Thursday, June 11, 2026
Epaper
Home විශේෂාංගජීවන කලාවේ නොවෙනස් ඇල්ගොරිද්මය

ජීවන කලාවේ නොවෙනස් ඇල්ගොරිද්මය

by Thanushika

අප මේ එලඹ සිටින්නේ සාහිත්‍ය මාසයට යි. මාසය එලෙසින් නාමකරණය වුවද නිසි පරිදි සාහිත්‍ය මාසයෙන් ප්‍රයෝජනයක් ගන්නවා ද යන්න ගැටලුවකි.

වර්තමානයේ තරුණ පරම්පරාව ගත කරනුයේ වෙනස්ම වූ ජීවන රටාවකි. ඩිජිටල්කරණය වූ ලෝකයක ජීවත් වන ඔවුනට ජීවිතයේ ඇති යථාර්ථය පවා අමතක වී ගොස්ය. සුහුරු ජංගම දුරකථනය ඔස්සේ තම ජීවිතයට පැමිණෙන ප්‍රශ්නවලට පිළිතුරු සොයන ඔවුනට සැබැවින්ම ඒවාට නිවැරදි පිළිතුරු සොයාගත හැකිද? ජීවිතයක් විනාශ කිරීම හෝ සියදිවි නසා ගැනීම නොව සාහිත්‍ය කලාව උපයෝගී කරගෙන ප්‍රශ්නවලට පිළිතුරු සොයන්නේ කෙසේද? සාහිත්‍ය මාසයට එළඹෙත්ම අපි ඒ ගැන තතු සොයා ගියෙමු. ඒ පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ කථිකාචාර්ය භාග්‍යා දිල්හානි මාබුලගේ කථිකාචාර්යතුමිය තරුණී අප සමඟ පැවසූයේ මෙසේය.

කථිකාචාර්යතුමියනි, වර්තමාන තරුණ පරපුර කලාව හා සාහිත්‍ය කෙරෙහි අඩු අවධානයක් යොමු කරන්නේ ඇයි?

කලාව ඇතුළෙම තමයි සාහිත්‍යය කියන අංගයත් තියෙන්නේ. වර්තමාන තරුණ පරපුර සහ සාහිත්‍ය කලාව අතර දුරස්ථ බවක් තිබෙනවා. මෙයට ප්‍රධානතම හේතුව තමයි සමාජ මාධ්‍ය. විසි එක්වැනි සියවසේ අපි ජීවත් වෙන්නේ ඩිජිටල් යුගයක. අපේ අවශ්‍යතාවන් නිර්මාණය වෙන්නෙත් එකී ඩිජිටල් යුගයට අවශ්‍ය ආකාරයට. ඇත්තටම මේ සම්බන්ධයෙන් තරුණ පරපුරට වැරැද්දක් කියන්න බැහැ. තරුණ පරපුර ඇතුළු සියල්ලන්ටම සිදුවෙනවා ලෝකය ගමන් කරන දිශාවට ගමන් කරන්න. නැතිනම් ඔවුන් සමාජයේ කොන්වීමට ලක්වෙනවා.නමුත් ඕනෑවටත් වඩා සමාජ මාධ්‍යවලට තරුණ පරපුර යොමුවී තිබෙන බව කැපී පෙනෙනවා.

නව තාක්ෂණය තරුණ පරපුර සාහිත්‍ය කලාව තුළින් දුරස්ථ කිරීමට බලපා ඇත්තේ කෙසේද?

අතීතයේ ජනතාවට සාහිත්‍ය කලාව සමඟ ගත කිරීමට තිබූ කාලය අධිකයි. නමුත් වර්තමාන පරම්පරාවට ජංගම දුරකතනයට වැඩි වශයෙන් කාලය යොමු කිරීමට සිදුවෙලා තිබෙනවා. අතීතයේ නම් ටෙලි නාට්‍යයක් රූපවාහිනි විකාශය වනවිට අදාළ වේලාවට ගොස් එය නැරඹීම සිදුවෙනවා. නමුත් දැන් ‍තමන්ට අවශ්‍ය වේලාවට අදාළ ටෙලි නාට්‍ය නැරඹීමට තරම් පහසුකම් දියුණු තත්ත්වයට පත්වෙලා තියෙනවා. මේ ආකාරයට තරුණ පරම්පරාව දුරකතනය සමඟ බොහෝ වේලාවක් ගත කිරීම නිසා ඔවුන්ගේ සිතුවිලි ගමන් කරන දිශාව වෙනස් වෙලා තියෙනවා. අතීතයේ සාහිත්‍ය කලා නිර්මාණ මඟින් ලබාගත් රසවින්දනය දැන් සමාජ මාධ්‍ය ඔස්සේ ලබා ගැනීමට පුරුදු වීම රැල්ලක් බවට පත්වෙලා. තරුණ තරුණියෝ ඒවා සමඟ කාර්යබහුල වීමක් දක්නට ලැබෙනවා.

සාහිත්‍ය කලා නිර්මාණ සඳහා වෙන් කිරීමට කාලයක් ඔවුන් සතුව නැහැ. පොදු බස් රථයක ගමන් කරන විට බහුතරයක්ම සිටින්නේ දුරකතන සමඟ සමාජ මාධ්‍ය තුළ මෙකී වර්ධනය සාහිත්‍ය කලාව, තරුණ පරපුරෙන් ඈත් කිරීමට විශාල ලෙස බලපා තිබෙනවා.

ජීවිතවලට පැමිණෙන ප්‍රශ්න, කලාව සහ සාහිත්‍ය මාර්ගයෙන් විසඳිය හැකිද?

මෙය විවිධ අය විවිධ විදිහට හිතන්න පුළුවන් කාරණාවක්. නමුත් කලාව කියන්නේ මිනිසාගේ මානසික තෘප්තිය සඳහා නිර්මාණය වුණු දෙයක්. වර්තමානයේ තරුණ පරපුර විශාල වශයෙන් මානසික ආතතියට මුහුණ දෙනවා. එයට එක් හේතුවක් තමයි සාහිත්‍ය කලාවෙන් දුරස් වීම. කලාව කියන්නේ මානසික සුවතාව සඳහා හොඳ ඔසුවක්. මිනිස්සුන්ට තමන්ගෙ තියෙන ප්‍රශ්න යටපත් කර ගැනීම සඳහා රසවිඳින්න පුළුවන් නිර්මාණ රාශියක් සාහිත්‍ය කලා තුළ තිබෙනවා.

උදාහරණයක් විදිහට ගත්තොත් යශෝධරාව කියන්නේ විරහව කටුක විදිහට අත්වින්ද කාන්තාවක්. නමුත් ඇය කවදාවත් තමන්ගේ ස්වාමිපුරුෂයාට වෛර කළේ නෑ. මේ වගේ දේවල් තරුණ පරපුර රසවිඳිනවා නම් තමන්ට පැමිණෙන ප්‍රේමය බිඳවැටීම් වැනි ගැටලුවලදී ධනාත්මක පිළිතුරු ලබා ගැනීමට පුළුවන්. තමන්ගේ ජීවිතයේ හෝ තව කෙනකුගේ ජීවිතේ විනාශ කරනවා වෙනුවට ඉතාමත් සංවේදී ලෙස අනෙකාගේ ජීවිතය දෙස බැලීමට පුළුවන් වෙනවා. මොකද කලාව තුළ ජීවත් වෙන මනුස්සයා කවදාවත් තව කෙනකුගේ ජීවිතයකට හානියක් කිරීමට සිතන්නේ නැහැ. ඔහු සෑම දෙයක්

පිළිබඳම මානුෂීයව හිතන්න උත්සාහ කරනවා. මේ පිළිබඳ ගීත සාහිත්‍ය තුළ උදාහරණ ඕ‍ෙන තරම් තිබෙනවා. චිත්‍රපට, ටෙලි නිර්මාණ, මූර්ති, කැටයම් ආදිය තුළින් වුණත් මෙය දැකගන්න පුළුවන්.

ඔබ තරුණ පරම්පරාව සමඟ නිතරම ගනුදෙනු කරන තැනැත්තියක් ලෙස වර්තමාන තරුණ පරපුරේ සාහිත්‍ය කලාවට ඇති නැඹුරුව ගැන දකින්නේ කෙසේද?

වර්තමානයේ සාහිත්‍ය කලා නැඹුරුතාව තරුණ පරපුර තුළ නැතුවාම නොවේ. ඒ සඳහා කිසියම් වූ පිරිසක් යොමු වෙලා තිබෙනවා. සමාජයේ ඇති ගැටලු පිළිබඳ සාහිත්‍ය ඔස්සේ කතාබහ කිරීමට තරුණ පිරිස් යොමු වෙලා තිබෙන බව දක්නට ලැබෙනවා. ඒ වගේම මේ සඳහා සමාජ මාධ්‍ය තෝතැන්නක් කරගනු ලැබූ පිරිස් දක්නට ලැබෙනවා. පොත් ප්‍රදර්ශනවලදී පවා තරුණ පිරිසගේ පැමිණීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. අතීතයේ නම් චිත්‍රයක් ඇඳි පසු එය විකුණා ගැනීමට කෙතරම් අමාරුද? කෘතියක් ප්‍රකාශයට පත්කර ගැනීම කොතරම් දීර්ඝ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ද? වර්තමානයේ සමාජ මාධ්‍ය හරහා නව තෝතැන්නක් අලුත් නිර්මාණකරුවන් සඳහා ලබාදී තිබෙනවා. අලුතින් නිකුත්වෙන පොතක් වුණත් ඉතා පහසුවෙන් සමාජ මාධ්‍ය හරහා කියවීමට ලැබෙනවා. එය ධනාත්මක ප්‍රවණතාවක්.

මේ සාහිත්‍ය මාසයේ නිසා තරුණ තරුණියන්ට පොත්පත් භාවිතය සම්බන්ධයෙන් ඔබ ලබාදෙන උපදෙස් මොනවද?

නූතන සාහිත්‍යකරුවන් බහුලව සමාජ ගැටලු පිළිබඳ කතා කරනවා. මේ සාහිත්‍යට නව්‍යත්වය මුසු වෙලා තියෙන්නේ. තරුණ ප්‍රජාව මේවා භාවිත කරනවා නම් ගත හැකි දේවල් රාශියක් තියෙනවා. අන් අයගේ අත්දැකීම් වුවද ඇසුරු කර තිබීම මත තමන්ගේ ජීවිතේ හදාගන්න ගොඩක් වටිනවා. සාහිත්‍ය මාසය තුළ කරන්න ති‍ෙයන ඉල්ලීම තමයි හැමෝම අවම එක පොතක්වත් කියවන්න.

අවසාන වශයෙන් සාහිත්‍ය කලා පරිහරණය කිරීමෙහිලා තරුණ පරපුරට ලබාදිය හැකි පණිවිඩය කුමක්ද?

වර්තමාන තරුණ පරපුර සමාජ මාධ්‍ය හරහා නිර්මාණය වූ අමුතුම ලෝකයක තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා යථාර්ථය තුළ ජීවත් වෙන්න බොහෝ දෙනා අකමැතියි. පාසල් තුළින් සෞන්දර්ය විෂය උගන්වා තිබුණද උසස් අධ්‍යාපනය සඳහා ඔවුන් යොමු වූ පසු රසවින්දන ශක්තිය කෙමෙන් කෙමෙන් ඈත් වී තිබෙනවා.එය බහුලව දක්නට ලැබෙනවා. මෙය වර්ධනය කර ගැනීමට කළ හැකි හොඳම පිළියම නම් ස්වයං පෙලඹවීමයි. එනම් සාහිත්‍ය කලා කෙරෙහි තමාම යොමු වීමයි. ඒවා රසවින්දනයට පෙළඹීමයි. කෙතරම් සාහිත්‍ය රසවින්දන වැඩසටහන් වැඩමුළු පැවැත්වුවද ස්වයං පෙළඹීමක් නොමැතිව ඒ කිසිවකින් ධනාත්මක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ.

ඒ වගේම මෙයට සමාජ මාධ්‍යද ධනාත්මක විදියට භාවිත කරන්න පුළුවන්. ඒ කෙස් වෙතත් පෙලඹවීම ඇතිකර ගත යුත්තේ තමා තුළමයි.

උපදෙස්: කථිකාචාර්ය
භාග්‍යා දිල්හානි මාබුලගේ
(ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?