Monday, May 18, 2026
Epaper
Home ගෘහ අලංකරණයඅාලින්දෙට නව පෙනුමක්

අාලින්දෙට නව පෙනුමක්

by Shanaka Lakehouse

වර්තමානයේ බොහෝ දෙනා තම කාර්යබහුල ජීවන රටාව මධ්‍යයේ වුවද, නිවෙසේ අලංකාරය සහ මනසට සහනයක් ලබා ගැනීම සඳහා ගෘහස්ථ ශාක (Indoor Plants) වගා කිරීමට වැඩි උනන්දුවක් දක්වති. මේ සඳහා වෙළෙඳපොළේ ඇති මිල අධික මල් පෝච්චි මිලදී ගැනීමට වඩා, අප නිවෙසින් ඉවතලන විවිධ ද්‍රව්‍ය නිර්මාණශීලීව යොදා ගැනීමෙන් ඉතා අඩු පිරිවැයකින් අපූරු පෙනුමක් ගොඩනඟා ගත හැකිය.

සාමාන්‍යයෙන් අප ඉවතලන පොල් කටු, හිස් වීදුරු බෝතල්, මැටි මුට්ටි සහ සැමන් ටින් වැනි ද්‍රව්‍ය මඳක් වෙනස් කර බැලූ විට ඒවා ඉතා වටිනා බඳුන් බවට පත් කළ හැකිය.

වීදුරු බෝතල්

හිස් වීදුරු බෝතල්වලට ජලය පුරවා මනිප්ලාන්ට් වැනි ශාක බහා තැබීමෙන් සාලයට හෝ කෑම මේසයට නව එළියක් ලැබේ. බෝතල් මතුපිට විවිධ වර්ණ ගැන්වීමෙන් හෝ විවිධ මුහුණු වැනි චිත්‍ර ඇඳීමෙන් ළමා කාමර සඳහා පවා සුදුසු අයුරින් ඒවා සකසා ගත හැකිය.

සැමන් ටින් සහ මැටි මුට්ටි

ඉවතලන සැමන් ටින් පිරිසුදු කර ඒවායේ දීප්තිමත් වර්ණ ආලේප කිරීමෙන් පසුව, කුඩා පතොක් වැනි ශාක සිටුවා ජනේල අසල තැබීමෙන් ඉතා ආකර්ෂණීය පෙනුමක් ලැබේ. එමෙන්ම පැරණි මැටි මුට්ටිවල මල් සහ වැල් මෝස්තර ඇඳීමෙන් ඒවාට කලාත්මක වටිනාකමක් එක් කළ හැකිය.

පොල් කටු

අපේ දේශීයත්වයට ගැළපෙන පොල් කටු බඳුන් ඔප දමා හෝ විවිධ කැටයම් යොදා අලින්දයේ එල්ලා තැබීමෙන් ස්වභාවිකත්වයට සමීප නිමාවක් නිවෙසට එක් වේ.

ආර්ථික වාසි සහ මානසික තෘප්තිය

මෙලෙස නිවෙසින් බැහැර කරන ද්‍රව්‍ය භාවිත කිරීමේ ප්‍රධානම වාසිය වන්නේ මල් බඳුන් සඳහා වැය වන විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වීමයි. තමන්ගේම දෑතින් නිර්මාණය කළ බඳුනක පැළයක් වර්ධනය වන අයුරු දැකීම තුළින් ලැබෙන මානසික සතුට අප්‍රමාණය.

අලින්දයට නව පෙනුමක්

නිවෙසේ අාලින්දයට හෝ බැල්කනියට පිවිසෙන අයකුට මෙවැනි නිර්මාණශීලී පෙනුමක් දැකගත හැකි වීමෙන් නිවෙස් හිමියාගේ රුචිකත්වය මැනවින් පිළිබිඹු වේ. එබැවින්, ඉවතලන ද්‍රව්‍ය කසළ බඳුනට නොදමා, ඒවායේ වර්ණ සහ හැඩතල යොදා ගනිමින් නීරෝගි පිරිසුදු පරිසරයක් සහිත නිවෙස අලංකාර කර ගැනීමට අප සැමට පෙලඹිය හැකිය. මෙය හුදෙක් අලංකරණයක් පමණක් නොව, පරිසර දූෂණය අවම කිරීමට ද දායක වන උදාර කටයුත්තකි.

 

TEXT – මධුර ප්‍රභාත් ගමගේ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?