Monday, June 1, 2026
Epaper
Home ගෘහ අලංකරණයකෑම මේසයට හරි අපූරු ස්ට්‍රෝබෙරි පැළයක්

කෑම මේසයට හරි අපූරු ස්ට්‍රෝබෙරි පැළයක්

by Shanaka Lakehouse

“උසස් පෙළ විභාගයට සූදානම් වෙන කාලයේ බිස්නස් එකක් කරන්න හිතුණා. එතකොට මගේ අම්මා රැකියාවක් කරමින් හිටියේ. ඉතින් එයාගේ පඩියෙන් සුළු මුදලක් ව්‍යාපාරයට දෙව්වා. සුබ පැතුම්පත්, කීටැග්, සෙරෙප්පු, කෘතිම මල් වර්ග හා ෆෙල්ට් නිර්මාණ හදන්න මං අමුද්‍රව්‍ය මිල දී ගත්තා. ඒ විදිහටයි මේ ගමන පටන් ගත්තේ.”

මේ කතාව කියන ඇය කොළඹ පදිංචි කිසාරා සේමිණී. සේවකයින් 6 දෙනකුගේ සහය ඇතිව ව්‍යාපාරය ගෙන යන ඇය අද ප්‍රමුඛ පෙළේ ආයතනවල සැපයුම්කාරිනියක්.

“මේ ගමන එන්න පහසු වුණේ නැහැ. උසස් පෙළ මම හොඳින් සමත් වුණ නිසා මට සරසවි වරම් ලැබුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණවේදී උපාධිය කරන අතරේදීම ව්‍යාපාර කටයුතුත් කරගෙන ගියා. ඉන්පසු මම වෙළෙඳපොළ සොයා ගියා. අද වන විට මාගේ ව්‍යාපාරයට වසර 8ක් ගත වෙලා. මේ වෙද්දි ප්‍රසිද්ධ වෙළෙඳසල් කිහිපයක්ම මගෙන් නිර්මාණ ගන්නවා. එවැනි ආයතනවල සැපයුම්කරුවෙක් නිසාම, මට තවත් අයට රැකියා අවස්ථා සලසා දෙන්නත් හැකියාව ලැබුණා.” ඒ ඇගේ කතාවයි. බිංදුවෙන් පටන් ගෙන ව්‍යාපාර ලෝකය ජයගත් ඇය අද ඔබටත් අත්වැලක් දෙන්න සූදානම්. ඒ ඇය හැදූ නිර්මාණයක් තරුණී වෙතින් ඔබටත් තිළිණ කරමින්. ඔබත් ව්‍යවසායිවක් වීමට සිහින දකින්නෙක් නම් මෙය අත්වැලක් කරගන්න.

දුම්කොළ පයිප්පවල ඇතුළත පිරිසුදු කිරීම සඳහා අතීතයේ යොදා ගත් පයිප් ක්ලීනර්ස් යොදා ගෙන කරන මෙවැනි නිර්මාණවලට වෙළෙඳපොළේ තියෙන්නේ ලොකු ඉල්ලුමක්. මේවා මෘදු කම්බි සහ කෙඳිවලින් යුක්ත නම්‍යශීලි අමුද්‍රව්‍යයක් නිසා පහසුවෙන් නිර්මාණ කරගන්නත් පුළුවන්. අද ගෙන එන්නේ පයිපිං කලාව උපයෝගි කරගනිමින් කරන අපූරු ස්ට්‍රෝබෙරි පැළයක් නිර්මාණය කර ගන්නා ආකාරයයි. මෙය කෑම මේසය සරසන්නත් කදිමයි.

අවශ්‍ය ද්‍රව්‍ය

පයිප් ක්ලීනර්ස් (රතු, ගොම කොළ, ළා කහ, සුදු, දුඹුරු)

මිලි මීටර් 4 ප්‍රමාණයේ බාග පබළු

කුඩා ප්ලාස්ටික් මල් පෝච්චියක්

ඩ්‍රයි ෆෝම් කැබැල්ලක්

ග්ලූගන් සහ ස්ටික්

කතුරක්

අඩි රූලක්

ලයිටරයක්

මහත ටූත්පික් එකක්

නිර්මාණය සාදා ගන්නා ආකාරය

ඡායාරූප දෙස බලා මෙම නිර්මාණය සැකසීම වඩාත් පහසු වේ.

ස්ට්‍රෝබෙරි ගෙඩිය සෑදීම

පියවර 1: රතු පැහැති පයිප් ක්ලීනර් කූරක් ගෙන සෙන්ට් මීටර් 5 ප්‍රමාණයට එය මැන ගන්න.

පියවර 2: දැන් එය සෙන්ට් මීටර් 5 ප්‍රමාණයට නවා ගන්න.

පියවර 3: එම පයිප් කූර සෙන්ට් මීටර් 5 ප්‍රමාණයට දිගටම නවාගන්න. (ගම් ගාමින් වකුටු ආකාරයට එය පෙත්තක හැඩයට සකසා ගන්න)

පියවර 4: ඒ ආකාරයට පෙති 5ක් සකස් කර ගන්න.

පියවර 5: සකස් කර ගත් පෙති 5 ස්ට්‍රෝබෙරි ගෙඩියේ හැඩයට එකිනෙක අලවා ගන්න.

ස්ට්‍රෝබෙරි ගෙඩියේ තැරිය සකස් කර ගැනීම

පියවර 1: කොළ පැහැති පයිප් ක්ලීනර්ස් කූරක් ගෙන සෙන්ට් මීටර් 3 ප්‍රමාණයට මැන එය නවාගන්න.

පියවර 2: නැවත එතැන් සිට සෙන්ට් මීටර් 2 ප්‍රමාණයක් මැන ගන්න.

පියවර 3: සෙන්ට් මීටර් 2 ප්‍රමාණයට මැන ගත් තැන සිට කූර අවසන් වන තෙක් බීක්කු ආකාරයට එය නවාගන්න.

පියවර 4: දැන් එම බීක්කු මුලින් අල්ලා එකින් එක අඹරවා ගන්න. අවසානයේ ගම් ආධාරයෙන් කුඩා මලක හැඩයට අලවා ගන්න.

පියවර 5: මලක හැඩයට සකස් කරගත් තැරිය ස්ට්‍රෝබෙරි ගෙඩියට අලවා ගන්න.

ස්ට්‍රෝබෙරි ගෙඩියේ පත්‍රය සාදා ගැනීම

පියවර 1: ටූත්පික් කූර ගෙන එය වටා කොළ පැහැති පයිප් කූර ඔතන්න.

පියවර 2: පයිප් කූර ටූත්පික් එකෙන් ගලවා ගන්න.

පියවර 3: ගලවා ගත් පයිප් කූර දෙපැත්තෙන් අදින්න.

පියවර 4: දැන් එම පයිප් කූර දෙකට කපන්න. (දෙකට කපා ගත් පයිප් කූර කොළ දෙකක වටේ සෑදීමට සෑහේ.)

පියවර 5: එම කපාගත් එක් කූරක් රවුමට සාදා අගිස් පටලවා ගන්න.

පියවර 6: රවුමට සාදා ගත් පයිප් කූර මැද වියා ගන්න.

පියවර 7: දැන් ඔබට රූපයේ පරිදි එක් පත්‍රයක් සාදා ගත හැකිය.

ස්ට්‍රෝබෙරි මල සාදා ගැනීම

පියවර 1: ලයිටරයක් ආධාරයෙන් සුදු පැහැති පයිප් කූර අඹරවා ගන්න.

පියවර 2: රූපයේ පරිදි බීක්කු ආකාරයට ලයිටරයෙන් ගලවා ගන්න.

පියවර 3: බීක්කු එකිනෙක නොගැලවෙන සේ අඹරවා ගන්න.

පියවර 4: අඹරවා ගත් බීක්කු 5 (පෙති) මලක ආකාරයට සකසා ගම්වලින් අලවා ගන්න. මැදට කහ පාටින් කුඩා පයිප් කොටසක් කපා රේණු ලෙස අලවා ගන්න.

ස්ට්‍රෝබෙරි ගෙඩියට පබළු අලවා එහි නිමාව සකස් කර ගන්න. සකසා ගත් මල්, කොළ, ස්ට්‍රෝබෙරි ගෙඩි කැමැති පරිදි සකස් කරගත් ඔබගේ පෝච්චියට සැරසිලි කරන්න.

මෙම අලංකාරවත් ස්ට්‍රෝබෙරි පැළය ඔබගේ කෑම මේසය විචිත්‍රවත් කරනවා මෙන්ම සිතටද සුවයක් ගෙන දේ.

 

TEXT – විදුමිණි දිසාකරුණා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?