අපේ රටේ විවිධ ක්ෂේත්‍ර්‍රයන්හි කලාකරුවන්ගේ දරුවන් ඒකරාශීව පිහිටවූ සංවිධානයක් වන තරු දරු (Star of the Legends) සංවිධානය ඉදිරියේදී සුවිශේෂ වැඩසටහන් කිහිපයක් සංවිධාන කිරීමට සැරසෙන බව තරුණි අපට සැලවිය. මේ ඒ පිළිබඳව ලියැවෙන සටහනකි.
තරුදරු සංවිධානය, රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ගේ දරුවන්ගේ එකමුතුවෙන් පිහිටුවන්නට යෝජනා වුවත් පසුව එය ගායක ගායිකාවන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, ගී පද රචක රචිකාවියන්, තනු නිර්මාණ ශිල්පීන්, නළු නිළියන්, නර්තන ශිල්පීන් ඇතුළු කලාකරුවන් රැසකගේ දරුවන්ගේ එකතුවක් ලෙස ගොඩනැඟුණේ මීට වසර දෙකහමාරකට පමණ පෙරාතුව ය.
ආචාර්ය නුවන් නයනජිත්, මේනකා මාසකෝරාල, දමිත් ෆොන්සේකා සහ කුමාරි අබේවික්‍රම යන කලාකරුවන්ගේ සංකල්පයකට අනුව මෙය ආරම්භ වී ඇත.
අනතුරුව චිත්‍රපට සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂවරයෙක් වන අනුර රත්නායක මේ සියලු දෙනා එක්කර තැනූ වට්සැප් ගෲපයකින් මෙම සංවිධානය කලඑළි බැස ඇත. අනතුරුව බන්දු මුණසිංහ මහතාගේ පුත් සුමින්ද මුණසිංහගේ මෙහෙයවීමෙන් මෙහි සාමාජික කලාකරුවන් වෝටර්ස් ඒජ් පරිශ්‍රයට ඒකරාශි කරමින් මීට වසර දෙකකට පමණ පෙරාතුව මෙහි පළමු සුහද හමුව පවත්වා ඇත. එ් අනුව ඇරඹි මෙම සංගමයේ පළමු මහා සභා රැස්වීම පවත්වා ඇත්තේ 2024 අප්‍රේල් මාසයේදීය. එහිදී පැවැත්වූ හමුවට සාමාජික සාමාජිකාවෝ 60ක් පමණ සහභාගී වී ඇත. එදින මෙම සංගමය සඳහා නිලධාරී මඬුල්ලක් තෝරා පත් ගත් අතර අනතුරුව ගෙවුණු දෙවසරෙහි තරුදරුවන් විසින් වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබේ.
වැඩිහිටි කලාකරුවන් සඳහා උපහාර පිදීම්, විවිධ දානමය පුණ්‍යකර්ම, වයෝවෘද්ධව අසනීපයෙන් පසුවන කලාකරුවන්ගේ සුව දුක් විමසීම් ආදිය මෙම සංගමය හරහා සිදු කෙරෙයි. මෑතකදී අප අතරින් වෙන් වූ සතිස්චන්ද්‍ර එදිරිසිංහ, දයාරත්න රණතුංග, මේ වන විට අසනීපයෙන් පසු වන ප්‍රියංකර පෙරේරා ආදී කලාකරුවන්ගේ සුව දුක් විමසීමට මෙම සංගමය ඒකාරාශී වී තිබේ.
මෙම සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ සුහද හමුවක් පසුගිය වසරේ සිදු කිරීම ද විශේෂත්වයකි. එහිදී සුජාතා අත්තනායක, දයාරත්න රණතුංග, විජේරත්න වරකාගොඩ, තිස්ස ලියනසූරිය, ඉන්ද්‍රාණි පෙරේරා, ඉන්ද්‍රාණි බෝගොඩ, මල්ලිකා කහවිට, ධර්මසිරි බණ්ඩාරනායක, ශ්‍රියානි අමරසේන, දමයන්ති ජයසූරිය ඇතුළු මෙම සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ මාතෘ සහ පීතෘ කලාකරුවෝ දස දෙනෙකු උපහාරයට ලක් කෙරුණි.
මෙම මස අග එනම් 31 වැනිදා පැවැත්වෙන්නේ මෙහි දෙවැනි සුහද හමුවයි.
එළැඹෙන අප්‍රේල් මාසයේදී නර්තනාංග මුසු වූ සංගීත ප්‍රසංගයක් සංවිධාන කිරීමට ද මෙම සංගමය බලාපොරොත්තුවෙන් පසු වෙයි. මෙම සංගමයේ සාමාජිකත්වය දරණ ගායක ගායිකාවන්ගේ ගීත එහිදී රසිකයන්ට රස විඳීමට හැකි වනු ඇත. මෙහිදී රැස්වන මුදල්, ආර්ථික අපහසුතා සහිත කලාකරුවන්ගේ සුබසිද්ධිය උදෙසා යෙදවීමට බලාපොරොත්තු වීම පැසසිය යුත්තකි. ඒ අනුව සෑම වසරකම මෙවන් ප්‍රසංගයක් සංවිධාන කිරීමට මෙම සංගමය බලාපොරොත්තු වෙයි.
පිය උරුමයෙන් හෝ මවු උරුමයෙන් හිමිවන ගීත හෝ නිර්මාණවල අයිතිය දරන මෙම සංගමයේ සාමාජික සාමාජිකාවන් සිය උරුමය ආරක්ෂා කර ගැනීමට සංගමය හරහා දරන ප්‍රයත්නය ගැන මෙහි සාමාජිකා සධානා රණතුංග අප හමුවේ මෙසේ අදහස් පළ කළාය.
“ඇත්තටම මගේ ආච්චි අම්මා වසන්තා සන්දනායක. අපේ පරම්පරාවේ මුලින්ම ගීත ගායනා කළේ මං. පසුව අපේ අක්කා සුප්‍රියා අබේසේකර ගී ගායනා කළා. ඉතින් දැන් දැන් නව පරපුරේ ඇතැමුන් අපේ ගීත විනාශ කරනු දැක ගත හැකියි. එය නතර කිරීමට ද ඉදිරියේදී අප සංගමයක් ලෙස වැඩපිළිවෙළක් සකස් කරනවා. එය මේ සංගමයේ එක් අරමුණක්.
ඒ වගේම නවක පරපුරේ ගායක ගායිකාවන් අතර හොඳින් ගී ගායනා කරන පිරිස් ඉන්නවා. ඒත් ඒ අය ගායනා කරන ගීතවල මුල් අයිතිකාරයෝ ගැන කිසිදු තැකීමක් නෑ. මුල් හිමිකරුවන්ගෙන් අවසර ගැනීම තබා ඔවුන් ගීතවල අයිතිකරුවන්ගේ නම හෝ සඳහන් කරන්නේ නෑ. ඇත්තෙන්ම මේ ක්‍රමය වෙනස් විය යුතුයි. ඒ සඳහා සංගමයක් ලෙස අප කැප වී ක්‍රියා කරනවා. ඒ වගේම මවුපියන්‌ගේ නාමය පවත්වාගෙන යෑම, කලාකරුවන්ගේ දූ දරුවන්ගේ මිත්‍රත්වය සහ සුහදත්වය වර්ධනය කිරීම, ඔවුන්ගේ පවුල්වල වැඩිහිටි කලාකරුවන්ගේ සුබසාධනය, වියපත් කලාකරුවන්ට පිහිට වීම අප සංගමයේ සෙසු අරමුණු වෙනවා.”
TEXT – පසිඳු මිහිරාන් රැටියල

