Monday, April 20, 2026
Epaper
Home විශේෂාංගපියාගේ උරුමය කරපින්නා ගිය අපූරු දියණිය

පියාගේ උරුමය කරපින්නා ගිය අපූරු දියණිය

by Shanaka Lakehouse

“හම්මාහ්… 5.00යි වෙලාව”

තාත්තා අත තිබූ කළු පැහැති මහත පටි හා අවර්ණ වූ මුහුණතක් සහිත ඔරලෝසුව දෙස බලා කීවේය. ගතෙහි වෙහෙස අමතක කරගන්නට මෙන් “දෝණි මට වතුර ටිකක් දෙන්නකෝ” කියමින් ඔහු ඉස්තෝප්පුවේ වාඩි වූයේය. මම මාගේ වතුර බෝතලය ගෙන පරීක්ෂා කළද එහි ජලය අවසන් වී තිබිණි. මා කුමක් සිදු කරන්නේද යන්න සිතමින් සිටි අතරතුර “මොනවා හරි බොනවද?” යනුවෙන් මළගෙදර සිටි කාන්තාවක් මගෙන් විමසුවාය.

“මොකුත් ඕනෑ නෑ. වතුර ටිකක් ගන්න පුළුවන්ද?” මම ඇයගෙන් විගස ඇසුවෙමි. ඇය ජල වීදුරුවක් ගෙනවිත් දුන්නාය. තාත්තා ජලය පානය කොට බන්දේසිය මත නැවතත් වීදුරුව තැබුවේය. නමුත් ඇය නැවත එම වීදුරුව ඇගේ මුළුතැන්ගෙට රැගෙන ගියේ නැත. වීදුරුව කැලයට විසි කළාය. එය දුටු, පහසුවෙන් හඬා නොවැටෙන, පර්වතයක් සේ නොසැලෙන මගේ පියාගේ දෙනෙත කඳුළින් බර විය. එසැණින් මගේ සිත මහා වේගයෙන් එහෙ මෙහෙ දිව ගොස් දිය වී ගියාක් මෙන් මට සිතිණි.


“ගණන් ගන්න එපා තාත්තේ. අපිට මිනිස්සු කොච්චර කතා කීවත් අපි දිගටම මේ වැඩේ කරලා දියුණු වෙමු”යි කියා මම ඔහුව සැනසුවෙමි.

මා හට දැනුම් තේරුම් ඇති වයසේ සිටම ගම්මුන් මෙන්ම නෑදෑයන් ද අප දෙස බලා පැවසූයේ එකම දෙයකි. එනම් “උඹලා ළඟ මිනී ගඳ. මිනී එම්බාම් කරන උන්ගේ ගෙවල්වලින් අපි කන්නේ නෑ” යනුවෙනි. පාසලේ ගුරුවරුන් මෙන්ම මිතුරන්ගෙන්ද මෙම ආඩපාලිවළින් අඩුවක් නොවිණි. මස් කැබැල්ලකට පොරකන කපුටු රෑනක් සේ ඔවුහු හරි හරියට අපට අවමන් කිරීමට පොරකෑහ. පාසලේදී පන්ති කාමරයේ කොනක තනි මේසයක් හා පුටුවක් මට හිමි විය. මා හට මිතුරන් නොවීය.

කෙසේ හෝ තාත්තාගේ සිත සනසා ගෙදර ඒමට සැරසෙන විට තරමක් උසැති සුදු කමිසයකට උඩින් කෝට් එකක් පැලඳ සිටි පුරුෂයෙක් “දුවේ” කියමින් මා හට ආමන්ත්‍රණය කළේය. ඔහු කුලියාපිටිය නම් අපේ ග්‍රාමයේ ග්‍රාමසේවක මහතාය.

“ඔයාගේ වයස කීයද?”

“මට අවුරුදු 16යි”

“ඉස්කෝලේ යන්නේ නැද්ද?”

“නෑ. මගේ යාළුවෝ මට විහිළු කරන නිසා ඉස්කෝලේ ගමන මම නතර කළේ මේ ළඟදි.”

මා ලබා දුන් පිළිතුරු සියල්ල විමසිලිමත්ව සවන් දෙමින් ඔහු මනසින් යමක් සිතමින් සිටියි. එක්වරම සිදු වූ අහඹුව කුමක්ද යන්න වටහා ගැනීමට මා හට තවමත් නොහැකිය. මාගේ මනස විසිරුණු නූල් පන්දුවක් වැනිය.

“දැන් එතකොට දිගටම මිනී එම්බාම් කරන්නද හිතන් ඉන්නේ?” ඔහු නැවතත් ඔහුගේ හඬ අවදි කළේය.

“ඔව්. මම මට අවමන් කරපු හැමෝටම පේන්න දවසක මගේම ව්‍යාපාරයක් ආරම්භ කරනවා.”

“ඊට පස්සේ?” ඔහු කුතුහලයෙන් හා අනුකම්පා සහගත ස්වරයකින් මාගෙන් විමසීය.

“මම ඒකෙන් දියුණු වෙලා දුප්පත් මිනිස්සුන්ට මිනී පෙට්ටි, එම්බාම් වැඩ සහන මුදලට ලබා දෙනවා.”

මාගේ හද පතුළෙහිම පැවති අවංක අවශ්‍යතාවන් එකිනෙක මාගේ මුඛය හරහා පිටතට ගලා ආවේය.

“මගේ එකම බලාපොරොත්තුව මගේ තාත්තාට හොඳට සලකන එක.”

මා පවසන සියල්ල සාවධානව අසා සිටි එතුමා මාගේ උරහිසට සෙමින් දෙවරක් තට්ටු කොට පිටව ගියේය.

දැන් මම වයස අවුරුදු 19ක විවාහක තරුණියක්වි. පී.ඩී. ස්නේහා උද්‍යානි නේත්‍රා කුමාරි යන මාගේ නාමය ඉදිරියෙන් වෛද්‍යවරයකුගේ හෝ ගුරුවරයකු යන තනතුරු ලියවී තිබීමට මා හට කුඩා කල අවශ්‍ය විය. නමුත් දෛවයට අවශ්‍යව ඇති අන්දමට මා මිනී එම්බාම්වරියකි. වයස අවුරුදු 16 සිට මේ වන තෙක් මා මළමිනී 70-80 අතර එම්බාම් කර තිබේ. කෙසේ වෙතත් දෛවය මා හට ලබා දීමට අවැසි දෑ පිළිබඳ මම කනගාටු නොවෙමි. පියාගේ රැකියාව සිදු කිරීමට ලැබීම මාගේ භාග්‍යයකි.

TEXT – ටිරුනි ඉමාසා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?