Monday, April 20, 2026
Epaper
Home විශේෂාංගමිනිස් ඉතිහාසයේ යෝධ පිම්මකට සැරසෙන සඳ කුමරිය

මිනිස් ඉතිහාසයේ යෝධ පිම්මකට සැරසෙන සඳ කුමරිය

by Shanaka Lakehouse

මානව ඉතිහාසයේ තවත් එක් යෝධ පිම්මකට පියවර තබමින් පසුගියදා නාසා ආයතනය විසින් සාර්ථක සඳ මෙහෙයුමක් අවසන් කරන ලදි. ආටෙමිස් 2 වැනි මෙහෙයුම වූ එහිදී සිව් දෙනකුගෙන් යුත් මිනිස් කණ්ඩායමක් සඳ වටා ගමන් කර නැවත නිරුපද්‍රිතව පෘථිවියට පැමිණියහ. ඔවුන් සියලු දෙනා එහිදී ගමන් කළේ ඔරායන් නම් යානයෙනි. එහි පළමු පියවර 2022 වසරේ ආටෙමිස් 1 මෙහෙයුම හරහා සිදු වූ අතර එහිදී මිනිසුන් රහිත අභ්‍යවකාශ යානයක් සඳ වටා සාර්ථකව ගමන් කරන ලදි. ආටෙමිස් මෙහෙයුමේ තෙවැනි පියවර 2028 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එහිදී වසර 56කට පසුව නැවතත් මිනිසා සඳ මත පා තැබීමේ යෝධ උත්සාහය ජය ගනු ඇත.

මිනිසා පළමු වරට සඳ තරණය කළේ 1969 වසරේදී ඇපලෝ 11 මෙහෙයුම හරහාය. නීල් ආම්ස්ට්‍රෝන්, එඩ්වින් ඕල්ඩ්‍රින්, මයිකල් කොලින්ස් එම යෝධ ගමනෙහි සාඩම්බර ගමන්කරුවෝ වූහ. 1969 වසරේ අමෙරිකාවේ නාසා ආයතනය සිදු කළ මෙම සඳ ගමනින් අනතුරුව තවත් සඳ මෙහෙයුම් කිහිපයක්ම ක්‍රියාත්මක විය.

අවසන් වරට සඳ මතට මිනිසුන් ගොඩබැස්සේ 1972 වසරේදීය. ඒ සියල්ලටම සහභාගි වූයේ පිරිමින් වන අතර මේ වනතුරු කිසිදු සඳ ගමනකට කාන්තාවක් සහභාගි වී නැත. කෙසේ නමුත් ඉතිහාසය වෙනස් කරමින් 2028 වසරේ ආටෙමිස් 3 සඳ මෙහෙයුම යටතේ කාන්තාවක් සඳ මතට ගොඩබැසීමට නියමිතය. අමෙරිකානු ජාතික ක්‍රිස්ටිනා කෝච් ඒ වෙනුවෙන් මේ වන විටත් සූදානමින් පසු වන්නීය.

ඇය පසුගියදා ආටෙමිස් 2 මෙහෙයුම හරහා සඳ වටා ගමන් කිරීමට වාසනාව උදා කරගත්තාය. ඒ අනුව සඳ වටා ගමන් කළ ලොව පළමු කාන්තාව ලෙස ඇය මේ වන විටත් අභිෂේක ලබා ඇත. මේ වන විට 47 වැනි වියෙහි පසුවන ක්‍රිස්ටිනා ඉංජිනේරුවරියක ලෙස මෙන්ම නාසා ආයතනයේ ගගනගාමිනියක ලෙසද කටයුතු කරන්නීය. ඇය සමඟ මෙම ගමනට තවත් ගඟනගාමීහු තිදෙනෙක් එක් වූහ. ඒ අනුව වික්ටර් ග්ලෝවර්, රීඩ් වයිස්මන් සහ ජෙරම් හැන්සන්, ක්‍රිස්ටිනා සමඟ මෙම ගමනට එක් වූහ. ක්‍රිස්ටිනා කෝච් අභ්‍යවකාශ විද්‍යාව හැදෑරීම ආරම්භ කරන්නේ 2001 වසරේදීය. ඒ වන විට ඇය 22 වැනි වියෙහි පසු වූවාය. නාසා ඇකඩමි වැඩසටහන හරහා උපාධි අධ්‍යාපනයට පිවිසෙන ඇය එහිදී අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ උපාධිය සම්පූර්ණ කළාය. ඒ අතරතුර ඇය තාරකා භෞතික විද්‍යා රසායනාගාරයක විදුලි ඉංජිනේරුවරියක ලෙසද කටයුතු කරන්නීය. 2004 – 2007 කාලවකවානුවේ ඇය එක්සත් ජනපදයෙන් ක්‍රියාත්මක කළ ඇන්ටාක්ටික් වැඩසටහනේ පර්යේෂණ සහායිකාවක ලෙස සේවය කළාය.

ක්‍රිස්ටිනා, නාසා ආයතනයේ සේවයට එක් වන්නේ 2013 වසරේදීය. ඒ අනුව ඇස්ට්‍රොනට් 21 කණ්ඩායමෙහි ඇය කටයුතු කළාය. 2015 වසර දක්වා එහි පුහුණු සේවයේ යෙදෙන ඇය එහිදී අභ්‍යවකාශයේ ඇවිදීම, රොබෝ විද්‍යාව, පියාසැරි කිරීම් ආදි ක්‍රියාකාරකම් පුහුණු වූවාය. 2019 වසරේදී ක්‍රිස්ටිනා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සෝයුස් එම්. එස්. 11 ගවේෂණ කණ්ඩායම සමඟ එක් වූවාය. ඒ අනුව කෝච්ට නියමිත වූ පළමු ගවේෂණය ඇයගේ අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයේ දෝෂයක් නිසා මඟහැරී ගියේය. කෙසේ නමුත් මාස හයකින් අනතුරුව ඇය සිය පළමු අභ්‍යවකාශ චාරිකාව සිදු කළාය. ඇය දින 328ක් මෙම මෙහෙයුම සමඟ සම්බන්ධ වී සිටියාය. ඒ අනුව ක්‍රිස්ටිනා දීර්ඝතම කාලයක් අභ්‍යවකාශයේ ගත කළ කාන්තාව ලෙස එහිදී වාර්තා පොත් අලුත් කිරීමද විශේෂත්වයකි.

නාසා ආයතනය පසුගියදා සම්පූර්ණ කළ ආටෙමිස් 2 වැඩසටහනේ මූලික කාර්යය වූයේ සඳ වටා ගමන් කරමින් එහි තොරතුරු ගවේෂණය කිරීමයි. මෙම මෙහෙයුම් යානාව දින 10ක් පුරා සඳ වටා ගමන් කළේය. මෙහි මෙහෙයුම් කාර්ය මඬුල්ලට ක්‍රිස්ටිනා එක් වූයේ මෙහෙයුම් විශේෂඥවරියක ලෙසය.

1979 ජනවාරි මස 29 වැනිදා අමෙරිකාවේ මිචිගන්හි උපන් ක්‍රිස්ටිනා කුඩා කල සිටම ගඟනගාමිනියක් වීමේ බලාපොරොත්තුවෙන් පසුවූවාය. පාසල් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසුව ඩර්හම්හි උතුරු කැරොලිනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබන ක්‍රිස්ටිනා එහිදී විද්‍යාවේදී උපාධි දෙකකට හිමිකම් කීවාය. විවාහක කාන්තාවක් වන ක්‍රිස්ටිනා මේ වන විට සිය සැමියා, රොබට් කෝච් සමඟ අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ නිවෙසක ජීවත් වෙයි. ඔවුන් දෙදෙනාට රොබට් ජේම්ස් කෝච් නමින් සිඟිති පුතණුවෙක් වෙයි. ඔහුගේ වයස අවුරුදු තුනහමාරක් පමණ වෙයි.

ලෝකයේ කිසිදු කාන්තාවක් නොකළ කාර්යයක් ඇය විසින් මේ වන විටත් ඉටුකර තිබේ. ඉන් අනතුරුව නාසා ආයතනයේ මෙන්ම ඇගේද මීළඟ අපේක්ෂාව වන්නේ සඳ තරණය කිරීමයි. එම අපේක්ෂාව ඉටු වීම ක්‍රිස්ටිනාගේ පමණක් නොව ලොව දිවි ගෙවන සෑම කාන්තාවක්ම ලබන ජයග්‍රහණයක් බව සඳහන් කළ යුතුය.

ක්‍රිස්ටිනා පමණක් නොව මෙම සඳ මෙහෙයුමේදී තවත් කාන්තාවක් ලොව කිසිදු කාන්තාවක් නොපිහිටුවූ වාර්තාවකට හිමිකම් කියයි. චාලි බ්ලැක්වෙල් තොම්සන් නම් ඇය ආටෙමිස් මෙහෙයුමේ ප්‍රක්ෂේපණ ප්‍රධානී ලෙස (Launch Director) කටයුතු කරයි. ඇය 2022 වසරේ ආටෙමිස් 1 මෙහෙයුමේද ප්‍රක්ෂේපණ ප්‍රධානී ලෙස කටයුතු කළාය. ඒ අනුව නාසා ඉතිහාසයේ පළමු කාන්තා ප්‍රක්ෂේපණ ප්‍රධානී ලෙස ඇය වාර්තා පොත් අතරට එක් වූවාය. මෙම මෙහෙයුම් නිවැරදිව සිදු කිරීම සඳහා ඇයගේ දායකත්වය අතිමහත්ය.

 

TEXT – ආර්. පී. මිහිරාන්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?