‘අම්මා සඳකි, ආදරයේ උල්පත, මහමෙර, මහා සාගරය’ ආදී නොයෙක් සුවිසල් මිල කළ නොහැකි වස්තු සම්පත්තීන්ට අම්මාව සම කරන්නට ලොව බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ අම්මාගේ ආදරය මෙපමණකැයි කිව නොහැකි තරම් සුවිශාල නිසාවෙනි. එහෙත් අම්මාගේ ආදරයට, ඒ දාරක ප්‍රේමයට සමාන කළ හැකි වස්තුවක් ලොව තිබේද? ලොව කුමන වස්තුවකට සම කළ ද අම්මා තරම් වස්තුවක් අපට සිටිත් ද? මවකගේ වටිනාකම ඒ තරමටම සුවිසල්ය. ඒ සා වටිනා උතුම් ගුණ සපිරි ධෛර්යවන්ත මවකගේ කතාන්දරයක් මෙවර තරුණී අම්මාවරුනේ විශේෂාංගයෙන් අද අපි ඔබ හමුවේ තබන්නෙමු. සිය මව ගැන කතා කරන මේ දියණිය අප කවුරුත් දන්නා හඳුනන රංගන ශිල්පිනියකි. ඇය නිල්මිණි තෙන්නකෝන්ය. මේ ඇය සිය මෑණියන් ගැන අප හමුවේ අදහස් දැක්වූ ආකාරයයි.
“මගේ අම්මාගේ නම ශ්‍රියාණි තෙන්නකෝන්. පුංචිම කාලේ මගේ ජීවිතයේ බොහෝ තැන් ගෙවුණේ අම්මාත් එක්කමයි. ඉතින් මං පෙර පාසල් ගිය පළමු දවසේ අම්මාගේ ගවුමේ එල්ලිලා අඬපු හැටි මගේ මතකයේ තිබෙනවා. ඒ කාලේ මගේ ඇඳුම් හැම එකක්ම පාහේ මසා දුන්නේ මගේ අම්මා.
ඉතින් මගේ අම්මා ගොඩක් සරල කෙනෙක්. ඒ කාලේ මගේ මවුපියන් ව්‍යාපාර කටයුතු කළා. ඉතින් අපේ අම්මා මාව ඉස්කෝලේ ඇරුණාම කෙළින්ම අරගෙන එන්නේ ව්‍යාපාරික ස්ථානයට. හැමදාම සතියේ දිනවල සන්ධ්‍යාව ගෙවුණේ ඒ ස්ථානයේ. එහිදී මං කැෂියර් මේසය යට නිදා ගත් අවස්ථා බොහෝමයි. සමහර වෙලාවට කැෂියර් ලාච්චුවෙන් බිමට වැටෙන සල්ලි පවා මා විසින් ගත් අවස්ථා නොතිබුණා නොවේ.”
පියාගේ හදිසි වියෝවෙන් පසුව තනි වූ සිය මෑණියන්, සොයුරු සොයුරියන් දෙදෙනෙක් සමඟ තමාව හැදූ වැඩූ ධෛර්යවන්ත ආකාරය නිල්මිණී විස්තර කළේ මේ ආකාරයෙනි.
“අපේ තාත්තා නැති වෙන කොට අම්මා බොහොම තරුණයි. ඒ වන විට අම්මා තිස් දෙවැනි වියෙහි පසු වුණා. ඉන් පසුව මා සමඟ මගේ නංගි සහ අයියාව හදාගන්නට අම්මා කටයුතු කළේ තනිවම. ඉතින් එදා පටන් අපව හදා ගන්නට අම්මා ගොඩක් දුක් වින්දා. ඇය වෙනත් කසාදයක් ගැන සිතුවේ නෑ. ඇය අප වෙනුවෙන්ම කැප වුණා. ඉතින් තනි ගැහැනියක් ලෙස ඇගේ ධෛර්යය මහා පුදුමාකාරයි.”
නිල්මිණී තෙන්නකෝන්ගේ කලා ජීවිතයේ අත්තිවාරම සවිමත් කරන්නට සිය මව කළ කැපකිරීම් ගැන ඇය මෙසේ කියා සිටියාය.
“පුංචි කාලේ නර්තනය කෙෙරහි මට තිබුණේ නොතිත් ආසාවක්. මං ඒ කාලේ ලංකාවේ තිබෙන හැම නැටුම් පන්තියකටම පාහේ ගියා. ඉස්කෝලේ නැටුම් කරනවා පමණක් නොව සන්ධ්‍යාවේ උඩරට, පහතරට ආදි ලෙස නැටුම් පන්ති කිහිපයකට මං සහභාගී වුණා. ඉතින් ඒ හැම තැනකටම මාව එක්ක ගෙන ගියේ මගේ අම්මා.
වතාවකදී මං කොළඹ නැටුම් පන්තියකට යන්න වුවමනා යැයි අම්මාගෙන් ඉල්ලීමක් කළා. අම්මා ඒ ඉල්ලීම නොපැකිළව ඉටු කළා. ඒ අනුව අම්මා මාව රැජනි සෙල්වනා ගම් මිස් ළඟට අරගෙන ගියා. අම්මා එදා මාව කොළඹ සුදර්ශියට අරගෙන ගිය හැටි අද වගේ මට මතකයි. ඉතින් නැටුම් පන්ති නිමා වන තුරු අම්මා සුදර්ශිය ළඟ වාඩි වෙලා ඉන්නේ මාව නැවත ගෙදර එක් කරගෙන යෑමේ අරමුණින්. මගේ කලා දිවියේ හැරවුම් ලක්ෂ්‍යය සිදු වන්නේත් එතැනදීයි. එහි නැටුම් ඉගෙන ගන්නා අතරේ නාට්‍ය පාසලක හඬ පුහුණු පාඨමාලාවක් මගේ නෙත ගැටෙනවා. එවිට මං අම්මාගෙන් ඉල්ලා සිටින්නේ මාව ඒ පන්තියට යොමු කරවන ලෙසයි. ඉතින් අම්මා කිසිදු විරෝධයකින් තොරව මාව ඒ පන්තියටත් යොමු කළා. ඉතින් මගේ කලා දිවියේ සෙවණැල්ලක් වගේ මා පසුපසින් සිටියේ මගේ අම්මා.”
අතිශය කාර්යබහුල රංගන දිවියේදී ඇයට මවගෙන් ලැබුණු සහයෝගය ගැන ද සිහිපත් කිරීමට නිල්මිණී අමතක නොකළාය.
“මං රූගත කිරීම්වලට යද්දී මගේ තනියට ආවේ මගේ අයියා. කාර්යබහුලත්වය නිසා අම්මාට ඒ ගමන්වල තනි නොතනියට එන්න වෙලාවක් තිබුණේ නෑ. ඉතින් දූ දරුවෝ රූගත කිරීම්වලට යන්නට පෙර අම්මා මාව උදේ පාන්දරින්ම අවදි කරන්නට ලොකු ආයාසයක් ගන්නවා. ගෙදර ඉස්සරහට නාට්‍ය කණ්ඩායම රැගත් වාහනය ඇවිත් හෝන් ගහන වෙලාවටත් මං නින්දේ පසු වුණා. ඒ කාලේ කාර්යබහුලත්වය නිසා මං ගොඩක් මහන්සි වුණු කාලයක්. ඒ වෙහෙස නිසාම මට ගොඩක් නින්ද යනවා. ඉතින් ඇය මාව ඇහැරවමින් “රඟපාන්න, නැත්නම් ගෙදරට වෙලා ඉන්න” යැයි කියා සිටින ආකාරය මට අමතක වෙන්නේ නෑ.”
සිය රංග දිවියේ මවකගේ භූමිකා රඟදක්වද්දී සිය මවගේ දිවි සමය සිය රංගනයට දායාද කර ගත් ආකාරය ගැන නිල්මිණී පැවසුවේ මෙබන්දකි.
“මං රඟපෑ චරිතවලදී අම්මාගේ චරිතය උකහා ගත් අවස්ථා බොහෝමයක් තිබුණා. ඇත්තටම සැමියා අහිමිව තනිවම දරුවන්ගේ වගකීම් කර පින්නා ගත් මවකගේ චරිත කිහිපයකට මං පණ පෙව්වා. ඒ අවස්ථාවලදී මං අම්මාගේ ජීවිතයේ යම් යම් තැන් සිහිපත් කරගෙන රංගනයේ යෙදුණා. අපේ අම්මා මාවයි නංගිවයි ආරක්ෂා කරගෙන අපව ඇති දැඩි කළ ආකාරය මට කවදාවත්ම අමතක කරන්න බෑ.”
අනේකවිධ ප්‍රශ්න දුක් පීඩා කම්කටොලු පැමිණි දිවි ගමනේ ඒවාට ශක්තියක් වන්නට මව සහාය දුන් ආකාරය මෙන්ම එහිදී මව ද කඩා වැටුණු ආකාරය ගැන නිල්මිණී මෙසේ පැහැදිලි කළාය.
“මට ප්‍රශ්න ආවාම අම්මා සහයෝගය දැක්වූ අවස්ථා ගොඩක් තිබෙනවා. ඒ වගේම බොහෝ තැන්වලදී මගේ ප්‍රශ්න අම්මාගෙන් සඟවන්නට මං කටයුතු කළ අවස්ථා ද නැතිවා නොවේ. අපිව මේ ලෝකයට බිහි කරමින් අපිව උස් මහත් කළාට පස්සේ අපේ ප්‍රශ්න අම්මාගේ ඔළුවට දැමීම හොඳ නැති දෙයක් යැයි මා විශ්වාස කරනවා. ඒත් මං ජීවිතයේ කඩා ගෙන වැටෙන තැන්වලදී ඇයත් කඩාගෙන වැටෙන ආකාරය මම දැක්කා. ඒ හැම අවස්ථාවකදීම අම්මා සමඟ ඒ ප්‍රශ්න කතා නොකරන්නට මං වගබලා ගන්නවා. එදා වගේම අදත් මං ඒ ප්‍රශ්න අම්මාගේ හිස මත තබන්නේ නෑ.”
TEXT – ආර්. පී. මිහිරාන්
