ෆිකස් පුමිලා (Ficus pumila)
ෆිකස් පුමිලා නැඟෙනහිර ආසියාව නිජබිම කරගත් මල්බෙරි පවුලට (Moraceae) අයත් ශාකයකි. ‘පුමිලා’ යන ලතින් නාමයේ තේරුම ‘වාමන’ යන්නයි. මෙයට එම නම ලැබී ඇත්තේ එහි ඇති ඉතා කුඩා, හෘද හැඩැති පත්‍ර නිසාය. මෙය සදාහරිත වැල් වර්ගයකි. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ එහි කඳෙන් විහිදෙන කුඩා ගුවන් මුල් මඟින් නිපදවන ස්වාභාවික මැලියම් වැනි ද්‍රව්‍යයයි. මේ හරහා ඕනෑම රළු බිත්තියක්, ගලක් හෝ ලී මතුපිටක් මත ඉතා තදින් ඇලී සිටීමට මෙම ශාකයට හැකියාව ලැබේ. තරුණ අවධියේදී ඉතා කුඩා පත්‍ර ඇති මෙම ශාකය, පරිණත වන විට තරමක් විශාල සහ ඝන පත්‍ර නිපදවයි. මෙය ගෘහස්ථව කුඩා බඳුන්වල අලංකාරයට මෙන්ම, එළිමහනේ විශාල තාප්ප සම්පූර්ණයෙන්ම වසා ගැනීමට බහුලව යොදා ගැනේ. ෆිකස් පුමිලා විශේෂයක් වන වරිගාටා (Variegata) වැනි ප්‍රභේදවල පත්‍ර සුදු සහ කොළ මිශ්‍ර වර්ණයෙන් යුක්ත වන බැවින් ඒවා ඉතා ආකර්ෂණීය වේ.
වගාව සහ නඩත්තුව: ෆිකස් පුමිලා ශාකයේ සශ්‍රීක වර්ධනය උදෙසා නිසි සත්කාරය හා පරිසර තත්ත්වයන් පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. දීප්තිමත්, වක්‍ර හිරු එළියට වැඩි ප්‍රියතාවක් දක්වයි. සෙවණ සහිත ස්ථානවල ද මෙය හොඳින් වැඩේ. පූර්ණ හිරු එළිය ලැබෙන විට ශාකය වඩාත් ඝනව හා කෙටියෙන් වර්ධනය වනු දැකගත හැකිය. නිතිපතා ජලය දැමීම මඟින් පසෙහි තෙතමනය නිරන්තරයෙන් පවත්වා ගත යුතුය. විශේෂයෙන් 60%කට වඩා වැඩි ආර්ද්‍රතාවයක් පවතින විට මෙම ශාකය අතිශය සශ්‍රීකව වැඩේ. ඕනෑම සාමාන්‍ය පසක වගා කළ හැකි වේ. ශාකයේ නීරෝගි පැවැත්ම සඳහා හොඳින් ජලය බැස යන පොල් කොහු, අඟුරු සහ කොම්පෝස්ට් මිශ්‍ර වගා මාධ්‍යයක් භාවිත කිරීම වඩාත් සුදුසුය. ෆිකස් පුමිලා ශාකයේ කිරි යුෂ සංවේදී සමක් ඇති පුද්ගලයින්ට අසාත්මිකතා ඇති කළ හැකි වේ. ඒ නිසා කප්පාදු කිරීමේදී අත්වැසුම් භාවිත කිරීම වඩාත් සුදුසුය. එමෙන්ම බිඳෙන සුලු ද්‍රව්‍යවලින් කළ බිත්ති මත මෙය වැඩීමට ඉඩ හැරීමෙන් එම ව්‍යුහයන්ට හානි සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.
මැන්සෝවා ඇලියාසියා (Mansoa alliacea )
උතුරු දකුණු අමෙරිකාවට සහ බ්‍රසීලයට ආවේණික සුදුලූනු මල් හෙවත් මැන්සෝවා ඇලියාසියා, බිග්නෝනියාසී (Bignoniaceae) පවුලට අයත් අලංකාර නිවර්තන ලියානා විශේෂයකි. ඇමසන් වනාන්තරයේ වැසියන් අතර මෙය අජෝ සාචා ලෙස ප්‍රසිද්ධය. මෙයට එම නම ලැබී ඇත්තේ එහි පත්‍ර හෝ මල් පොඩි කළ විට සුදුලූනුවලට සමාන ප්‍රබල සුවඳක් වහනය වන බැවිනි. මීටර් 2 සිට 3 දක්වා උසකට වර්ධනය වේ. වසරකට දෙවරක් එනම් වසන්තයේ දී සහ සරත් සමයේ දී අතිශය බහුල ලෙස මල් හටගනී. මුලින් තද වයලට් හෝ දම් පැහැයෙන් පිපෙන මල්, කාලයත් සමඟ ක්‍රමයෙන් ළා දම් සහ සුදු පැහැයට හැරේ. මේ නිසා එකම මල් පොකුරක වර්ණ තුනක මල් දැකගත හැකි වේ. පටු පුනීල හැඩැති මැන්සෝවා ඇලියාසියා මල්වලින් මෘදු සුවඳක් ද විහිදේ.
වගාව සහ නඩත්තුව: මැන්සෝවා ඇලියාසියා වැලෙහි සශ්‍රීක වර්ධනය සඳහා උණුසුම් දේශගුණය සහ පූර්ණ හිරු එළිය අත්‍යවශ්‍ය වේ. එය තෙතමනය සහිත පසක වඩාත් හොඳින් වර්ධනය වේ. සාමාන්‍යයෙන් සති තුනකට වරක් පමණ ගැඹුරට ජලය දැමීම ප්‍රමාණවත් වුවද, ජලය දැමීමේ වාර දෙකක් අතරතුර පස මතුපිට වියළීමට ඉඩ හැරීම මඟින් මුල් කුණුවීම වළක්වා ගත හැකිය. එමෙන්ම, නව වර්ධනය ආරම්භ වීමට පෙර වසන්තයේ මුල් භාගයේදී මැරුණු හෝ දුර්වල කඳන් ඉවත් කර කප්පාදු කිරීම අවශ්‍ය වේ. මල් පිපී අවසන් වූ පසු සැහැල්ලුවෙන් කප්පාදු කිරීම මඟින් වැලෙහි හැඩය මනාව පවත්වා ගැනීමට හැකි වන අතර වායු සංසරණය වැඩි දියුණු වීමෙන් රෝග වැළැක්වීමටත් හැකියාව ලැබේ.
බෝගන්විලා (Bougainvillea)
ලොව පුරා ජනප්‍රිය විසිතුරු ශාකයක් වන බෝගන්විලා, නික්ටැගිනේසී (Nyctaginaceae) පවුලට අයත් වේ. මෙක්සිකෝව, බ්‍රසීලය සහ ආර්ජන්ටිනාව වැනි දකුණු අමෙරිකානු රටවලට ආවේණික මෙම ශාකය, මීටර් 1 සිට 12 දක්වා උසකට වර්ධනය වේ. කටු සහිත වැල්, පඳුරු හෝ කුඩා ගස් ලෙස දැකගත හැකිය. බෝගන්විලා ශාකයේ සැබෑ මල ඉතා කුඩා, සුදු පැහැති පුනීල හැඩැති එකකි. බෝගන්විලා මල් රෝස, දම්, රතු, තැඹිලි, සුදු හෝ කහ වැනි විවිධ වර්ණවලින් යුක්ත වේ. කඩදාසි වැනි සිහින් ස්වාභාවයක් ගන්නා නිසා මෙයට කඩදාසි මල ලෙස ද හඳුන්වයි.
වගාව සහ නඩත්තුව: ශ්‍රී ලංකාව වැනි නිවර්තන සහ උණුසුම් දේශගුණයක් සහිත ප්‍රදේශවල බෝගන්විලා ශාකය ඉතා හොඳින් වර්ධනය වේ. මෙය නිතර ජලය දැමීමට වඩා වියළි කාලගුණයක් පවතින විට වඩාත් සශ්‍රීකව මල් හටගන්නා ශාකයකි. ශාකය හොඳින් ස්ථාපිත වූ පසු සති 4-6කට වරක් ගැඹුරට ජලය දැමීම ප්‍රමාණවත් ය. පස මතුපිට වියළී තිබීමට ඉඩ හැරීම මඟින් මල් පිපීම තවදුරටත් උත්තේජනය වේ. එසේම, මෙම ශාකය වැලක් ලෙස කණුවක් වැනි ආධාරක ව්‍යුහයන් අවශ්‍ය වන අතර අඩි 40ක් දක්වා උසකට ළඟා විය හැකි වේ. ව්‍යුහාත්මක හානි වළක්වා ගැනීම සඳහා විශේෂයෙන් නිවෙසේ බිත්ති, තාප්පවලින් ඈත්ව හැඩගැස්වීමට නිරන්තර පුහුණුවක් සහ කප්පාදු කිරීමක් අවශ්‍ය වේ. එසේම බෝගන්විලා ශාකයේ හැඩය පවත්වා ගැනීමට, ප්‍රමාණය පාලනය කිරීමට මෙන්ම ඝන වර්ධනය ප්‍රවර්ධනය කිරීමට මල් පිපී අවසන් වූ පසු හොඳින් කප්පාදු කළ යුතුය.
TEXT – ඩිල්කි සමරනායක
