Monday, April 20, 2026
Epaper
Home විශේෂාංගඔයා යන path එක තෝරන්නේ තාමත් වෙන අයද?

ඔයා යන path එක තෝරන්නේ තාමත් වෙන අයද?

by Shanaka Lakehouse

ලංකාවේ වර්තමාන අධ්‍යාපන රටාව දෙස බැලූ විට, උසස් පෙළ (A/L) විභාගය යනු දරුවකුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස සැලකේ.

වසර දහතුනක පාසල් ගමන නිමා වන්නේ මෙම කඩඉමෙනි. ඉන් අනතුරුව එළඹෙන කාලය තාරුණ්‍යයේ තීරණාත්මකම අවධියයි. මෙහිදී යම් ශිෂ්‍යයෙක් උසස් පෙළ ඉහළින්ම සමත්ව රජයේ විශ්වවිද්‍යාලයකට තේරී පත් වුවහොත්, ඔහුට හෝ ඇයට සමාජයෙන් සහ පවුලෙන් ලැබෙන්නේ ඉහළ පිළිගැනීමකි. එවැනි දරුවකුට තම ඉදිරි අධ්‍යාපන මාවත තෝරාගැනීමේදී විශාල බාධාවක් එල්ල නොවන අතර, සියයට අනූවයි දශම අනූනවයක්ම අවස්ථාවලදී මවුපියන්ගේ පූර්ණ ආශීර්වාදයද හිමි වේ.

නමුත් සැබෑ ප්‍රශ්නය පැනනඟින්නේ එතැනින් පසුවය. සෑම වසරකම රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමට සුදුසුකම් ලැබුවද, සොච්චම් ලකුණු ප්‍රමාණයකින් හෝ දශම කිහිපයකින් එම අවස්ථාව අහිමි වන දහස් ගණනක් දරුවෝ අප අතර සිටිති. මෙයින් එක් කොටසක් සිය දෙවැනි හෝ තෙවන උත්සාහය (Shy) සඳහා තවත් වසරක් හෝ දෙකක් කැප කිරීමට තීරණය කරති. එය ඔවුන්ගේ අයිතියකි. එහෙත්, නැවත විභාගයට පෙනී නොසිටීමට තීරණය කරන හෝ අඩු ලකුණු මට්ටමක සිටින අතිවිශාල දරුවන් පිරිසකට සිදුවන්නේ කුමක්ද?

සමාජ විද්‍යාත්මකව බැලූ විට, ලකුණු අවම මට්ටමක සිටින දරුවන් පිරිස ඉහත කී කොටසට වඩා දෙගුණයකටත් වඩා වැඩිය. ඔවුන්ගෙන් ඇතැම් පිරිසක් ඉතා දක්ෂ ලෙස තමන් කැමති වෘත්තීය පාඨමාලාවක් හෝ වෙනත් විකල්ප අධ්‍යාපන මාවතක් තෝරාගෙන ජීවිතය ගොඩනඟා ගැනීමට උත්සාහ කරති. එහෙත් මෙහි ඇති අවාසනාවන්තම තත්ත්වය වන්නේ, තමන්ට යා යුතු මාවත කුමක්දැයි නිවැරදි අවබෝධයක් නොමැතිව, සමාජයේ සහ පවුලේ මතයට ගැති වන දරුවන් පිරිසයි. ඔවුන් බොහෝ විට කරන්නේ තමන්ගේ හීන පසෙක තබා, අසල්වැසියන්, නෑදෑයන් හෝ මවුපියන් කියන දේට “හා” කියා එකඟ වීමයි.

මෙයද සැබැවින්ම විය යුත්තේ?

ඔබේ අනාගතය තීරණය කළ යුත්තේ ඔබ මිස බාහිර සමාජය නොවේ. උසස් පෙළින් පසු ඔබ තෝරාගන්නා වෘත්තීය හෝ අධ්‍යාපන ක්ෂේත්‍රය ඔබේ ජීවිත කාලයටම බලපාන සාධකයකි. එහිදී බාහිර පුද්ගලයන්ගේ ආකල්ප නිසා ඔබේ මාවත වෙනස් කරගැනීම විශාල මෝඩකමකි. බොහෝ අය දකින්නේ ඔබ පිටතින් පෙන්වන රූපය සහ ප්‍රතිඵලය පමණි. ඔබ තුළ ඇති දක්ෂතාව, කැමැත්ත සහ අනාගත සිහින ගැන ඔවුන්ට අවබෝධයක් නැත. ඔබ රජයේ වෛද්‍යවරයකු වීමට සිහින මවනවා විය හැකිය, නැතිනම් දක්ෂ නිර්මාණකරුවකු වීමට බලාපොරොත්තු වනවා විය හැකිය. නමුත් ඔබේ ප්‍රතිඵලය අනුව සමාජය ඔබව මනින්නට උත්සාහ කරන්නේ නම්, ඔබ ඔවුන්ට අවස්ථාව ලබා නොදිය යුතුය.

ඔබ කරන දේ සමාජයට හෝ වෙනත් අයකුට හිරිහැරයක් නොවේ නම්, ඔබේ හෘදසාක්ෂියට එකඟව ඔබ කැමැතිම දේ තෝරාගන්න. ඔබේ ජීවිතය යනු රෝස මල් අතුරපු යහනාවක් නොවේ. බොහෝ විට සාර්ථක මිනිසුන්ගේ අවසාන කතාව ලස්සන වන්නේ ඔවුන් ආ කටුක සහ බාධක පිරි ගමන නිසාය. බාහිර සමාජයෙන් එන විවේචන සහ අපහාස හමුවේ ඔබේ ගමන නතර නොකරන්න. මතක තබා ගන්න, ඔබ සාර්ථක වූ දිනට අද ඔබට විවේචන එල්ල කරන අයම ඔබේ සාර්ථකත්වයේ කොටස්කරුවන් වීමට ඉදිරිපත් වනු ඇත. අධ්‍යාපනය යනු හුදෙක් විභාග සමත් වීම පමණක් නොවේ. නිවැරදි දැක්මක් සහිතව, තාවකාලික පසුබෑම් හමුවේ නොසැලී ඉදිරියට යෑමයි. අද ඔබ ගන්නා තීරණය ඔබේ හෙට දවසේ සතුට තීරණය කරනු ඇත. අනුන්ගේ මතවලට “ඕකේ” කියමින් ජීවත් වීමෙන් ලැබෙන මානසික පීඩනය, තමන් කැමැති දෙයක් කරමින් ලබන වෙහෙසට වඩා දරුණුය. ඔබ තුළ ඇති කැපවීම, උනන්දුව සහ උත්සාහය ඕනෑම විවේචනයකට වඩා බලවත්ය. ඔබ යම් ක්ෂේත්‍රයකට කැමැති නම්, ඒ වෙනුවෙන් මහන්සි වී කැපවන්නේ නම්, ලෝකයේ කොතැනක හෝ ඔබට හිමි තැන අනිවාර්යයෙන්ම ලැබෙනු ඇත.

බොහෝ දෙනෙක් පවසන්නේ “අහවල් දේ කළොත් විතරයි පිළිගැනීමක් තියෙන්නේ” කියාය. නමුත් සැබෑව නම්, ඔබ කරන ඕනෑම දෙයක් ඉහළම මට්ටමින් කරන්නේ නම්, පිළිගැනීම ඔබ සොයා එනු ඇත. පවුලේ අයගේ හෝ සමාජයේ අදහස්වලට ගරු කරන්න, නමුත් ඔබේ ආත්මය පාවා නොදෙන්න. ඔවුන් කියන දේ අසා සිටින්න, නමුත් අවසාන තීරණය ඔබේ වන්නට ඉඩ හරින්න. තමන් යන මාවත තමන් විසින්ම තෝරාගැනීමෙන් ලැබෙන ආත්ම තෘප්තිය සහ ආඩම්බරය වෙනත් කිසිදු දෙයකින් ලබාගත නොහැකිය.

ඒ නිසා, ඒ ලෙවල් අවසන් වී අනාගතය ගැන දෙගිඩියාවෙන් ඉන්නා තාරුණ්‍යයට දිය හැකි හොඳම උපදෙස මෙයයි: අනුන්ගේ හීනවලට පණ දීම නතර කර, ඔබේ හීන වෙනුවෙන් වැඩ කරන්න. බාහිර ලෝකයට අවශ්‍ය විදියට නොව, ඔබට අවශ්‍ය විදියට ඔබේ ජීවිතය හැඩගස්වා ගන්න. ඔබේ නිවෙස තුළ වුවද, ඔබේ අදහස් නිවැරදිව පවසන්න. ඔබ තෝරාගත් මාවතේ ඔබ සාර්ථක වන බව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන්න. එවිට ඔබ දෙස වැරදි කෝණයකින් බැලූ ලෝකයම, ඔබ දෙස ගෞරවයෙන් බලනු ඇත.

ඔබේ ගමන අදම පටන් ගන්න. ඔබේ මාවත තෝරාගැනීමේ බලය වෙනත් කිසිවකුට ලබා නොදෙන්න. අවසානයේදී තමන් ගැන ආඩම්බර විය හැකි මිනිසකු වන්න.

ඔබට ජය!

 

TEXT – මනෝලි සුබසිංහ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?