අපේ ජීවිතවල වටිනාම සම්පත දරුවන්ය. ලේ කිරි කර පොවා, දහඩිය කඳුළු වගුරුවමින් මවුපියන් දරුවන් උස්මහත් කරන්නේ ඔවුන් තම ජීවිතයටත් වඩා වටිනා වස්තුවක් ලෙස සලකමිනි. ශ්‍රී ලංකාව වැනි උතුම් සංස්කෘතියක් සහ සදාචාරාත්මක වටිනාකම් ඇති රටක දරුවෙකු වෙනුවෙන් මවක් හෝ පියෙකු නොකරන කැපකිරීමක් නැත.
එහෙත් ඇතැම් විට දෛවයේ අවාසනාවන්ත සරදමකින් හෝ තත්පරයක නොසැලකිල්ලකින් මුළු ජීවිත කාලයම පසුතැවිල්ලෙන් ගෙවීමට සිදුවන ඛේදවාචකයන් සිදුවේ. බණ්ඩාරගම, අටුලුගම, බටදොඹතුඩුව ප්‍රදේශයෙන් වාර්තා වූ මාස 2 1/2ක් වයසැති රස්නෙලි කේයාෂා දියණියගේ අකල් මරණය එවැනිම අතිශය සංවේදී සහ කඳුළු පිරි පුවතකි.
මෙම ඛේදවාචකය සිදුව ඇත්තේ අටුලුගම නිවෙසකදීය. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දරුවාගේ පියා වන අබේමුල්ලේ ගෙදර සුමිත් නිලන්ත (40) ලබාදුන් සාක්ෂිය ඕනෑම කෙනෙකුගේ හදවත කම්පා කරවන සුළුය. ඔහු වෘත්තියෙන් කොළඹ වරාය පර්යන්තයේ සේවය කරන අයෙකි. සිද්ධිය වූ දින උදෑසන තම රාත්‍රී වැඩමුරය නිම කර නිවෙසට පැමිණි ඔහුට තම බිරිය වූ රසිකා දමයන්ති විසින් දරුවාව වඩා ගැනීමට ලබා දී තිබුණේ ඇයට නිවෙසේ වැඩකටයුතු කරගැනීමට අවශ්‍ය වූ බැවිනි. පියාගේ සාක්ෂියට අනුව ඔහු මාස 2 1/2ක් වයසැති දරුවා වඩාගෙන සාලයේ ඇවිදිමින් සිටියදී දැඩි නිදිමත සහ විඩාව නිසා ඔහුට ක්ෂණයකින් නින්ද ගොස් තිබේ. එම මොහොතේ ඔහුගේ අතින් බිලිඳිය ගිලිහී සිමෙන්ති පොළොව මත පතිත වී ඇත.
මව පවසන්නේ තමන් කාමරයේ සිටින විට දරුවා වැටෙන ශබ්දය ඇසී දිව ආ බවත්, එවිට පියා දරුවා වඩාගෙන සිටි බවත්ය. පියා බියට පත්ව දරුවා වැටුණු බව මුලින් නොකීවද දරුවාගේ අසාමාන්‍ය හැසිරීමත් සමඟ පසුව සියල්ල හෙළි කර තිබේ. දරුවා වහාම පානදුර රෝහලටත්, පසුව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කළද දින තුනකට පසු ඒ මල් කැකුළ මෙලොව හැර ගියාය. ශ්‍රී ලාංකේය පවුල් පසුබිමක පියෙකු යනු නිවෙසේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දිවා රෑ වෙහෙසෙන සෙවණැල්ලයි. තමන් විඳින වෙහෙස ඇතැම් විට ශරීරයට ඔරොත්තු නොදෙන තරම් වුවත් දරුවාට තිබූ ආදරය නිසාම ඔහු තම ලෙයින් උපන් සිඟිති දියණිය වඩාගෙන සිටින්නට ඇති බව පැහැදිලිය.
පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි අබේමුල්ල පොලිසිය මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරන ලදි. මියගිය රස්නෙලි දියණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරී පී.ඒ. කිරිඇල්ල මහතා විසින් සිදු කරන ලදි. එහිදී අනාවරණය වූ වෛද්‍ය තොරතුරු අතිශය බරපතළය. දරුවා බිම වැටීමෙන් ඇයගේ හිසේ දකුණු පසට දරුණු ලෙස තැළීම් සිදුවී තිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මොළය අභ්‍යන්තරයේ රුධිරය වහනය වී ලේ කැටියක් හිරවීම මරණයට හේතුවී ඇති බව වෛද්‍ය වාර්තා සනාථ කළේය.
මෙම වෛද්‍ය තොරතුරු පෙන්වා දෙන්නේ මාස 2 1/2ක් වැනි ඉතා කුඩා බිලිිඳකුගේ හිස කෙතරම් සියුම්ද යන්නයි. බාහිරින් විශාල තුවාලයක් නොපෙනුණත් අභ්‍යන්තරයෙන් සිදු වූ එම ලේ කැටියක් හිරවීම තත්පර ගණනකදී ජීවිතයක් නිහඬ කිරීමට සමත් වී ඇත. පියාගේ සාක්ෂිය සහ මවගේ ප්‍රකාශය අනුව මෙය හිතාමතා කළ ඝාතනයක් නොවන බවත් පියාගේ “නොසැලකිලිමත් ක්‍රියාවක්” නිසා සිදුවූ මරණයක් බවත් පොලීසිය අධිකරණයට වාර්තා කර තිබේ. ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ මවක් හෝ පියෙකු තම දරුවාට හානියක් කිරීම සිහිනෙකින්වත් නොසිතන්නකි. එහෙත් මෙම සිදුවීම අපට උගන්වන පාඩම වන්නේ “විඩාව” සහ “නිදිමත” මාරාන්තික අනතුරක් විය හැකි බවයි.
රස්නෙලි දියණියගේ වියෝව අපට ලබාදෙන පණිවිඩය ඉතා ගැඹුරුය. මවුපියන් ලෙස මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් වළක්වා ගැනීමට අප සැමවිටම අවධානයෙන් සිටිය යුතුය.
විශේෂයෙන්ම රාත්‍රී වැඩමුර නිම කර පැමිණෙන පියවරුන් හෝ නිවෙසේ වැඩකටයුතුවලින් දැඩි ලෙස වෙහෙසට පත්ව සිටින මවුවරුන් තමන් සිටින්නේ දරුවෙකු වඩා ගැනීමට තරම් ප්‍රකෘති සිහියක ද යන්න මැනවින් තේරුම් ගත යුතුය. දැඩි නිදිමතක් දැනේ නම් කිසිදු විටෙක දරුවා වඩාගෙන සිටීමෙන් හෝ ඇවිදීමෙන් වැළකී සිටිය යුතු අතර දරුවා ආරක්ෂිත ඇඳක් මත හෝ තොටිල්ලක තැබීමට පියවර ගත යුතුය. නිවෙසේ අනෙක් සාමාජිකයන් ද පියා හෝ මව වෙහෙසී සිටින බව පෙනේ නම් දරුවාගේ ආරක්ෂාව පිළිබඳ වගකීම තාවකාලිකව භාර ගැනීමට ඉදිරිපත් වීම අත්‍යවශ්‍ය කරුණකි.
එමෙන්ම දරුවකු යම් හෙයකින් බිම වැටුණහොත් හෝ හිස වැදුණහොත් බාහිරින් තුවාලයක් නොපෙනුණත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට මවුපියන් කටයුතු කළ යුතුය. බාහිර ලේ වැගිරීමකට වඩා හිස ඇතුළත සිදුවන රුධිර වහනය ජීවිතයට වඩාත් තර්ජනයක් විය හැකි බව වෛද්‍ය වාර්තා පෙන්වා දෙයි. දරුවෙක් යනු පවුලක සතුට පමණක් නොව රටක අනාගතයයි. රස්නෙලි දියණියගේ මරණය බණ්ඩාරගමට පමණක් නොව මුළු රටටම පාඩමකි. මවුපියන් ලෙස අප සැමවිටම “පරෙස්සම” නමැති ආයුධය භාවිත කළ යුතුය.
මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දෙන්නට සිදු වූ පියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුවද ඔහුට තමන් අතින් සිදුවූ අතපසුවීම ගැන දැනෙන මානසික වේදනාව ඕනෑම දඬුවමකට වඩා දරුණු වනු ඇත. මෙවැනි සිදුවීමක් හමුවේ මවුපියන්ට දඬුවම් කිරීමට වඩා ගැඹුරු මානුෂීය මුහුණුවරකින් බැලිය යුතුව ඇත. මාස 2 1/2ක් වයසැති රස්නෙලි කේයාෂා දියණියගේ වියෝව මින් ඉදිරියට කිසිදු නිවෙසකින් වාර්තා නොවන පරිදි වඩාත් අවධානයෙන් සහ බුද්ධියෙන් යුතුව කටයුතු කිරීමට මෙම සිදුවීම කටුක පාඩමක් කරගත යුතුය. දරුවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් පවුලේ සියලු දෙනා එක්ව වගකීම් බෙදා ගැනීම තුළින් මෙවැනි ඛේදවාචකයන් වළක්වා ගැනීමට අප සැමට ශක්තිය ලැබේවා.
තොරතුරු බණ්ඩාරගම විමල් ජයසිංහ සහ පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක
TEXT – දුමින්ද කාරියවසම්
