඉතුරු කරගන්න අවබෝධයක් තියෙන්න ඕනේ.
ඒ වගේම දරුවෝ නිතර නිතර ගේ හැඩි කරනවනම් ළමයින්ට කියන්න පුළුවන් දෙයක් ගත්තම ඒ දේ ඒ තැන්වලම ආයේ තියන්න කියලා. එතකොට අම්මට වෙහෙස අඩු වෙනවනේ. ඒ ඉතුරු වෙන වෙලාවෙන් එක්සයිස් කරන්න, ඇවිදින්න යොදා ගන්න පුළුවන්. පැය 24ම වැඩ වැඩ කිය කිය ඉන්නකොට අම්මගෙ හිත විතරක් නෙවෙයි ගතත් දුකෙන් ඉන්නේ. අම්මා දුකෙන් ඉන්නකොට පවුලම දුකෙන් ඉන්න වෙන්නේ. එතකොට අම්මට ලෙඩ රෝග ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මේ තරමටම කාන්තාව ආතතියෙන් ඉන්න ඕනේද? මම ගොඩක් වෙලාවට ඉරිදා දවස යොදා ගන්නේ නිදහසේ ඉන්න. සතියේ අනිත් හැම දවසම එක දිගට වැඩකරපු මම ඉරිදාට චිත්‍රපටියක් බලන්න, පොතක් කියවන්න සැහැල්ලුවෙන් ඉන්න කාලය වෙන් කරනවා. මම මගේ ශරීරය වෙනුවෙන් කාලය යොදවනවා. මේක කියවන ඔබ තමන්ගේ අත්පය දිහා බලන්න. තමන්ගේ විළුඹ පැලිලද.. කකුල් දෙක වතුර බේසමකට දාලා සත්කාරයක් කරලා නැද්ද. මේ දේවල් කරන්න විනාඩි 10ක් හොඳටම ඇති.
අම්මා හැමදාම හැදුවේ අනිත් අය කැමති කෑම. ඉතින් අම්මාත් අම්මා කැමති කෑමක් හදලා බලන්න. දරුවෝ ආස නිසා අම්මා දරුවන්ට අයිස් ක්‍රීම් අරන් දෙනවා. අම්මා ආස නැද්ද අයිස් ක්‍රීම් කන්න. ඉතින් තමන් ආස දේවලුත් කන්න.
මේ හැමදේම වෙන්නේ කාල කළමනාකරණයත් එක්ක. සතියේ දවස් හත පහසුවෙන් ගෙවාගන්නේ කොහොම ද? පාසල් යන දරුවෝ ඉන්නවනම් එයාලට පාසල් ගෙනියන්න උදේට උයන්නේ මොනවද කියලා මෙනූ පතක් හදාගන්න. එක දවසක කඩල, තව දවසක බත්, තව දවසක නූඩ්ල්ස් මෙහෙම මෙනූ එකක් හදලා තියාගත්තම පහසුයි. හැබැයි කෑම ගැන එහෙම ප්ලෑන් එකක් තිබ්බට ජීවිතය ගැන ලොකු බලාපොරොත්තු තියාගන්න බැහැ අපිට. කොයි වෙලාවෙ මොනවා වෙයිද කියලා කවුද දන්නේ. හදිස්සියේ අපිට මළ ගෙදරක යන්න වුණොත්, උත්සවයකට යන්න වුණොත් කලින් සැලසුම් කරපු නැති තැනකට යන්න වුණොත් ඒ ඒ අවස්ථාවට අපිට හැඩගැහෙන්නත් වෙනවා.
ඒ කොහොම වුණත් ඉරිදා දවස ඔයාට වෙන් කරගන්න. මුහුණට ෆේෂල් එකක් දාලා, ඇහි බැම ගාණට කපලා, කොණ්ඩේ තෙල් ටිකක් ගාලා මසාජ් කරලා එතකොට තමන්ගේ ඇඳුම් ටික හොඳලා පිළිවෙළට සූදානම්
කරන්න. මොකද සමහර අය ඔෆිස් යද්දි කිසිම ගැළපීමක් නැති පාට දෙකේ ඇඳුම් දෙකක් ඇඳගෙන පිස්සුවෙන් වගේ උදේට දුවගෙන ඔෆිස් යනවා. එහෙම වුණාම අගයක් වටිනාකමක් නැති වෙනවා. සමහර අය මටම කියලා තියෙනවා. සඳුදට කෑම බෑග් එක අරිද්දි ඒ අස්සේ සිකුරාදා උදේට කන්න ගත්ත කෙසෙල් ගෙඩියත් තියෙනවා කියලා. ඉතින් ඒකවත් කාලා නැහැ. වඩාත්ම දුක හිතෙන කාරණය තමයි අම්මා එයාගේ පෝෂණය ගැන හිතන්නේ නැහැ. අම්මා නීරෝගි වෙන්නම ඕනේ. මොකද පවුලට පෝෂණය දෙන්න නීරෝගිව ඉන්න නම් අම්මා ශක්තිමත්ව ඉන්න ඕනේ. ඒ නිසා තමන් වෙනුවෙන් පුංචිම හරි වෙලාවක් වෙන්කර ගන්න. මේ දේට පවුලේ අයවත් සම්බන්ධ කරගන්න පුළුවන්. සතියකට සැරයක් එළියට ගිහින් කෑමක රස බලන්න පුළුවන්. සමහර අයට මේ දේවල් කරන්න කාලයක් නැති එකට වඩා තියෙන්නේ වුවමනාවක් නැති එක.
දිගටම මෙහෙම ඉඳලා දරුවෝ ලොකු වෙලා විවාහ වෙලා යයි. එතකොට ඉතුරුවෙන්නේ ඔයයි සැමියයි විතරයි. ඉතින් තමන්ව අත්හැරලා හැමදේම කරලා ඉවරවෙලා ඒත් අන්තිමට තමන් වෙනුවෙන් දෙයක් කරන්න කවුරුත් නැහැ. මෙහෙම වැඩ කරන ගොඩක් කාන්තාවෝ වයසට වඩා වැඩි වයසක් පේනවා. ඉතින් මොන දේ කරන්නත් කලින් තමන් තමන්ට ආදරය කරලා ඉන්න ඕනේ. කකුල් දෙකේ ඇඟිලි 10යි අතේ ඇඟිලි 10 ගැනවත් හිතන්න වෙලාවක් හදාගන්න බැරි නම් ඒ ජීවත් වීමේ වැඩක් තියෙනව ද? සමහර අම්මලා දරුවා අඬද්දී සබන් පිටින් කාමරයට දුවගෙන එන්නේ. නාගන්නවත් හරියට වෙලාවක් නිදහසක් නැහැ. තමන්ගේ ඇඟ ගැන හිතනවා වගේම සමාජය ගැනත් පොඩි අවබෝධයක් ලබා ගන්න වෙලාවක් වෙන්කර ගන්න. දැන් ඡන්දයක් ළඟයි. ඡන්දෙ ඉල්ලන්නේ කවුද කියලවත් හොයලා බලන්න.
එතකොට තමන් එදිනෙදා කරන වැඩ වැඩක් විදිහට දකින්නේ නැතුව ව්‍යායාමයක් කරගන්න පුළුවන්. රෙදි හෝදන එක, දරුවව පංතියට එක්කගෙන යන්නඇවිදින එක, අතුගාන එක.. මේ දේවල් ව්‍යායාමයක් කරගන්නත් පුළුවන්.
ගොඩක් වෙලාවට මම ඉරිදා හැන්දෑවට ඔහේ වැතිරිලා ඉන්නවා. ඒකට කියන්නේ අලස සුවය කියලා. ඒ සුවය හරි සැපයි. එහෙම තමයි මම මේ මුළු සතියටම හරියන්න විවේකයක් ගන්නේ. ඉතින් ඔයා දන්න හඳුනන කාන්තාවක් දැක්කම අනේ බලන්නකෝ ඔයා මහන්සි වෙලාම ඔයාගෙ හැටි.. පොඩි විවේකයක් ගන්නකෝ. ලස්සනට ඇඳලා කරලා ඉන්නකෝ කියලා කියන්න. මම මේ කියන්නේ හැමදාම සැලෝන් ගානේ යන්න.. නිතරම ශොපින් ගිහින් ඇඳුම්වලට වියදම් කරන්න කියන එකම නෙවෙයි. පොඩි පොඩි දේවලින් ලස්සන වෙන්න පුළුවන්.
ඉතින් කාන්තාවක් වුණාම නිතර මුහුණ එල්ලගෙන ඉන්නේ නැතුව එක එක්කෙනාට චෝදනා කරන්නේ නැතුව තමන් ගැනත් ටිකක් හිතලා ලස්සනට ඉන්න. බඳින්න කලින් ලස්සනට හිටපු අයගේ දැන් මූණු කළු වෙලා.. ඇස් කඩන් වැටිලා... හම රැලි වැටිලා.. එහෙම ඉන්න එපා. ලස්සන, පිරිසුදුකම කියන්නේ කාන්තාවකට ආභරණයක්. දරුවෝ වගේම සැමියත් හරි ආසයි තමන්ගේ අම්මා, බිරිය ලස්සනට සතුටින් ඉන්නවට. අම්මා තමයි ගෙදරක ශක්තිය. ඉතින් අම්මා දහසකුත් වැඩ කරන ගමන් පුංචි විවේකයක් ගන්න. ලස්සනට සතුටින් ජීවිතය ගත කරන්න.