ගම පුරාම එරබදු මල් රතු පාටින් දිලිසෙද්දී, කොහාගේ නාදය දසතින් ඇහෙද්දී ගමේ හැමෝම හිටියේ අවුරුදු සිරියාවෙන්. ඒත් වළව්වේ සුරන් පුංචි හාමුගේ හිත තිබුණේ ගම කෙළවරේ පැල්පතක ජීවත් වුණු සමනලී ළඟය. කුල මල පරතරය අහසට පොළොව වගේ වුණත්, ඔවුන්ගේ ඒ අවංක ආදරයට ඒ කිසිවක් බාධාවක් වුණේ නැත.
එහෙත්, ඒ සුන්දර ආදරේ ආයුෂ තිබුණේ ඒ අවුරුදු දවස වෙනකම් විතරයි. එදා රෑ හොර රහසේම සමනලීව හමුවන්නට ගිය සුරන්ව, වලව්වේ රාලහාමිගේ ඇසට හසුවුණි. රාලහාමිගේ ගර්ජනාව මුළු ගමම දෙදරවාලීය.
“නැවතියන් ඔතන! සුරන්… තෝ මොකද මේ පඩයකටවත් නොවටිනා එකියක් එක්ක මෙතන කරන්නේ?” රාලහාමි ගිගුරුම් දුන්නේය.
“අප්පොච්චේ… මම සමනලීට ආදරෙයි. මට කුලේ වැඩක් නෑ.” සුරන් වෙවිලන හඬින් පැවසීය.
“තොපේ කුලේ කොහෙද, අපේ වලව්වේ කුලේ කොහෙද? වලව්වේ පඩියකටවත් පෑගෙනවද තොපි!”
රාලහාමි මුළු ගම ඉදිරියේ සමනලීට සහ ඇගේ මවට නින්දා අපහාස කරද්දී, අවමානය දරාගන්න බැරිවුණු ඔවුන් එදාම රෑ හොර රහසේම ගම අත්හැර ගියේය. සමනලී ඒ යන විට සුරන්ගේ දරුවෙකු කුස දරාගෙන සිටි බවක් වලව්වේ කවුරුත් දැන සිටියේ නැත.
ගමෙන් නෙරපා දැමූ සමනලී සහ ඇගේ මවට යන්න එන්න තැනක් තිබුණේ නැත. ඇගේ පියා මියගොස් බොහෝ කල්ය. අසරණ වූ දෙදෙනා රැය පුරා ඇවිද ගොස් නතර වූයේ ඈත පළාතක පිහිටි නිසල මෙහෙණි ආරාමයක දොරකඩය.
අඳුර වැටී තිබුණත් ආරාමයේ වැඩ විසූ ලොකු මෙහෙණින් වහන්සේ ඔවුන් දෙස බැලුවේ අපරිමිත කරුණාවෙනි.
“බය වෙන්න එපා දුවේ… බුදු සරණ ඇති තැන කාටවත් අසාධාරණයක් වෙන්නේ නැහැ. අසරණ වූ අයට සෙවණ දීම සසුනේ සිරිතයි. ඔයාලට මෙහේ නතර වෙන්න පුළුවන්,” ලොකු මෙහෙණින් වහන්සේ සැනසිලිදායක ස්වරයෙන් පැවසුවාය.
සමනලීගේ කුසෙහි දරුවෙකු වැඩෙන බව ඇය දැනගත්තේ එහිදීය. ලොවම ඇයට එරෙහි වෙද්දී මව සහ ආරාමය ඇයට ශක්තියක් විය.
“අම්මේ, මට හිතාගන්න බෑ මම මොකද කරන්නේ කියලා… මුළු ගමක් ඉස්සරහා අපිව පෑගුවා. දැන් මම කොහොමද මේ දරුවා හදා ගන්නේ?” සමනලී දවසක් කඳුළු සලමින් ඇසුවාය.
ලොකු මෙහෙණින් වහන්සේ ඇය අසලින් වාඩි වී හිස පිරිමැද්දාය.
“දුවේ, වැටුණු තැනින් නැගිටින්න ඕනේ. අතීතය කියන්නේ ඉගෙන ගන්න පාඩමක් විතරයි. ඒක බරක් කරගන්න එපා. ඔය සේ ඉන්නේ අහිංසක ජීවිතයක්. වෛරයෙන් ඒ දරුවා හදන්න එපා. ධර්මය සරණ කරගත්ත කෙනා කවදාවත් අතරමං වෙන්නේ නැහැ. ඔයා ඉගෙන ගන්න. අපි ඔයාට උදවු කරන්නම්.”
ආරාමයේ අතුපතු ගාමින්, වතාවත්වලට උදවු කරමින් සමනලී සිය අධ්‍යාපනය අත්හැරියේ නැත. ඇය රෑ නිදිවරාගෙන පාඩම් කළාය. ධර්ම ශ්‍රවණය ඇගේ සිතේ තිබූ වෛරය සහ දුක පලවා හැරීමට උදවු විය.
කාලය ගෙවී ගියේය. සමනලී දියණියක ප්‍රසූත කළාය. පුදුමයකි, ඇය උසස් පෙළ ඉහළින්ම සමත් වී කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට තේරී පත් වූවාය. ඇය කොළඹ යන විටත් නවාතැන වූයේ ආරාමය හා සම්බන්ධ තවත් කුඩා ආරාමික සෙවණකි.
විශ්වවිද්‍යාල ජීවිතය ඇයට රෝස මල් ඇතිරූ මාවතක් නොවීය. එක් පැත්තකින් දියණියගේ වැඩය, අනෙක් පැත්තෙන් අතිශය දුෂ්කර වෛද්‍ය පාඨමාලාවය.
“දුවේ, ඔයා දේශනවලට යන්න. මම දරුවා බලාගන්නම්. ඔයා කොහොමහරි දොස්තර කෙනෙක් වෙලා මේ ලෝකෙට ඔයා කවුද කියලා පෙන්වන්න,” ඇගේ මව ඇයට මහා මෙරක් සේ ශක්තියක් වූවාය.
විශ්වවිද්‍යාලයේදී ඇය කැපී පෙනෙන රූපලාවණ්‍ය සහ නිහඬ බවකින් යුක්ත වූවාය. එහිදී ඇයට අසංක නම් තරුණ සිසුවෙකු මුණගැසුණි. ඔහු වංශවත් පොහොසත් පවුලක තරුණයෙකි. සමනලීගේ නිහඬ බවට ඔහු පෙම් කළේය.
දිනක් විශ්වවිද්‍යාල පුස්තකාලය අසලදී අසංක ඇයට තම කැමැත්ත ප්‍රකාශ කළේය.
“සමනලී, මම දන්නවා ඔයා ගොඩක් දුක් විඳපු කෙනෙක් කියලා. මම ඔයාටත් ඔයාගේ දරුවටත් ආදරෙයි. මට පුළුවන් ඔයාලව බලාගන්න. මගේ පවුලේ අයත් මේකට අකමැති වෙන එකක් නැහැ,” අසංක ආදරයෙන් පැවසීය.
“අසංක, ඔයාගේ ආදරයට ස්තුතියි. මගේ හිතේ දැන් තියෙන්නේ මගේ අරමුණ විතරයි. මට සමාවෙන්න.”
ඇය කිසිවිටෙකත් තමාට ලැබුණු සැප සම්පත් ඉදිරියේ නොසැලුණේ, ඇය සොයන සැබෑ සතුට තිබුණේ ධර්මය සහ අනුන්ට සේවය කිරීම තුළ බව ඇය වටහාගෙන සිටි බැවිනි. ඇය වසර පහක් පුරා දියණිය වඩාගෙන පාඩම් කළාය. ආරාමයේ ලැබූ අනුශාසනා ඇයට ජීවිතය දිනීමට පන්නරයක් විය.
වසර ගණනාවකට පසු, සමනලී සිය පළමු පත්වීම ලැබුවේ ඇය එදා නෙරපා දැමූ සිය උපන් ගමටමය. අද ඇය ‘සමනලී’ නොව, මුළු ගමම ගරු කරන ‘දොස්තර නෝනා’ ය. ඇය ගමේ රෝහලේ සේවය කරමින් අසරණ රෝගීන්ට දේවතාවියක බඳු වූවාය.
යළිත් අවුරුදු දවසක් උදා විය. වලව්වේ සුරන් පුංචි හාමුගේ බිරිඳ දරු ප්‍රසූතිය සඳහා දැඩි ලෙස රෝගාතුර වී සිටියාය. වලව්වට කිසිදු පෞද්ගලික දොස්තරවරයෙකු පැමිණියේ නැත.
“හාමු, අලුතින් ආපු දොස්තර නෝනාට පණිවිඩයක් යවමුද? ගමේ වෙන දොස්තර කෙනෙක් නෑ!” වලව්වේ වැඩකාරයා කලබලයෙන් ඇසීය.
වහාම ක්‍රියාත්මක වූ සුරන්, වැඩකරුවෙකු සමනලීගේ නිවසට යැවීය. වලව්වට එන ලෙස කළ ඉල්ලීම ඇසූ සැණින් සමනලීගේ මව තිගැස්සුණාය. අතීතයේ කටුක මතකයන් ඇගේ හදවත පසාරු කරගෙන ගියේය.
“එපා දුවේ… අපිට වතුර ටිකක්වත් නොදුන්න, අපිට පයින් ගහලා පන්නපු ඒ කාලකණ්නි වලව්වට ආයේ යන්න එපා! රාලහාමි අපිට කරපු අපරාධ මතක නැද්ද?” ඇය කඳුළු පිරුණු දෑසින් විරුද්ධ වුණාය.
නමුත් සමනලී සන්සුන්ව සිය වෛද්‍ය බෑගය අතට ගත්තාය. ඇය මවගේ අතින් අල්ලා ගත්තාය.
“අම්මේ, ආරාමයේ ලොකු මෙහෙණින් වහන්සේ අපිට ඉගැන්නුවේ මොකක්ද? ‘නහී වේරේන වේරානී’ – වෛරයෙන් වෛරය නොසංසිඳේ. මම දැන් දොස්තර කෙනෙක්. මගේ ඉස්සරහා ඉන්නේ රෝගියෙක් විතරයි. ඒ රෝගියා මගේ පරම හතුරෙක් වුණත්, ඒ ජීවිතය බේරාගන්න එක මගේ වගකීම. මම යන්න ඕනේ අම්මේ.”
සමනලී වලව්වට යන විට එහි තිබුණේ මළගෙයක සිරියාවකි. වලව්වේ සේසතම තිබුණත් මිනිසුන් හිටියේ අසරණ වෙලාය. රාලහාමිගේ බලය පිරිහී, දෑස අන්ධ වී, ඔහු පුටුවකට වී කෙඳිරිගාමින් සිටියේය. සුරන් හාමු බිරිඳගේ වේදනාව හමුවේ හඬමින් සිටියේය.
සමනලී වහාම කාමරයට වැදී සටනක් දුන්නාය. පැය කිහිපයක ඇගේ වෛද්‍ය නිපුණත්වයෙන් පසු, අලුත උපන් පුංචි පුතෙකුගේ හඬ වලව්ව පුරා රැව් දුන්නේය. මවගේ පණ ද බේරුණි.
වැඩ අවසන් කර එළියට පැමිණි ඇය, “දරුවා බේරුණා… බිරිඳටත් දැන් සුවයි” යැයි පවසද්දී සුරන් දෑස් ඔසවා බැලුවේය. ඒ කටහඬ… ඒ දෑස්… ඔහුට අතීතය සිහිපත් කළේය.
“සම… සමනලී? ඒ ඔයාද? දොස්තර නෝනා කියන්නේ ඔයාට ද?” සුරන් ගොත ගසමින් ඇසුවේය.
පශ්චාත්තාපයෙන් පිරුණු, අන්ධ රාලහාමි අමාරුවෙන් නැඟී සිටියේය. “දොස්තර නෝනේ… මට සමාවෙන්න. එදා මම කරපු වැරැද්දට මට අද දඬුවම් ලැබිලා ඉවරයි. මට සමාවෙන්න දුවේ…”
සමනලී මඳ සිනහවක් පෑවාය. ඇගේ සිතේ කිසිදු වෛරයක් තිබුණේ නැත. “මම ආවේ මගේ රාජකාරිය කරන්න විතරයි. මම යන්නම්.”
ඇය ආපසු නිවසට යන විට, ඇගේ කුඩා දියණිය මිදුලේ සෙල්ලම් කරමින් සිටියාය. දියණියගේ මුහුණේ තිබුණේ සුරන්ගේම සේයාව වුවත්, ඇගේ ගතිගුණ හැඩගැසී තිබුණේ ආරාමයේ ශාන්ත බවෙනි.
“අම්මේ… අම්මේ… ඉක්මනට එන්න. අද අවුරුදු නේද?” දියණිය දිවවිත් සමනලීව බදාගත්තාය.
සමනලී දියණිය පපුවට තුරුළු කරගත්තාය. ඈතින් ඇසෙන කොහාගේ නාදය දැන් ඇයට වේදනාවක් නොවේ. එය ජයග්‍රහණයේ රාවයකි.
“ඔව් දුවේ… අද තමයි නියම අවුරුද්ද.”
TEXT – හිරුෂිකා ප්‍රියදර්ශනි
