හිරුෂි ඇඳේ ගුළි වෙලා අඬමින් උන්නා. ඒකත් දැන් හුඟ වෙලාවක් තිස්සේ. බෝඩිමේ ඇන්ටි දවල්ට කන්න කතා කළත් හිරුෂි නැඟිට්ටෙ නෑ. හිරුෂි නෙවෙයි ඔළුව ඉස්සුවේ. උණ ගන්න වගේ කියලා තවත් ඇඳේ ගුළි වුණා. අන්තිමේ ඇන්ටි බලෙන්ම පැනඩෝල් දෙකකුත් පොවලා ගියා. සයිලන්ට් දාපු ෆෝන් එකට අසූපස් වැනි ඇමතුමත් ලැබෙමින් තිබුණා. වෙන කාගෙන්වත් නෙවෙයි. හිරුෂිගෙ පෙම්වතා වෙච්ච රුසිරුගෙන්.
දෙන්නා යාළු වුණේ මේ දෙන්නාගේ හොඳම යාළුවෝ දෙන්න නිසා. නයනියි, කසුනුයි තමයි මේ දෙන්නාගේ කපු වැඩේ කළේ.
හැබැයි හතර දෙනාගෙන් කැම්පස් යන්න ලැබුණේ, හිරුෂිටයි නයනිටයි විතරයි. නයනිගේ වාසනාවට නයනිට ලැබුණේ කොළඹ කැම්පස් එකමයි. ඉතින් කසුන් කෝස් එකක් කරන්න කොළඹ ආවා. හිරුෂිට ලැබුණේ කැලණි කැම්පස් එක. හිරුෂියි, නයනියි ළඟ කැම්පස් දෙකක ඉන්න නිසා නිතරම හමුවුණා. රුසිරු විභාගේ ඉවර වෙච්ච ගමන් තාත්තගේ ෆෝන් රෙපයාර් ශොප් එකේ වැඩට ගියා.
මුලින් හිරුෂි කැම්පස් යන එක ගැන රුසිරුට තිබ්බේ අකැමැත්තක්. ඒත් අවුරුදු ගාණක හිරුෂිගේ මහන්සියට මුකුත් කියන්න බැරිකමකුත් රුසිරුට තිබ්බා. හිරුෂිට කැම්පස් යන්න ඇවිත් කියලා කට්ටිය දැන ගත්තම හැමෝම කිව්වේ රුසිරුට එක දෙයයි.
“දැන් එහෙනම් හන්තානෙට පායන සඳ සිංදුව අහන්න පටන් ගනින්.”
කවුරු මොනවා කිව්වත් රුසිරු හිරුෂිව විශ්වාස කළා. කොහොමත් දෙන්නා අතර තිබ්බ ආදර සම්බන්ධය හුඟක් දුර ගිහිල්ලයි තිබ්බේ. ඉතින් අවසානයේ හිරුෂි කැම්පස් ආවා. ඒත් කැම්පස් ඇවිත් මුල් මාස කිහිපය ගෙවීමත් සමඟ තමන්ගේ අවුරුදු ගාණක ප්‍රේමයට නැවතීමේ තිත තියලා නිවාඩුවට ගෙදර යන් නැතිව බෝඩිමේ ඉන්න හිරුෂි තීරණය කළා. ඒ බව නයනි දැනගත් නිසා නයනි හිරුෂිගේ බෝඩිමට ආවා.
නයනි නිතරම හිරුෂිගේ බෝඩිමට එන නිසා බෝඩිමේ ඇන්ටිත් නයනි හොඳට අඳුරනවා. හිරුෂිට සනීප නෑ කියලා ඇන්ටි කිව්වා. නයනි පුරුද්දටම කාමරේට ගියා.
“උඹ නම් ශෝක් යකෝ. අරහේ ගම ගිනි තියලා මෙතන සැපට නිදි. උඹ ගෙදර යන් නැද්ද?”
එහෙම කිව්වෙම අමනාපෙන්. අමාරුවෙන් හිරුෂි ඔළුව ඉස්සුවා.
“මටත් මේ කසුන් කෝල් කරලා බැන්නා කැම්පස් ගියාට පස්සේ කෙල්ලොන්ට හැදෙන අමුතු පිස්සුව ගැන කියලා. මමත් බැණුම් අහනවා උඹ හින්දා. මොකද ගෙදර යන් නැතිව මේ නටන නාඩගම?”
” උඹට මෙච්චර ආදරේ කරන කොල්ලෙක් ඉද්දි උඹ කොහොමද කැම්පස් එකේ එකෙක් එක්ක කොක්ක ගැහුවේ. මූ උඹ වෙනුවෙන් මොනාද නොකළේ.
හැම වෙලේම කෝල් කරලා හොයලා බලනවා. උඹ ඉල්ලුවත් නැතත් උඹේ එකවුන්ට් එකට සල්ලි දානවා. උඹට ඔය ලස්සන ගවුමුත් අරන් දෙනවනේ. උඹට එහෙම සලකන කොල්ලට බූට් එක තියන්න උඹට පිස්සුද..?”
හිරුෂි ඒ වචනවලට මුකුත් නොකියා ඉවසගෙන හිටියා.
“උඹට පින නෑ. උඹට තව මොනාද අඩු.?”
එතකොට නම් හිරුෂිට තවත් අහන් ඉන්න හිතුණේ නෑ. හිරුෂි අමාරුවෙන්ම අඬ අඬාම වචන එකතු කළේ “මට සතුටක් නෑ බන්.” කියමිනි.
“උඹ නිකම් ගොං ගහක් වෙන්න එපා බං.”
නයනි ආයෙම කිව්වා.
“මං මේවා තව ඉවසුවොත් ඇත්තමයි මට පිස්සු හැදෙනවා. මං මැරෙයි යකෝ..”
හිරුෂි දෑතින්ම ඔළුව බදාගෙන හයියෙන් අඬන්න පටන්ගත්තා. නයනිට හිතා ගන්න බෑ මොකක්ද මේ කතාව කියලා.
“මොකක්ද වුණේ බං? මට කියන්න බැරි දෙයක් උඹට නෑනේ.”
“උඹටවත් මාව තේරුම් ගන්න පුළුවන් නම් අහන් හිටපන්.”
හිරුෂි ඔළුව උස්සගත්තේ අමාරුවෙන් ය. කොහොම පටන් ගන්නද කියලා හිරුෂිට අදහසක් තිබ්බේ නෑ.
“උඹ දන්නවද. උදේ හත වෙද්දී රුසිරු කෝල් කරනවා. බැරි වෙලා හරි මට නින්ද ගිහින් තිබ්බොත් මං මුළු දවසම ඒකට බැණුම් අහනවා.උඹ දන්නවනේ මට හැමදාම අටම ලෙක්චර් තියෙනවා. එකට මං ලෑස්ති වෙලා බස් එකට යන්න ඕනා. ඒ විතරක් නෙවෙයි. මං බස් එකට ආවත් බස් එකේ කොච්චර සීට් තිබ්බත් ඒ සීට් එකේ එහා පැත්තේ වාඩි වෙලා ඉන්නෙ පිරිමි කෙනෙක් නම් මට එතැන වාඩි වෙන්න බෑ. ගෑනු අය ගාව විතරයි මං වාඩි වෙන්න ඕනි. ඒකත් මං වීඩියෝ කෝල් එකෙන් පෙන්නලා. මං හැමදාම කොන්දොස්තරගෙනුත් බැණුම් අහනවා.”
“මං ලෙක්චර් ඉන්න ඕනිත් අර වීඩියෝ කෝල් එකේ. මං වාඩි වෙන්න ඕනි කොතැනද කියලා එයාට බලන්න ඕනි. එතැනින් එහාට මුළු පැය ගාණෙම එයා මං දිහා බලන් ඉන්නේ. බැරි වෙලා හරි බැච් එකේ කොල්ලෙක් මං එක්ක කතා කළොත්, ඒකටත් මං බැණුම් අහනවා. උඹ දන්නවද මංවත් නොදන්න කොල්ලෝ කීයකට මාව පාව දීල මට බණිනවද කියලා.”
හිරුෂි එක දිගට වචන ගැළපුවේ ඉතාම වේදනාවෙන් ය.
“උඹට තේරෙනවද මං කියන දේ.? ඒ මදිවට කා එක්කවත් මට කතා කරන්න දෙන්නේ නෑ. කැම්පස් එකේ ළමයි මං දිහා බලන්නේ මහ අමුතු ජීවියෙක් විදිහට. උන් මාව කොන් කරනවා. ඒ කවුරුවත් කැමැති නෑ මං ෆෝන් එක උන් දිහාවට දික් කරනවට. උඹ වුණත් කැමැතිද කියපන්කෝ නෑනේ. එයා මට සල්ලි දානවා තමයි. ඒ හැම සතයක්ම ඒ විදිහටම මගේ එකවුන්ට් එකේ ඇති. එයා ඒ හැම වෙලේම කරන්නේ මගේ අම්මටයි, තාත්තාටයි අපහාස කරන එක. එයා එහෙම කැත කතා කියද්දි කොහොමද මං ඉවසන්නේ. අනික මං රුසිරුගෙන් රුපියලක්වත් අද වෙනකම් ඉල්ලලා නෑ.”
නයනි හිටියේ මේ කියන කතා විශ්වාස කරගන්න බැරුව.
හිරුෂි මේවා වචනවලට පෙරළුවේ ඉතා වේගයෙනි.
“උඹ මේවා තේරුම් කරන්න උත්සාහ කළේ නැද්ද මීට් වෙච්ච වෙලාවක.?”
හිරුෂි හිනා වුණා. ඒක මහ වේදනාත්මක හිනාවක්.
“එයා හැසිරෙන්නේ මං නිකම් සෙල්ලම් බඩුවක් ගානට දාලා. මට හිතෙනවා එයාට මානසික ලෙඩක්ද කියලා. මං ඩොක්ටර් කෙනෙක් ගාවට යන්නත් කතා කළා. අන්තිමට කතාව ඉවර වුණේ මං ගුටි කාලා.
“ඌ මේ වගේ කෙනෙක් කියලා මම හිතුවෙ නෑ.. ඇත්තමයි. උඹට මේ තරම් ප්‍රශ්න ඇති කියලා හීනෙකින්වත් හිතුණේ නෑ..”
නයනි තමන්ගේ ආදරණීය මිතුරිය තදින් වැලැඳ ගත්තා.
“මට ආයේ එයාව ඕනි නෑ. මං හරි අමාරුවෙන් මේ තීරණය ගත්තේ. මට මේ හොඳටම ඇති. ඒත් රුසිරු නතර කරන්නේ නෑ බං. මට තර්ජනය කරනවා. දවසක් අපි රූම් ගියපු වෙලාවක එයා මගේ ෆොටෝ වගයක් ගැහුවා. මං නැති වෙලාවට එයාට බලන්න කියලා.”
හිරුෂි දිග හුස්මක් ගෙන වෙව්ලන හඬින් කිව්වා.
එහෙනම් මේ කතාව සෑහෙන්න බරපතළයි කියලා නයනිට හිතුණා.
රුසිරු එවපු මැසේජ් ටික නයනිට පෙන්නුවා.
“තමුසෙ හෙට ගෙදර එන්න ඕනේ. නාවොත් තමුසෙගේ ජීවිතේ ඉවරයි කියලා හිතා ගන්නවා.ඔක්කොම ෆොටෝ ඉන්ටර්නෙට් එකේ හැම තැනම තියේවි. එතකොට තමුසෙගේ මහලොකු අම්මයි, තාත්තායි බෙල්ලේ වැල දාගෙන ඉඳියි. තමුසෙටත් වෙන්නේ මැරෙන්න තමයි..”
එතනින් එහාට තිබ්බේ අන්ත පහත් මානසිකත්වයෙන් එවපු මැසේජ් මහ ගොඩක්. හිරුෂි තවමත් අඬනවා.
“මගේ හිතේ දැන් එයා ගැන ආදරයක් නෑ බං. මට තේරෙන්නේ නෑ මං මොකක්ද කරන්නේ කියලා.”
හිරුෂි ඇඬුම් අස්සෙන් කියද්දි නයනිටත් මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව හිරුෂිගේ ෆෝන් එක අරන් රුසිරුට මැසේජ් එකක් ටයිප් කළා. අන්තිමේ ෆෝන් එක හිරුෂිගේ අතට දුන්නා.
“කමක් නෑ රුසිරු. ඔයා මේ ෆොටෝ ටික ඕෙන තැනක දා ගන්න. ලෝකේ අනිත් ගෑනුන්ට නැති දෙයක් මට නෑනේ. හැබැයි ඊළඟ තප්පරේ ඔයා මට මේ තර්ජනය කරපු හැම මැසේජ් එකක්ම මමත් ෆේස්බුක් දානවා.මොකද ඔයා වගේ පහත් මානසිකත්වයක් හැම පිරිමියෙක්ටම නෑනේ. ඊට පස්සේ මමත් ලයිව් ඇවිත් හැමදේම කියන්නම්. එතකොට අපි අඳුරන අය පවා ඔයාගේ හැටි දැන ගනී. ඔයාලගෙ අම්මයි තාත්තයි කොහොමද ඉස්කෝලේ උගන්නන්නේ..? ඔයාගේ නංගි කොහොමද ආයේ ඉස්කෝලේ යන්නේ..?.. අන්තිමේ ඔයාගේ ජීවිතෙත් ඉවර වෙයි.”
හිරුෂි ඒ මැසේජ් එක කියවලා රුසිරුට යැව්වා. ඒ තප්පරේම රුසිරු ඒ මැසේජ් එක කියෙව්වා. එතනින් එහාට රුසිරුගෙන් කෝල් එකක් ආවේ නෑ. මැසේජ් එකක් ආවා.
“හරි. අදින් මේක ඉවරයි…”
හිරුෂි සැනසීමෙන් හුස්මක් ගත්තා.
නිමි.
TEXT – හිරුෂිකා ප්‍රියදර්ශනි කැළණිය විශ්ව විද්‍යාලය
