Covid - 19 Positive වුණත් නැතත් ඔබ මේ ලිපිය කියවිය යුතුමයි

මැයි 12, 2021

 

රෝහල් ගත වීමකදී හෝ නිරෝධායන මධ්‍යස්ථානයකට යා යුතු වුවහොත් සූදානම් කර තබා ගත යුතු ගමන් මල්ල

කොරෝනා Positive නම් කළ යුතු දේ...

 

 දින 14 ක කාලය නිම කළ පසු ප්‍රදේශයේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියා විසින් ලබා දෙන වෛද්‍ය සහතිකය ලබා ගැනීම අත්‍යාවශ්‍ය පියවරකි. එය තමා සේවය කරන ස්ථානයට ලබාදීමට වැදගත් වන අතර ආරක්ෂිතව තමුන්ගේ දෛනික කටයුතු සුපුරුදු ලෙසින් සිදු කිරීමට ඔබට අවස්ථාව උදාවෙනු ඇත.

 

ඔබට හෝ ඔබගේ පවුලේ අයකුට කෝවිඩ් ලක්ෂණ මතු වූ විට කළ යුතු පළමු පියවර වන්නේ ළඟම ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට දැනුම්දීමයි. එම අංකය සොයා ගැනීමට අපහසු නම් ඔබ 1999 අංකයට හේ 1990 සුවසැරිය ගිලන් රථ සේවයේ උපකාරය ලබාගත යුතු වේ.

මෙයට අමතරව රජයේ රෝහල්වලට අමතරව පෞද්ගලික අංශයේ රසායනික පර්යේෂණ මධ්‍යස්ථාන 5 ක් සඳහා ද PCR පරීක්ෂණ සඳහා මේ වන විට අවසර ලබාදී තිබේ.

බොහෝ අය රෝග ලක්ෂණ මතුවීම නිසා හෝ සැකය මත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව හෝ PCR පරීක්ෂණය සිදු කරයි. එලෙස පරීක්ෂණ කළ පසු ආසාදිතයකු බව තහවුරු වුවහොත්, එම පර්යේෂණාගාරයෙන් දැන්වීමටත් පෙර ඔබ ළඟම මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට දැනුම්දීම කළ යුතුම ක්‍රියාවකි.

දෙවැනි පියවර ලෙස එම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මඟින් දිස්ත්‍රික් වසංගත රෝග කාර්යාලය වෙත යැවීම කඩිනමින් සිදුකරන කටයුත්තකි.

ඒ අතරතුර එම නිවෙස නිරෝධායනය කරනු ලබන අතර ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීම ද ඔවුන් විසින් ඉතා ඉක්මනින් සිදු කරනු ලබයි. ඉන්පසුව ඔබ කළ යුත්තේ ලැබෙන උපදෙස් අනුව කටයුතු කිරීමයි.

ඔබට කොරෝනා රෝග ලක්ෂණ තිබේ නම් ඒ අතුරින් හුස්ම ගැනීමේ අපහසුව පිළිබඳ වඩාත් ප්‍රමුඛත්වය ලබා දෙන ලක්ෂණයයි.

ඒ අනුව අදාළ නිලධාරින් විසින් ළඟම ඇති රෝහලකට යොමු කිරීමට කටයුතු කරයි.

මෙලෙසින් රෝහල්ගත කිරීම කරන තුරු ඔබ නිවෙසේ රැඳී සිටීම අනිවාර්යෙන් කළ යුතු අතර අසල්වැසියන් ඇසුරු කිරීම හා ඔවුන් නිවෙසට ගෙන්වා ගැනීම නොකළ යුතුම දෙයකි.

ඒ සඳහා නිවෙස ඉදිරිපස වැට කඩුළු, ගේට්ටු වසා අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි මහතා ද දැනුවත් කළ යුතු වෙයි.

ඉන් පසුව පොලීසිය මඟින් පරීක්ෂා කළ පසු රෝහල්ගත කිරීම සිදු කරනු ලබයි.

 

රෝහල් ගත කිරීමේදී හෝ නිරෝධායන මධ්‍යස්ථානයකට යාමේදී තිබිය යුතු අත්‍යාවශ්‍ය දේ ඇතුළත් ගමන් මල්ල

මෙසේ රෝහල්ගත කිරීමේදී හෝ නිරෝධායනය සඳහා යාමකදී තමුන්ගේ අවශ්‍යතාවය මත ගමන් මල්ලක් සකස් කර ගැනීම ඔබට පහසුවකි. සාමාන්‍යයෙන් සංකූලතා ඇති නොවුණහොත් PCR කළ දිනයේ සිට දින 10 ක කාලයක් ඔබ නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටිය යුතු වේ.

 

එසේ සිටීමට ප්‍රමාණවත් තරම්

* සැහැල්ලු ඇඳුම්, කොට්ටයක්, බේඩ් ෂීට් එකක්, පනාවක්

* ඔබ සායනයකට සහභාගිවනවා නම් ඒ සඳහා රැගෙන යන කාඩ්පත්, පොත්, පරීක්ෂණ වාර්තා, දිනපතා ගන්නා බෙහෙත් වර්ග (සති දෙකකට ප්‍රමාණවත් තරම් රැගෙන යන්න.)

* ජාතික හැඳුනුම්පත සහ හදිසි අවශතාවයකදී කතා කළ හැකි, සම්බන්ධ කරගත හැකි දුරකතන අංක දෙකක් සහ ලිපිනයන්.

* මාස්ක් (මුහුණු ආවරණ දිනකට එක බැගින් හෝ), ෆේස් ශීල්ඩ්, කුඩා සැනිටයිසර් බෝතලයක්.

* ජංගම දුරකතනය හා චාජරය

* සෙරෙප්පු කුට්ටමක්, පිඟානක්, කෝප්පයක්, හැන්දක්, බරුසුව, දත් බෙහෙත්, සබන්.

* කියවීමට පොත් පත් කීපයක්.

* කාන්තාවක් නම් සනීපාරක්ෂක තුවා, දරුවන් සමඟ මධ්‍යස්ථානයට යනවා නම් දරුවාට අවශ්‍ය සෙල්ලම් බඩු, පොත්පත් ඩයපර්ස් රැගෙන යන්න අමතක කරන්න එපා.

* මුදල් ප්‍රමාණයක් (අවශ්‍යතාවයකට ගැනීමට)

* අවශ්‍ය නම් ටෝච් එකක්, ඉටිපන්දමක්

 

මෙවැනි ස්ථානයක තබාගත හැක්කේ කුඩා බඩු ප්‍රමාණයකි. ඒ නිසා ඔබට අත්‍යාවශ්‍යම දේ පමණක් රැගෙන යන්නට කටයුතු කළයුතුයි. මෙසේ දින 10 ක් ආසාදිත දිනයේ පටන් රෝහලේ තබා ගැනීම සිදු කරනු ලබයි.

ඉන්පසුව දින 04 ක් නිවෙසේ ගත කළ යුතු වෙයි.

සාමාන්‍යයෙන් ඔබට ලබාදෙන උපදෙස් පිළිපැදිය යුතු අතර නිවෙසේ ආරක්ෂිතව අන් අය සමඟ නොගැටී දින 04 කාලය ගත කළ යුතු අතර ඒ අතරතුර කාලයකදී ආශ්‍රිතයන් පරීක්ෂණයට ලක් කිරීම මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

මෙම දින 14 ක කාලය නිම කළ පසු ප්‍රදේශයේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියා විසින් ලබා දෙන වෛද්‍ය සහතිකය ලබා ගැනීම අත්‍යාවශ්‍ය පියවරකි.

එය තමා සේවය කරන ස්ථානයට ලබාදීමට වැදගත් වන අතර ආරක්ෂිතව තමුන්ගේ දෛනික කටයුතු සුපුරුදු ලෙසින් සිදු කිරීමට ඔබට අවස්ථාව උදාවෙනු ඇත.

 

 

උපදෙස් -

වී. එම්. එම්. බාලසූරිය

(ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම්)