ස්මාර්ට් දුරකථනය සඳහා ඇබ්බැහි වීමට පෙර මුදවා ගන්නේ කොහොමද?

දෙසැම්බර් 27, 2021

 

ස්මාර්ට් දුරකථන සඳහා අසීමිත ලෙස ඇබ්බැහි වී ඇත්තේ බාල, තරුණ, මහලු කොයි කවුරුත් ය.

අත්‍යවශ්‍ය මොනයම් දෙයක් අමතක වුවත් ස්මාර්ට් දුරකථනය අමතක වූවොත් නම් පෙරළා පැමිණෙනු ම ඇති. යම් හෙයකින් දුරකථනය තිබූ තැන අමතක වුවහොත් එය සොයා ගැනීමට පුදුමාකාර උන්දුවක් දක්වයි.

සැබැවින් ම ස්මාර්ට් දුරකථනයට ඇබ්බැහි වූවන්ගේ චර්යා රටාවන් සාමාන්‍ය කෙනකුගේ චර්යා රටාවන්ට වඩා වෙනස් ස්වරූපයක් ගන්නා බව සැලකිල්ලෙන් බැලුවහොත් අවබෝධ වේවි. මෙවන් තත්ත්වයක් කරා යෑම නම් එතරම් යහපත් නොවේ. ඊට පෙර තමාට ම අවබෝධ වේ නම් ‘මම ඇත්තට ම ස්මාර්ට් දුරකථනයට ඇබ්බැහි වෙලානේ.

අපරාදේ මේ කාලය පොතක් පතක් කියවන්න, කාන්තාවකට නම් මැහුමක් ගෙතුමක්, ඉවුම් පිහුම් කටයුත්තක්, වගාවක් වැනි දේකට යෙදෙව්වා නම්...‘ වැනි ධනාත්මක සිතුවිලි තමා කෙරෙන් ම මතු වේ නම් මෙම ඇබ්බැහියෙන් මිදීම තරමක් හෝ පහසු වේවි.

ස්මාර්ට් දුරකථනයට වන ඇබ්බැහියත් සමඟින් අනෙකුත් සියලුම ඇබ්බැහියන් අවසානයේ නිමාව දකින්නේ මානසික රෝග බවට, මානසික රෝගීන් බවට පත්වෙමිනි. මොළය පවා අනුගත වන්නේ එය නැතිවම බැරි එකක් ලෙසට ය.

ඇබ්බැහියන්ගෙන් මිදීම පහසු නොවේවි. සිතු පමණින් කළ හැකි දෙයක් නොවේවි. නමුත් ටිකෙන් ටික සරලව අරඹා කාලය ගතවද්දී දන්නෙම නැතිව ඉන් මිදී සිටීවි.

මානසික ආතතිය, විශාදය වැනි තත්ත්වයන් ඇබ්බැහිවල අනිටු ඵලයි.

සාමාන්‍ය සමාජයේ අනෙකුත් අය හැසිරෙන අන්දම ස්මාර්ට් දුරකථන ඇතුළු විවිධ ඇබ්බැහියන් සඳහා ලක් වූවන්ට අමුත්තක් සේ දැනෙවි.

විශේෂයෙන් ම ඔන්ලයින් පංති මුවාවෙන් ස්මාර්ට් දුරකථනයට ඇබ්බැහි වූ දරුවන් පිළිබඳ මාපියන්ට තම දරුවාගේ අධ්‍යාපන මට්ටම පිළිබඳ නිවැරැදි විනිශ්චයක් කරා යා නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. ඒ පාසල්වල වෙනදා පැවැති විභාග ආදිය දැන් නිසිපරිදි පවත්වන්නේ නැති නිසායි.

දරුවකුට වේවා වැඩිහිටියකුට වේවා ඇබ්බැහියන්ගෙන් මිදීමට දැඩි අවශ්‍යතාව තිබුණත් මනස මෙන් ම කය ද දැන් ඒ සඳහා ඉඩක් නොදේ. කොටින් ම කිවහොත් මනස මෙන්ම කය ද රෝගී වී අවසන් ය. එකම තැනක ඉඳන් කෑම කයි. මේ නිසා බර වැඩිවේ. ව්‍යායාමයක් කරන්නට ඉඩක් නැත. මේ දරුවා පසු කාලෙක දී නිදන්ගත රෝගියෙකි.

ස්මාර්ට් දුරකථනය බලමින් කෑම කද්දී කෑම වේලෙහි ඇත්තේ මොනවාද නොදනී. කෑම කන ප්‍රමාණ්‍ය ගැන දැනීමක් නැත. මේ නිසා නොදැනීම පමණ ඉක්මවා ගිය ආහාරවේලක් ගනියි.

හැමවිටම විද්්‍යුත් තිරයක් දෙස බලා සිටින නිසා ඇස් නොදැනුව ම දුර්වල වේ.

ඇබ්බැහියන්ගෙන් මුදවා ගැනීම තරමක් අසීරු කරුණකි. ඇබ්බැහිවීමකට පෙර ඔබේ දරුවා හෝ වෙනත් ඕනෑම පුද්ගලයකු ඉන් ගලවා ගත හැකි නම් එතැනදී ඔබ ජයග්‍රහණය කරනු ඇත.

එසේ නම් ඔබේ දරුවා හෝ දරුවන් ඇතුළු පවුලේ සැම ක්‍රමානුකූල ජීවන රටාවකට, දින චර්යාවකට හුරුවන්න. එවිට දෛනිකව ඔබ කළ යුතු යම් යම් කාර්යයන් කොටසක් මේ මේ වෙලාව ඇතුළත කරනවා යැයි සිතින් යම් කාල සටහනක් සාදා ගන්න. එවිට ඒ දේවල් දවස ඇතුළත කළ යුතුම නිසා යම් තරමකට ස්මාර්ට් දුරකථනය අතට ගන්නා කාලය අඩුවේවි. එය දිනපතා, සතිපතා, මාස්පතා ආදී ලෙස කරද්දී ජංගම දුරකථනය අතේ රැඳෙන වේලාව ක්‍රම ක්‍රමයෙන් අඩුවේවි.

දුරකථනයේ තිබෙන අනවශ්‍ය ඇප් සියල්ල ඉවත් කරන්න. අවශ්‍ය ම ඇප් එකක වුවත් Notification Silient කරන්න. එවිට Message එකක් එන ගානේ ඒ කෙරෙහි වන අවධානය තරමක් හෝ අඩු වේවි.

රාත්‍රියේ නින්දට යන විට ජංගම දුරකථනය මොනම ලෙසකින්වත් නිදන කාමරයට ගෙන නොඑන්න. දරුවාට ස්මාර්ට් දුරකථනය නිදන කාමරයේ තබා ගැනීමට කරනා උත්සාහයන් හැකි තරමින් ව්‍යර්ථ කරන්න. පහුවදා උදේම අවදිවීමට තබන එලාම් එක ස්මාර්ට් දුරකථනයෙන් තැබීමට බොහෝ දෙනා පුරුදුව සිටියි. එයම හේතුවක් කරගෙන ඇඳ යට හෝ ස්මාර්ට් දුරකථනය තබන්නට කටයුතු කරයි. එලාම් හි ශබ්දය හැකි පමණින් වැඩිකර හෝ නිදන කාමරයෙන් පිටත තැබීමට උත්සාහ කරන්න.

දරුවාව හැකි තරම් ස්වභාව දහමට සමීප කරවන්න. විවිධ විනෝදාංශවලට යොමු කරන්න. ක්‍රීඩා කටයුතුවලට යොදවන්න. පාසල් යන්නේ නම් බාහිර ක්‍රියාකාරකම්වලට යොදවන්න. ආගමික කටයුතුවලට යොදවන්න.

ස්මාර්ට් දුරකථනය හරහා විනෝද ක්‍රීඩාවලට හුරුව සිටින දරුවාට සැබෑ ලෝකයේ යථාර්ථය සහ මායා ලෝකයේ ඇති මිත්‍යාව අතර වෙනස පහදා දෙන්න.

මෙවැනි උපක්‍රම ප්‍රායෝගිකව අත්හදා බලන්න. දරුවා කෙරෙහි සැඟවුණු දක්ෂතාවන් මතු කරලන්න. මේ සියලු දේ ආදරයෙන් කරුණාවෙන් මිස තරවටු කිරීමෙන්, දඬුවම් කිරීමෙන් කරන්නට හිතන්න එපා.

 

 

උපදෙස් - රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය

දීපිකා සෝමතිලක