වර්ෂ 2025 ක්වූ January 06 වැනිදා Monday
HPV එන්නතට ඇයි මේ බය වෙලා
HPV එන්නත ලබා ගැනීමෙන් පසුව කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාථමික විද්‍යාලයක ශිෂ්‍යාවන් 5 දෙනකුට උදර වේදනාව, ඔක්කාරය, හිසරදය ඇතුළු රෝග ලක්ෂණ ඇතිවීමේ සිදුවීමක් වාර්තා වූ බව මාධ්‍යවල පළ වුණි.
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මෙම සුළු අතුරු ආබාධ කෙටිකාලීන වන අතර ඒවාට අනිසි බියක් හෝ කැලඹීමක් ඇතිකරගත යුතු නොවන බවයි. එන්නත් ලබාදීමේදී දරුවන් තුළ ඇතිවන බිය නිසා සුළු ක්ලාන්ත තත්ත්වයක් මෙන්ම මෙවන් අතුරු ආබාධ සාමාන්‍යයෙන් පාසල් එන්නත් වැඩසටහන්වල දක්නට ලැබෙන බවයි.
හියුමන් පැපිලෝමා වයිරසය සඳහා එන්නතක් ලබාදීම පිළිබඳ ඇතැම් මවුපියන් කෙරෙහි තවමත් ඇත්තේ අඩු දැනුම්වත් බවකි.
ලොව පුරා බොහෝ දියුණු රටවල්වන අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, මහබ්රිතාන්ය වැනි රටවල් 2006 වසරේ සිට මෙම එන්නත පාසල් වැඩසටහන් තුළින් දරුවන්ට හඳුන්වා දෙනු ලැබීය. දකුණු ආසියාතික කලාපයේ භූතානය, බංග්ලාදේශය, නේපාලය සහ ඉන්දියාවේ සමහර ප්‍රාන්තවලත් පාසල් වැඩසටහන් තුළින් හියුමන් පැපිලෝමා වයිරස එන්නත ලබාදීම සාර්ථකව සිදු කරනු ලැබේ. 2017 වසර වන විට රටවල් 58ක් එනම් ලෝකයේ රටවල්වලින් සියයට 30ක් ඔවුන්ගේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ හරහා ගැහැනු දරුවන්ට HPV එන්නත ලබාදීම ආරම්භ කොට තිබේ.
ශ්‍රී ලංකාවේ 2010 වසරේ සිට ප්‍රභේද 2ක් අඩංගු HPV එන්නත ද 2012 වර්ෂයේ සිට ප්‍රභේද 4ක් අඩංගු HPV එන්නත පුද්ගලික අංශයේ භාවිතය සඳහා තිබුණි. ජාතික ප්‍රතිසංස්කරණ වැඩසටහන තුළින් ගැහැනු දරුවන් සඳහා පාසල් එන්නත් සායනයකදී මෙම එන්නත ලබාදීමට පියවර ගනු ලැබුවේ 2017 වසරේදීය.
වයස අවුරුදු 10 සම්පූර්ණ වූ දැරියන්ට
වයස අවුරුදු 10 සම්පූර්ණ කරන ලද 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සියලුම ගැහැනු දරුවන්ට හියුමන් පැපිලෝමා වයිරස එන්නත මාත්‍රා 2ක් ලෙස ලබාදෙනු ලැබේ.
පළමු එන්නත් මාත්‍රාවෙන් මාස 6කට පසුව දෙවන එන්නත් මාත්‍රාව 6 ශ්‍රේණියේදී හෝ 7 ශ්‍රේණියේදී ලබා දෙනු ඇත. 7 ශ්‍රේණියේදී දරුවන්ට ලබා දෙන aTD එන්නත සමඟ එකම දිනයේදී වුවද මෙම එන්නත ලබාදිය හැකි වේ.
පාසල් වෛද්‍ය සායනයේදී එන්නත ලබා ගැනීමට නොහැකි වූ දැරියන්ට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වන එන්නත් සායනය මඟින් හියුමන් පැපිලෝමා වයිරස එන්නත ලබාගත හැකි වේ.
HPV Gardasil
පෞද්ගලික අංශයෙන් HPV Gardasil එන්නත ලබා ගත හැකිවේ. එහිදී අපේ රටේ රජයෙන් ලබාදෙන එන්නතින් ආවරණයවන ප්‍රභේද හැරුණු කොට තවත් ප්‍රභේද කිහිපයක් ආවරණය වේ. ලිංගික ප්‍රදේශයන් ඇතුළුව හියුමන් පැපිලෝමා වයිරසය ආශ්‍රිතව හටගන්නා ඉන්නන් ඇති වීමද මෙම එන්නතින් වළකාලයි.
මොකක්ද මේ හියුමන් පැපිලෝමා වයිරස(HPV) එන්නත
මෙම එන්නත ලබා ගැනීමේ ප්රතිලාභයන් ඒ අයුරින්ම භුක්ති විඳීමට නම් පළමු ලිංගික එක්වීමට පෙර එන්නත ලබා ගැනීම වඩාත් සුදුසු වේ. වයස අවුරුදු 10 සම්පූර්ණ වූ දැරියන්ට හියුමන් පැපිලෝමා එන්නත ලබාදෙන්නේ ඔවුන් එතෙක් ලිංගික හැසිරීමකට යොමුවී නැතැයි යන්න අවධාරණය කරමිනි. තමා ලිංගික හැසිරීමකට මෙතෙක් නිරාවරණය නොවූ අයෙක් බව පැහැදිලිවම දන්නේ නම් ඊට වැඩි වයස්වලදී වුවද එන්නත ලබා ගැනීමෙන් අවශ්‍ය ආරක්ෂාව සැලසේවී.
හියුමන් පැපිලෝමා එන්නත පිළිකාවන් වැළැක්වීමේ අරමුණින් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළට එක් කළ තවත් එන්නතක් ලෙස හඳුන්වා දිය හැකි වේ. හියුමන් පැපිලෝමා වයිරසය යනු එකිනෙකට සමානකම් දක්වන වයිරස වර්ග 100කින් පමණ සැදුම්ලත් වයිරස් කාණ්ඩයකි. මේ කාණ්ඩයේ එක් එක් වයිරසය එයටම ආවේණික වූ කිසියම් අංකයකින් හඳුන්වන අතර එය එම වයිරසයේ ජාන ප්‍රභේදය ලෙස සැලකේ.
මෙම වයිරස් කාණ්ඩයේ වයිරසවලට සම සහ ශ්ලේෂ්මල පටල (මුඛ කුහරයේ, ප්‍රජනක පද්ධතියේ වැනි) මත ජීවත්වීමේ හැකියාව ඇත. මෙම වයිරස මෙලෙස සම හෝ ශ්ලේෂ්මල පටල මත ජීවත් වූ පමණින් කිසිදු බාහිර රෝග ලක්ෂණයක් ඇති නොවන අතර විවිධ සාධකවල බලපෑමක් මත සිරුරෙන් ඉවත් වී යාමද සිදුවිය හැකියි.
නමුත් හියුමන් පැපිලෝමා වයිරසවල සමහර පිළිකාකාරක ප්‍රභේද ඇත. මෙවැනි පිළිකාකාරක ප්‍රභේද සම හෝ ශ්ලේෂ්මල පටල මත ජීවත් වූ පමණින් කිසිදු බාහිර රෝග ලක්ෂණයක් ඇති නොකළද කාලයක් යම් ආස්තරයක් මත ජීවත් වීමේදී එම ආස්තරයේ ඇති සෛලවල වෙනස්කම් සිදුකිරීම දැකිය හැකියි. මේ වෙනස්කම් කල් යෑමේදී පිළිකා බවට වර්ධනය වේ. හියුමන් පැපිලෝමා වයිරස ආසාදනයෙන් පසු එය පිළිකාවේ වඩාත් පැතිරුණු දරුණු අවධියට පත්වීමට සාමාන්‍යයෙන් වසර 10ක පමණ කාලයක් ගතවේ.
ප්‍රභේද 16 සහ 18
හියුමන් පැපිලෝමා වයිරසයේ පිළිකාකාරක ප්‍රභේද 16 සහ 18 වඩාත්ම බහුල පිළිකාකාරක ප්‍රභේද ලෙස හඳුනාගෙන ඇත. ගැබ්ගෙල පිළිකාවෙන් සියයට 99.7ක්ම කුමන හෝ හියුමන් පැපිලෝමා වයිරස ප්‍රභේදයකින් ඇතිවන අතර සියයට 70ක්ම ඇති වන්නේ ප්‍රභේද 16 සහ 18 මඟින් වේ. HPV එන්නත ලබාදීම මඟින් ප්‍රධාන වශයෙන්ම මෙම ප්‍රභේද 16 සහ 18 මඟින් ඇතිවන ගැබ්ගෙල පිළිකාවට ආරක්ෂාව ලැබේ.
අනෙක් ප්‍රභේදයන්ගෙන් බොහෝවිට ඉන්නන් හට ගනියි.
පිළිකාද ඇතුළුව හියුමන් පැපිලෝමා වයිරසය මඟින් ඇති කරන රෝග වළක්වාලීමට HPV ප්‍රභේද 2ක් සහ HPV ප්‍රභේද 4ක් ඇති එන්නත් ලෙස ලෝකයේ දැනට එන්නත් වර්ග දෙකක් භාවිත කරනු ලැබේ. මෙම එන්නත් දෙකෙහිම පිළිකාකාරක හියුමන් පැපිලෝමා වයිරස 16 සහ 18 ජාන ප්‍රභේද අඩංගු වන අතර, එන්නත් ප්‍රභේද 4ක් ඇති එන්නතේ ඊට අමතරව HPV 6 සහ 11 යන ප්‍රභේද ද අඩංගුවේ.
පිරිමි ළමුන්ටත්
වෙනත් රටවල මෙම එන්නත පිරිමි පාර්ශ්වය සඳහා ද ලබා දේ. ඔවුන් ලිංගික එක්වීම් නොයෙකුත් ක්‍රමවලට අනුව සිදු කරන නිසා ලිංගාශ්‍රිතව ආසාදිත රෝග තත්ත්වයන් පැතිර යෑමට ඇති අවස්ථාව බෙහෙවින්ම වැඩිවේ. අපේ රටේ ලබාදෙන එන්නතෙන් ආවරණයවන ප්‍රතිශක්තිකරණ මට්ටම අමෙරිකාව වැනි රටවලට ප්‍රමාණවත් නොවන අතර එය අපේ රටට හොඳින්ම ප්‍රමාණවත් වේ.
අතුරු ආබාධ
HPV එන්නත ලබා ගැනීමෙන් පසු ඇතිවන අතුරු ආබාධ ඉතාම සාමාන්‍ය වේ. එන්නත් කළ ස්ථානයේ වේදනාව, රතු පැහැය සහ ඉදිමීම ඇතුළු අනෙකුත් එන්නත්වල ප්‍රතික්‍රියා වලට සමාන වේ.
මෙම රෝග ලක්ෂණ පහෙන් හතරක් පමණ සිදු වන අතර ඉක්මනින් පහව යයි. අවශ්‍ය නම්, පැරසිටමෝල් මාත්‍රාවට අනුව ගත හැකියි.
HPV එන්නත ලබා ගැනීමෙන් පසු විනාඩි 15 ක් පමණ නිරීක්ෂණය කරනු ලැබේ.
ගැබ් ගෙල පිළිකාව යනු
ගැබ්ගෙල පිළිකාව යනු වළක්වා ගත හැකි පිළිකා තත්ත්වයකි. ලෝකයේ ගැබ්ගෙල පිළිකාවලට වැඩිපුරම ගොදුරුවන්නේ වයස අවුරුදු 30 - 55ත් අතර කාන්තාවන් වන අතර මෙය කාන්තාවන්ගේ මරණ සඳහා ප්‍රධානතම හේතුවක් ලෙස හඳුනාගෙන ඇත. ලෝකයේ කාන්තාවන්ට ඇතිවන පිළිකා අතුරින් සියයට 12ක්ම ගැබ්ගෙන පිළිකා වේ. වසරකට ගැබ්ගෙල පිළිකාව නිසා 266000ක් පමණ කාන්තාවන් සංඛ්‍යාවක් මිය යන බව සොයාගෙන ඇත. මෙම මරණවලින් සියයට 85ක්ම සිදුවන්නේ දියුණු වෙමින් පවතින රටවල වීම ද විශේෂයකි. ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා විධිමත් ක්‍රියාමාර්ග නොගතහොත් තවත් වසර 10ක් පමණ ගත වූ විට පිළිකා මඟින් සිදුවන මරණවලින් සියයට 25ක් ගැබ්ගෙල පිළිකා නිසා සිදුවනු ඇත.
ශ්‍රී ලංකාවේ කාන්තාවන් මිලියන 7.52ට ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම ඇත. ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ඇතිවන අතර පිළිකා අතුරින් සියයට 10ක්ම ගැබ්ගෙල පිළිකාවයි. ජාතික පිළිකා මර්දන වැඩසටහනේ දත්තවලට අනුව ගැබ්ගෙල පිළිකාවට ගොදුරු වීම වයස අවුරුදු 30දී ආරම්භ වන අතර කාන්තාවන් වැඩිම පිරිසක් ඊට ගොදුරුවන්නේ අවුරුදු 30 - 55 අතර කාලයේය.
උපදෙස් :
නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය
එස්. ඒ. රුවන් පතිරණ
විශේෂ ස්තූතිය :
සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ
වසංගත රෝග විද්‍යා අංශයට