Thursday, May 7, 2026
Epaper
Home විශේෂාංගඇඟලුම් ක්ෂේත්‍රය ජයගත් ව්‍යවසායකයා

ඇඟලුම් ක්ෂේත්‍රය ජයගත් ව්‍යවසායකයා

by Shanaka Lakehouse

ඕනෑම අභියෝගාත්මක කාලසීමාවක වුව ද නොසැලී ඉදිරියට යාමට අවශ්‍ය වන්නේ ධෛර්යය සහ නිවැරදි දැක්මයි. ශ්‍රී ලාං‍ෙක්ය ව්‍යවසායකත්ව අඹරේ එවන් දීප්තිමත් තාරකාවක් ලෙස එරංග මහතා හැඳින්විය හැකිය. තම පියාගෙන් ලද ව්‍යාපාරික උරුමය හුදු සම්ප්‍රදායකට පමණක් සීමා නොකර, එය නූතන ලෝකයට ගැළපෙන ලෙස විවිධාංගීකරණය කරමින් ඔහු අද වන විට දේශීය ඇඟලුම් ක්ෂේත්‍රයේ සුවිශේෂී නාමයක් දිනා සිටියි. විශේෂයෙන්ම “හැකියාවට රැකියාවක්” යන තේමාව ඔස්සේ මෙරට ගෘහිණියන් සහ දක්ෂ කාන්තාවන් සවිබල ගැන්වීමට ඔහු ගෙන යන වැඩපිළිවෙළ කාගේත් පැසසුමට ලක්විය යුත්තකි. ඔහුගේ ව්‍යාපාරික ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයන් සහ ජයග්‍රහණයේ රහස් පිළිබඳව කළ දීර්ඝ සාකච්ඡාව මෙසේ පෙළගස්වමු.

ඇඟලුම් ක්ෂේත්‍රය තුළ ඔබ අද සිටින මෙම සාර්ථක ගමන ආරම්භ වූයේ කෙසේද සහ ඒ සඳහා බලපෑ පසුබිම කුමක්ද?

ඇත්තටම මගේ මේ ව්‍යාපාරික ගමනට මූලිකම පදනම වැටුණේ මගේ පවුල් පසුබිමෙන්. මගේ පියා ව්‍යාපාර කටයුතුවල නිරත වූ පුද්ගලයෙක්. ඔහු මුලින්ම කුඩාවට රෙදි ව්‍යාපාරයක් ආරම්භ කළා. මම කුඩා කාලයේ ඉඳලම තාත්තා ඒ ව්‍යාපාරික කටයුතු කරන ආකාරය, පාරිභෝගිකයන් සමඟ ගනුදෙනු කරන ආකාරය සහ අභියෝගවලට මුහුණ දෙන ආකාරය දෙස ඉතාම උනන්දුවෙන් බලා සිටියා. ඒ ලැබුණු ආභාසය තමයි මාව මේ ක්ෂේත්‍රයට යොමු කළේ. මම ව්‍යාපාරයට පිවිසි මුල් කාලයේදී මගේ ආදරණීය මව සහ අයියා මට විශාල ශක්තියක් වුණා. පවුලේ අයගෙන් ලැබුණු ඒ දිරිගැන්වීම නැත්නම් මට මේ තරම් දුරක් එන්න ලැබෙන්නේ නැහැ.

ඔබ පවත්වාගෙන යන ඇඟලුම් නිෂ්පාදන ක්‍රියාවලිය සාමාන්‍ය මහා පරිමාණ කර්මාන්තශාලා (Garment Factories) ක්‍රමවේදයට වඩා වෙනස් වන්නේ කෙසේද?

අපේ නිෂ්පාදන රටාව සාමාන්‍ය ගාමන්ට් ෆැක්ටරියකට වඩා හාත්පසින්ම වෙනස්. බොහෝ කර්මාන්තශාලාවල කරන්නේ එකම වර්ගයේ ඇඳුම්, උදාහරණයක් ලෙස ටී-ෂර්ට් එකම වර්ගයකින් දහස් ගණනින් මැසීමයි. නමුත් අපි එකම වර්ගයට සීමා වෙන්නේ නැහැ. අපි විවිධ මාදිලියේ, විවිධ මෝස්තරවල ඇඳුම් රැසක් නිර්මාණය කරනවා. අපේ මූලික අරමුණ වන්නේ පාරිභෝගිකයාට අලුත් අලුත් දේවල් ලබා දීමයි. ඒ වගේම අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ උසස් නිමාවකින් යුත් ඇඳුම් සාමාන්‍ය ජනතාවට දැරිය හැකි ඉතා සහනදායී සහ අඩු මිලකට වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමටයි. එමඟින් රටේ සෑම තරාතිරමකම කෙනෙකුට ගුණාත්මක ඇඳුමක් ඇඳීමේ අවස්ථාව අපි සලසා දෙනවා.

“හැකියාවට රැකියාවක්” ලබා දෙන ඔබේ මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ගැන අපට පැහැදිලි කළ හැකිද? එය කාන්තාවන් සවිබල ගැන්වීමට දායක වන්නේ කෙසේද?

අපේ රටේ දක්ෂ කාන්තාවන්, විශේෂයෙන්ම ගෘහිණියන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ට මැහුම් කලාව පිළිබඳව සහජ හැකියාවක් තිබුණත්, නිවෙසේ වැඩකටයුතු සහ දරුවන්ගේ වැඩ නිසා රැකියාවකට එළියට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මම කළේ ඔවුන් තුළ පවතින ඒ හැකියාව හඳුනාගෙන ඔවුන්ව අපේ නිෂ්පාදන ජාලයට සම්බන්ධ කර ගැනීමයි. 2014-15 කාලය වන විටත් සිය ගණනක ‘උප කොන්ත්‍රාත්’ ශිල්පිනියන් පිරිසක් අප සමඟ එක්ව සිටියා. ඔවුන් තමන්ගේ නිවෙසේ සිටම අපේ ඇඳුම් මහනවා. මින් ඔවුන්ට තමන්ගේ පවුලේ වගකීම් ඉටු කරන අතරතුරේදීම ගෞරවනීය ආදායමක් උපයා ගැනීමට මඟ පෑදී තිබෙනවා. මෙය හුදෙක් රැකියාවක් පමණක් නොව, ඔවුන්ගේ ආත්ම අභිමානය නංවන ව්‍යාපෘතියක්.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඔබ අනුගමනය කරන ප්‍රායෝගික ක්‍රමවේදය කුමක්ද?

අපි ඉතාම විධිමත් සහ පහසු ක්‍රමවේදයක් මෙහිදී අනුගමනය කරනවා. ඇඳුම් මැසීමට අවශ්‍ය සියලුම රෙදිපිළි සහ අනෙකුත් අමුද්‍රව්‍ය අපේ ආයතනය විසින්ම අදාළ ශිල්පිනියන්ගේ නිවෙස් වෙතටම ප්‍රවාහනය කර ලබා දෙනවා. ඔවුන්ට සිදු වන්නේ තමන්ගේ කාලය කළමනාකරණය කරගෙන ඇඳුම් නිම කිරීම පමණයි. ඉන්පසුව එම නිමි ඇඳුම් නැවත අපේ ආයතනය වෙත රැගෙන ඒමේ වගකීමත් අපිම දරනවා. මේ ක්‍රමය නිසා එම කාන්තාවන්ට කිසිදු ප්‍රවාහන වියදමක් වැය වෙන්නේ නැහැ වගේම, ඔවුන්ගේ වටිනා කාලයත් ඉතිරි වෙනවා. අද වන විට රටේ විවිධ ප්‍රදේශවල දක්ෂ මැහුම් ශිල්පිනියන් මේ හරහා ඉතා සාර්ථකව අප සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා.

කොරෝනා වසංගත සමය ඔබේ ව්‍යාපාරවලට විශාල බලපෑමක් එල්ල කළා. එම අභියෝගය ඔබ ජයගත්තේ කෙසේද?

ඇත්තටම කොරෝනා කාලයේදී අපේ ඇඟලුම් සහ රෙදි ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම වගේ කඩාවැටුණා. රට වසා දැමීමත් සමඟ නිෂ්පාදන අලෙවි කරගන්න බැරි වුණා. නමුත් මම එතැනදී වැටුණේ නැහැ. මම හිතුවා ව්‍යාපාරය විවිධාංගීකරණය කළ යුතුයි කියලා. ඒ අනුව මම අමතර ව්‍යාපාර කිහිපයක් ආරම්භ කළා. මල් කර්මාන්තය, ශබ්ද පරිපාලන සේවා (Sound Systems) සහ කේටරින් සේවා (Catering) ඒ අතර වෙනවා. ඒ ව්‍යාපාරවලින් ලැබුණු ලාභය සහ ශක්තිය නිසා තමයි අඩාළ වූ ඇඟලුම් ව්‍යාපාරය නැවත නඟාසිටුවන්න මට පුළුවන් වුණේ. ව්‍යවසායකයෙකුට තිබිය යුතුමදේ තමයි ඕනෑම තත්ත්වයකට මුහුණ දීමේ හැකියාව සහ විකල්ප මාර්ග සෙවීම.

ඔබේ පෞද්ගලික ජීවිතයේ සහයෝගය සහ පවුලේ පසුබිම ගැන යමක් පැවසුවහොත්?

මගේ සාර්ථකත්වය පිටුපස සිටින සැබෑ සෙවණැල්ල මගේ දයාබර බිරිය තනුජා. ඇය මගේ ව්‍යාපාරික කටයුතුවලට මෙන්ම පවුලේ කටයුතුවලට ලබා දෙන සහයෝගය වචනයෙන් විස්තර කරන්න බැහැ. මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. මම ව්‍යාපාරය වෙනුවෙන් කොතරම් කැප වුණත්, මගේ පවුලේ දියුණුව සහ දරුවන්ගේ අධ්‍යාපනය ගැන නිතරම සොයා බලනවා. ව්‍යාපාරය සාර්ථක වීමට නම් පවුලේ සතුට සහ සාමය තිබිය යුතුමයි. මම විශ්වාස කරනවා පවුල සහ ව්‍යාපාරය නිවැරදිව සමබර කර ගැනීම තමයි මගේ මේ ගමනේ රහස කියලා.

මෙම ව්‍යාපාරය හරහා ඔබ බලාපොරොත්තු වන ඉලක්කය කුමක්ද?

මගේ එකම බලාපොරොත්තුව මේ ‘හැකියාවට රැකියාවක්’ ව්‍යාපෘතිය තවත් පුළුල් කරලා, රටේ තවත් බොහෝ දක්ෂ කාන්තාවන්ට රැකියා අවස්ථා ලබා දීමයි. දේශීය නිෂ්පාදනවලට වැඩි වටිනාකමක් දෙමින්, විදේශීය වෙළෙඳපොළ පවා ජය ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පාරිභෝගිකයන්ට ලබා දෙන ඒ විශ්වාසය සහ ගුණාත්මකභාවය හැමදාමත් එක ලෙස පවත්වා ගැනීම මගේ ඉලක්කයයි. අපේ රටේ මිනිස්සුන්ට අඩු මිලට හොඳ ඇඳුමක් ඇඳීමට අවස්ථාව සලසා දෙන අතරම, තවත් පිරිසකගේ ජීවන මට්ටම උසස් කරන්න ලැබීම මට විශාල සතුටක්.

 

TEXT – දුමින්ද කාරියවසම්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?