පැච්වර්ක් ක්‍රමයෙන් බිත්ති සැරසිල්ලක්

ඉවත දමන රෙදිවලින් හැඩවූ බිත්ති සැරසිල්ලක අපූර්වත්වයයි මේ.
අගෝස්තු 4, 2021

 

මෙම බිත්ති සැරසිල්ල මසාගැනීම සඳහා ඔබට කැමැති වර්ණ දෙකක රෙදි මිශ්‍රකරගත හැකිය. මෙහි සම්පූර්ණ පළල අඟල් 9ක් සහ උස අඟල් 27කි. ඔබ මෙය නිර්මාණය කරගැනීමේදී මෙහි රූපසටහනේ දී ඇති සමචතුරස්‍ර කොටුව මෙන් තවත් කොටු දෙකක් ඇතුළුව සම්පූර්ණ කොටු තුනක් මසාගත යුතුය.

 

දැන් එක් සමචතුරස්‍රයක් ඇඳගන්නා ආකාරය බලමු.

එහිදී ප්‍රථමයෙන් අඟල් 9x9 සමචතුරස්‍රයක් කොලයක් මත ඇඳගන්න. ඉන්පසු එය සමාන කොටස් හතරකට බෙදා ගන්න. ඉන්පසු A ලෙස නම්කර ඇති ස්ථානයේ සිට තිරස් අතට අඟල් 2 1/2ක් ලකුණු කර B ලෙසත්, A සිට පහළට අඟල් 2 1/2ක් ලකුණුකර C ලෙසත් නම් කරන්න. එලෙස (D, E, F) (G, H, I) (I, K, L) ඇඳ ගන්න. දැන් සමාන ලෙස බෙදාගත් රේඛාවේ මැද M ලෙස නම්කර M සිට ඉහළට අඟලක් ගෙන O ලෙස නම්කර M සිට පහළට අඟලක් නම්කර N ලෙසද

 

ලකුණු කරන්න.

පසුව C, B යාකර ගන්න. දැන් B, O, C. M යාකර ගන්න. දෙවනුව (F, E) (F, M, E, N) යා කරන්න. (I, H) (H, N, I, M) යාකර ගන්න. (K, L) (K, M, L, O) යාකර ගන්න. දැන් ඔබට සම්පූර්ණ රූප සටහන ලැබී ඇත.

දැන් අප මෙය රෙදි මත තබා කපාගන්නා ආකාරය බලමු.

ඒ අනුව අංක (1) කොටසෙන් කොටස් තුනක්ද, අංක (2) කොටසෙන් කොටස් තුනක්ද, අංක (3) කොටසෙන් කොටස් තුනක්ද, අංක (4) කොටසෙන් කොටස් තුනක්ද, අංක (5) කොටසෙන් කොටස් තුනක්ද බැගින් මැහුම් වාසි අඟල් 1/4 තබා රෙදි කොටස් කපාගන්න.

ඔබ රෙදි කපාගන්නා අතර මැසීම ආරම්භ කළ යුතුය. නැතිනම් මෙහි හැඩතල වෙනස්විය හැකි බැවිනි.

ඉන්පසු අංක 1, 2 කොටසට තබා මසාගන්න. නැවත ඔබ අංක 4 සහ 5 කපාගෙන එයද පළමු එක ලෙසම මසාගන්න. දැන් ඔබ අංක 3 ලෙස කපාගත් කොටස C, M, F රේඛාවට තබා මසාගන්න.

එලෙස ඔබ 6,7 9,10 කොටස් මූට්ටු කර 8 කොටස K, M, I රේඛාවට තබා මසාගන්න. පසුව 11, 12 කොටස් දෙක කපා (E, N, H) සහ (B, O, L) රේඛාවට තබා මසාගන්න.

දැන් ඔබට එක් සමචතුරස්‍ර කොටසක් ලැබී ඇත. මෙලෙස තවත් සමචතුරස්‍ර කොටස් දෙකක් මසා ගත යුතුය.

ඉන්පසු නිර්මාණයේ දැක්වෙන ලෙසට කොටස් තුන මූට්ටුකර ෆැඩිං හා ලයිනින් තබා මසා නිර්මාණය මසා අවසන් කරගන්න.

 

 

 

උපදෙස් - සිංගර් ඩිප්ලෝමා අත්කම් නිර්මාණ ශිල්පිනී

රුවිනි දිලන්ති