ඇඟිලි එක් කළ විට නෙළුම් මලක හැඩයක් සේ පිහිටියේ නම් කුමාරිකාවක් සේ සැප සම්පත් ලබයි

නොවැම්බර් 3, 2021

 

තරුණයකු යුවතියක හා පෙමින් බැඳෙන්නේ එකම එක බැල්මකින් විය හැකිය. නැතිනම් ඇය හා කතා බහ කරද්දී දැනුණු ඇගේ ගතිගුණ වලට විය හැකිය. තවත් විදියටක එක් වරක් දුටු සැණින් ඇගේ ඇස්වලට, මුහුණට, අඟ පසඟ වලට පිරිමියාගේ සිත යා හැකිය. මේ කොයි ආකාරයෙන් ඇගේ සිත බැඳුණත් ඉන්පසු ඇය හා යුග දිවියට පත්වන විට අතැඟිලි බැඳ ගැනීම චාරිත්‍රයයි. අද දේහ ලක්ෂණ විද්‍යාව ලිපිපෙළින් අප කියන්නට යන්නේ යුවතියකගේ දෑඟිලි මඟින් ද ඇයගේ ජීවන තතු මැනවින් කිව හැකි බවයි.

 

ඇය යෙහෙළියක, පෙම්වතියක, බිරියක කර ගැනීමටත් ඇසුරට කෙතරම් ගැළපේදැයි පිරිමියකුට ඉන් අවබෝධයක් ලැබිය හැකියි.

මසින් පිරී මුල මහත්ව, සිනිඳුව, අගට සිහින්ව පිහිටි දෙඅත් ඇඟිලි වාසනාවේ ප්‍රතිමූර්තියයි. උසස් අධ්‍යාපනයක් ලබා ජීවිතය ජයගනී. මැදිවියේ සිටම සැප සම්පත් ලැබේ. යුගදිවිය අති සාර්ථකයි.

දෙඅත් සියලුම ඇඟිලි මාංශවලින් පිරි මුල් කොටස රවුම්ව හිදැස් නැතිව පිරිපුන්ව තිබේ නම් ඇය ඉතා සුන්දර යුවතියකි. ඇඟිලි අග කුරුලු හොටක් සේ තිබේ නම් ඇය වාසනාවන්තියකි. සුරබිදෙනකි. ගෙදරට ශ්‍රියාකාන්තාවකි. ඇඟිලි එක් කළ විට නෙළුම් මලක හැඩයක් සේ පිහිටියේ නම් කුමාරිකාවක් සේ සැප සම්පත් ලබයි. ඇයගෙන් සැමියාට සතුට, සොම්නස, ආලය ආදරය ලැබේ.

ඇඟිලි සිහින් වී මුදු මොලොක්ව නහර නොපෙනෙන සේ පිටි අල්ල සහිතව තිබේ නම් කලාවට දක්ෂ බුද්ධිමත් අයෙකි. ශිල්ප ශාස්ත්‍රයේ අති දක්ෂ කෙනෙකි.

අනුරාගී ගති ලක්ෂණද ඇත්තේය. හැඟීම්බර සංවේදී චරිතයකි. අත් ඇඟිලි අතර වඩා හිඩැස් තිබීම එතරම සුබ නොවෙයි. ජීවිතයේ සැනසීම අඩුයි. සැමියාගෙන් තෘප්තියක් නොලබයි. ධනය හීන කරයි. නිරන්තරයෙන් දුකට පත්වේ. දිවිය පුරාවටම ප්‍රශ්න ඇත්තියකි.

වැහැරී ඇට පෑදුණ කාල වර්ණ අක්‍රමවත් ඇඟිලි ඇත්නම් අවුල් සහගත මනසක් හිමිවේ. අනවශ්‍ය කරදරවලට මැදි වී නීතිමය ගැටලු පැන නගී. සම්පත් මිල මුදල් හින වී වහා දුකට පත්වන්නීය.

ඇඟිලි කෙටිව කාල වර්ණව තිබීම ඉතා අසුබයි. පවුල තුළ නිරන්තරයෙන් අඬදබර ඇතිකර ගනී. මිල මුදල් අත රැඳෙන්නේම නැත. නයි පෙණය මෙන් නහර වලින් හැඩයක් තිබේ නම් ඇය ඉතාම දුෂ්ටයි. කුරිරුයි. ඇසුරට යහපත් නැත. අනපේක්ෂිත අන්දමට පලිගැනීමට මාන බලයි.

ඉතාම දිගු උල් ආකාරයේ ඇඟිලි පිහිටියේ නම් ඇය දියුණු වන්නියකි. ප්‍රයෝගශීලී අයෙකි. එසේම රහස් සබඳතා ගොඩ නගා ගනී. තමාට සිතැඟි පරිදි තෘප්තිමත් වන්නියකි. යුග දිවියේදී සැමියාට හිතවත් නොවන්නියකි. ආත්මාර්ථකාමී බව ඇය වෙතින් කැපී පෙනෙන විශේෂ ලක්ෂණයකි.

රෝම සහිතව ඇඟිලි හා ගොරෝසු සමක් පිහිටීම එතරම් සුබවාදී නොවෙයි. කරදර හිරිහැරවලට මුහුණ දෙන්නියකි. ප්‍රශ්න කරදර අකාලයේ මතු වේ. අන්අය කෙරෙහි උපක්‍රමශීලීව වෛරසහගතව වැඩ කරන්නියකි.

ඉඟුරු අල සේ අක්‍රමවත්ව ඇඟිලි පිහිටියේනම් අභාග්‍යසම්පන්නයි. සැමියා සමඟ ආරවුල් ඇතිකර ගනී. මුරණ්ඩුය. ඉක්මනින් කෝපයට පත්වන්නීය. නිවෙසේ අඬදබර ඇතිකර ගනී.

 

 

 

උපදෙස් -

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී

බෙම්මුල්ලේ හෙන්රි