Thursday, May 7, 2026
Epaper
Home විශේෂාංගමං කවදාවත්ම අම්මා තාත්තාගෙන් ගුටියක් කාලා නෑ

මං කවදාවත්ම අම්මා තාත්තාගෙන් ගුටියක් කාලා නෑ

ප්‍රවීණ කලා ශිල්පී සහන් රන්වල

by Shanaka Lakehouse

මේ අවුරුදු කාලේ අපට නිතැතින්ම සිහිවන කලාකරුවන් අතර සහන් රන්වලට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. සුවහසක් අම්මාවරුන් වෙනුවෙන් ලියැවෙන ‘තරුණී අම්මාවරුනේ’ විශේෂාංගය වෙනුවෙන්ද අප සම්බන්ධ කර ගත්තේ ප්‍රවීණ කලාකරු සහන් රන්වලයි. ඔහු සිය මෑණියන් සහ සිය බිරිය මවක ලෙස දකින ආකාරය ගැන අප හමුවේ අදහස් පළ කළේ මේ අයුරිනි.

මගේ අම්මාගේ නම ඩිංගිරි මැණිකේ. අම්මා සහ මං අතර තිබුණේ බොහොම ආදරණීය බැඳීමක්. ලයනල් රන්වලගේ පුතා විදිහට මාව රටක් ලෝකයක් දැන ගත්තාට මං වැඩි වශයෙන් ගනුදෙනු කළේ අම්මා එක්කයි.

මං කවදාවත්ම අම්මා, තාත්තා හෝ ගුරුවරුන්ගෙන් හෝ ගුටි කාලා නෑ. ලෝකයේ ඒ වගේ දරුවන් ඉන්නේ බොහොම අතළොස්සක් යැයි මං විශ්වාස කරනවා. ඒ අතළොස්ස අතරින් මාත් එක්කෙනෙක්. මං හැදුණේ වැඩුණේ මවුපියන්ගෙන් ගුටියක් හෝ නොකන ආකාරයටයි. ඒ වගේම අපේ අම්මා තාත්තා බොහොම ඉවසීමෙන් ප්‍රශ්නවලට මුහුණ දුන් අය. ඒ ඉවසීම සමහර වෙලාවලදී මාව විස්මයට පත් කළා.

අපි කන්න කලින් අම්මා කෑවාද කියලා අහන්නැයි තාත්තා මට උගන්වා තිබුණා. බොහෝ අම්මලා උයලා පිහලා අවසානයේ දරුවන්ට කන්නට දීලා බඩගින්නේ ඉන්නවා. ඒ නිසාම තාත්තා නිතරම අපට ඉගැන්වුවේ අපි කන්න කලින් අම්මා කෑවාද කියලා සොයා බලන ලෙසයි.

ඒ වගේම අපි පොඩි කාලේ අම්මා නිර්මාණාත්මක ආකාරයේ වැඩ කළ හැටි මට මතකයි. ඒ කාලේ ඇය ගුරුවරියක් ලෙස රඟපාමින් අයියාටයි, මටයි ගෙදර ඉගැන්වුවා. ඉතින් ඒ අත්දැකීම්වලින් අම්මා එක්ක තිබුණු බැඳීම ආකර්ෂණීය වුණා. ඉතින් අම්මයි මායි අතර තියෙන්නේ මෙවැනි රසවත් අත්දැකීම්වලින් සපිරි සුන්දර මතකයන් රැසක්.

ඒ වගේම අම්මා සහ තාත්තා අතරත් ඉතාම ආදරණීය බැඳීමක් තිබුණා. තාත්තා අම්මාට කතා කළේ ‘ගෑනු ළමයා’ කියලා. ඒ තරම්ම අපේ තාත්තා සහ අම්මා ගත කළේ බොහොම ආදරණීය ජීවිතයක්. අපේ තාත්තා අම්මාට අපිව නිර්මාණය කරන ආකාරය ගැන උපදෙස් ගණනාවක්ම දීලා තිබුණා. කවදාවත්ම අපේ පුතාලා දෙන්නාව එකිනෙකාට සංසන්දනය කරන්න එපා, යන්න ඉන් එක් උපදෙසක්. ඒ නිසාම අම්මා කවදාවත්ම අයියා සහ මා අතර තරගයක් ඇති කරන්නට උත්සාහ කළේ නෑ. ඒ හින්දාම අපි දෙන්නා එකිනෙකා පරාජය කරන්නට කවදාවත්ම වැඩ නොකළ බව කිව යුතුයි. ඇත්තටම ඒ සඳහා තාත්තාගේ උපදෙස් අනුව අම්මා කටයුතු කළ ආදර්ශමත්භාවය ඉවහල් වුණා.

අපේ අම්මාගේ ගම කොත්මලේ මඩකුඹුර. ඉතින් සිංහල අවුරුදු කාලේට අපි අම්මාගේ ගමේ යන්නට බොහොම ආසයි. ඉතින් අම්මත් එක්ක ඒ කාලේ ගමේ ගිය හැටි, ගමේ මහගෙදර ඉන්න ලොකු අම්මලාගේ ගෙදර කෑම කාපු හැටි, සෙල්ලම් කරපු හැටි මං සිහිපත් කරන්නේ බොහොම ආදරයෙන්.

අම්මා මගේ කලා කටයුතුවලට බෙහෙවින්ම ඇලුම් කළා. මගේ පාසල් කාලය ගෙවුණේ කලා කටයුතු රැසක් සමඟයි. ඒ කාලේ නිවේදන කටයුතු, නාට්‍යවල රඟපෑම්, රචනා තරගවලට ඉදිරිපත් වීම, ජන ගී ගායනා ආදියේ මං පෙරමුණ ගත්තා. තාත්තාගෙන් ලැබුණු ආභාසය වගේම පාසලෙන් ලැබුණු හයිය, මගේ කලා ජීවිතයට අත්වැලක් වුණා. මං ඒ කාලයේ අධ්‍යක්ෂණය කළ වේදිකා නාට්‍යයට රාජ්‍ය සම්මාන හිමි වුණා. අනතුරුව මගේ කලා කටයුතුවලට ජාත්‍යන්තර සම්මාන පවා හිමි වුණත් ඒ හැම ජයග්‍රහණයකටම වඩා මගේ අම්මා වඩාත් සතුටු වුණේ මගේ කාව්‍යකරණය ගැනයි. මං මොන ජයග්‍රහණය ලැබුවත් ඇය වඩාත් ඇල්මක් දැක්වූයේ මගේ කවි ලිවීමේ හැකියාවටයි.

හැම වැඩකදීම මට අම්මාගෙන් ලැබෙන ආශීර්වාදය මිල කළ නොහැකියි. අපේ අම්මා දවසක් මගේ සංදර්ශනයක් බලලා මට අපූරු කතාවක් කිවුව හැටි මතකයි. මගේ වැඩ කටයුතු එන්න එන්නම ඉහළට එන බව පෙනෙන බව ඇය මට කියා සිටියා. මං ලද සියලු සම්මානවලටත් වඩා අම්මා ලබා දුන් ඒ දිරිගැන්වීම මට බොහොම වටිනවා.

අම්මා කලාවටත් බෙහෙවින් ඇලුම් කළා. ඒත් අපේ අම්මා කවදාවත්ම කවියක්, සින්දුවක් හෝ අපට ඇහෙන්න කියලා නෑ. පුංචි කාලේ අපව නළවන්න නැළවිලි ගී කීවැයි තාත්තා පැවසුවත් අපිට මතකයේ රැඳුණු කාලයක ඇය කවියක් ගීතයක් අපට ඇහෙන්න කියා නෑ. ඒත් ඇය කලාවට නැඹුරු කාන්තාවක්. ඉස්සර අපේ අම්මා සහ තාත්තා චිත්‍රපට ශාලාවට එන චිත්‍රපට සහ වේදිකා නාට්‍ය නොවරදවාම නරඹනවා. ඒ වගේම අදටත් ඇය අප සමඟ හොඳ චිත්‍රපට බලනවා වගේම හොඳ නිර්මාණ අගයන්නත් පසුබට නොවන බව කිව යුතුයි. අපි නිර්මාණ කරද්දී පවා ඇය අපට ඒ වෙනුවෙන් ලස්සන, නිර්මාණාත්මක අදහස් ලබා දෙනවා. ඉතින් එදා වගේම අදත් අපේ නිර්මාණ ඇතුළේ අම්මාගේ අදහස් ගැබ් වී ඇති බව කිව යුතුයි.

අපේ අම්මා අටලෝදහමින් කම්පා නොවූ කෙනෙක්. ප්‍රශ්නයක් ආවත්, දුක් කරදර වගේම සතුටු හිතෙන දෙයක් වුණත් අපේ අම්මා එකම විදිහට ජීවත් වෙනවා. තාත්තාගේ අභාවය අවස්ථාවේ අම්මා නොසැලී සිටි ආකාරය මගේ මතකයෙන් ගිලි නොහෙන මතකයක්. තාත්තා නැති වුණ කාලයේ මං උසස් පෙළ අවසන් කර රැකියාවක් කරමින් සිටියා. තාත්තාගේ අභාවය වෙලාවේ අම්මත් අසනීපෙන් පසුවුණා. ඇත්තටම තාත්තාගේ වියෝව අවස්ථාවේ අම්මා ශක්තිමත්ව නොසිටියා නම් අද අප මෙවන් හොඳ තැනක නොඉන්නත් තිබුණා.

අම්මා වගේම මගේ බිරිඳයත් මට දෙවැනි අම්මා කෙනෙක්. ඇගේ නම මෙලනි. මගේ බිරිය මගේ පුතාට මවක් වන්නට පෙර අපේ කලා කටයුතුවල නියැළුණු දරුවන්ට මවක් වුණ බවද මං පවසන්නේ බොහොම ආදරයෙන්. ඒ දරුවන්ගේ පවුලේ ප්‍රශ්නයක් හෝ පෞද්ගලික ප්‍රශ්නයක් වුව මා සමඟ කතා කරනවාට වඩා ඇය සමඟ කතා කරනවා. ඉතින් අපේ පුතා වුණත් බොහෝ ප්‍රශ්න කතාබහ කරන්නේ අම්මා එක්කයි. ඇත්තටම ඒ ප්‍රශ්න මාත් එක්ක කතා කරනවාට වඩා අම්මත් එක්ක කතා කරන එකෙන් හොඳ පිළිතුරක් ලැබෙන බව ඔහු විශ්වාස කරනවා. ඉතින් මාත් එයට කැමැතියි.

අපේ පුතා අවුරුදු 12දී පොතක් ලිව්වා. එය ඉංග්‍රීසි ප්‍රබන්ධයක්. ඉතින් ඉන් අනතුරුව ඔහු දිවා රෑ නොබලා දිගටම ලියන්න ගත්තා. එහිදී ලේඛනයට යොමු වීම, පාසල් අධ්‍යාපනයට බාධාවක් වේවි දැයි පුතාම කල්පනා කළා. එහෙත් එයට මගේ බිරිය දුන්නේ අපූරු පිළිතුරක්. ඇය කීවේ “පුතා.. ඔයා දිගටම ලියන්න. මං ඔයාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමේ වගකීම වෙනුවෙන් ඔබට උදවු කරන්නම්” කියායි. ඉතින් ඇය ඒ වෙලාවේ ඒ ප්‍රශ්නය මනා ලෙස කළමනාකරණය කළේ පුතාට ලිවීම සහ අධ්‍යාපනය යන අංශ දෙකම සමබරව කරගෙන යන්නට දිරියක් වෙමින්.

කාර්යබහුල ජීවිතයක් ගත කරන මගේ වෘත්තීය දිවියේ නොනිමි ශක්තිය මගේ බිරිය කිවුවොත් වරදක් නෑ. ඇත්තටම මං පාසල් යන සමයේ සිටම කාර්යබහුල කෙනෙක්. අදටත් ඒ කාර්යබහුලත්වය එලෙසම පවතිනවා. ඒ බව මගේ බිරිය තේරුම් ගෙන තිබෙනවා. ඉතින් ඇගේ සහයෝගය මගේ වැඩවලට පහසුවක්. ඇතැම් විට මං ප්‍රශ්නවලට කේන්ති ගනිද්දී, ප්‍රශ්නවලට විසඳුම් සොයන්න වුවමනා කේන්ති අරන් නොවේ යනුවෙන් ඇය මට උපදෙස් දෙනවා. ඉතින් ඇය ඇත්තටම මගේ ජීවිතයට පහනක් වුණා කිවුවොත් නිවැරදියි.

ඇය මගේ සිහින ජය ගැනීමට පවා උදවු කරන්නේ හරි අපූරු ආකාරයෙන්. මේ සිදුවීමෙන් එය මනාව පැහැදිලි වේවි. ලෝකය පුරා සිටින ලංකාවේ දරුවන් අපේ රටේ දේවල් අගය කරනවා යන මතය ලෝකයට ගෙනියන්නට වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමේ හීනයක් මගේ හිතේ තිබුණේ කාලයක පටන්. ඒත් එය මට ඉටු කර ගැනීමට හැකි වුණේ නෑ. එවන් වටපිටාවක මගේ බිරිය ගිය අවුරුද්දේ මට කීවේ “ඔයා එන වසරේ ඔයාගේ හීනය හැබෑ කරගන්න, මං එයට උදවු කරන්නම්” යනුවෙන්. ඉතින් ඒ හීනය සැබෑ කරමින් මේ වසරේ දෙසැම්බර් 19, 20 ‘රිදම් ඔෆ් ලංකා’ ලෙස කොළඹ නෙළුම් පොකුණේ අපි උත්සවයක් පවත්වනවා. එහිදී ලෝකය පුරා සිටින ලංකාවේ දරුවන් සිය සෞන්දර්ය කුසලතා ප්‍රදර්ශනය කරනවා. ඉතින් ඒ හීනයට පණ දුන්නේ මගේ බිරිය බව කියා සිටින්නේ බොහොම සතුටින්. ඉතින් මගේ කොයි වැඩේටත් ඇය මගේ යාළුවෙක් වගේ මා ළඟින්ම ඉන්නවා.

 

TEXT – ආර්.පී. මිහිරාන්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?