කාමර නිසි අයුරින් ස්ථානගත කිරීමෙන් උදාවන වාසනාව

ජුනි 24, 2024

නිවෙසක අලංකාරය හා සුන්දරත්වය වැඩි වන්නේ එම නිවෙසේ සාලය, මුළුතැන්ගෙය, නාන කාමරය පමණක් නොව අනෙකුත් කාමර ද නිසි අයුරින් ස්ථාපිත කිරීමෙනි. වාස්තු විද්‍යාවේදී නිදන කාමර සඳහා ප්‍රමුඛත්වයක් හිමි වෙයි. මෙලෙසින් කාමර නිසි දිශාවට ගැළපීමද විද්‍යාත්මක පදනම අනුව ඉතාම වැදගත් සිද්ධාන්තයකි. ජීවනාථ බ්‍රාහ්මණ පඬිවරයා ලියු වාස්තු රත්නාවලියේ මෙය වඩාත් හොඳින් විග්‍රහ කරනු ලබයි. විශ්ව කර්ම පඬිවරයාගේ විශ්ව කර්ම ප්‍රකාශනයේ ද මෙය සඳහන්ව තිබේ.

කාමර ස්ථානගත කිරීම පිළිබඳ විවිධ අර්ථකථන තිබුණත් එය අපට පහසුවෙන් අවබෝධ කරගත හැකි ක්‍රමය වන්නේ දිසානුගතව එය විග්‍රහ කිරීමයි. දිසා අනුව කාමර ස්ථානගත කිරීමේදී ප්‍රධාන දිසා, අනූ දිසා, අනුදිසා ලෙස වර්ග තුනකට දක්වයි. ඒ අනුව අප සාමාන්‍යයෙන් දිසා අටකට ගනු ලබන අතර කාමර ප්‍රමාණය වැඩිවීමේදී එය දිසා සහ අනු දිසා ද, අනු දිසා අතර කොටස් වශයෙන් ගැනීමේදී කොටස් 16ක් දක්වයි. ඒ අනුව

 

* උතුර - ධනයට අයත් වටිනා දේ රැස් කළ ගෙය

* උතුර සහ ඊසාන අතර - ඔසු ගෙය (බෙහෙත් ගෙය)

* ඊසාන - බුදු මැදුර, වැඳුම් පිඳුම් කරන ස්ථානය

* ඊසාන සහ නැ‍ෙඟනහිර අතර - අනෙකුත් දිසාවලට අයත් නොවන දෙර්කානය

* නැඟෙනහිර - නාන ගෙය (නාන කාමරය)

* නැඟෙනහිර ගිනිකොන අතර - මථනගෙය (මෝරු සාදන ගෙය)

* ගිනිකොන - කුස්සිය

* ගිනිකොන දකුණු අතර - ගිතෙල් සාදන ගෙය

* දකුණ - නිදන ගෙය

* දකුණ නිරිත අතර - වැසිකිළිය

* නිරිත - ආයුධ තබන ගෙය

* නිරිත බටහිර අතර - විද්‍යාමාන ගෙය (පාඩම් කරන ස්ථානය)

* බටහිර - භෝජනාගාරය (කෑම කාමරය)

* බටහිර වයඹ අතර - ශෝක ගෙය ( මළමිනී තබන ස්ථානය)

* වයඹ - ධාන්‍ය ගෙය

* වයඹ උතුර අතර - රතී ගෙය

 

අතීතයේ කාමරවල සිදුකරන ක්‍රියාවන් හඳුන්වන ලද්දේ ගෙය ලෙසය. ගෙදරට ගෙය ලෙස භාවිත කළ ද නිවෙසේ කටයුතුවලට අදාළව දැක්වීමේදී එය ගෙය ලෙස හඳුන්වයි.

මෙහි කාමර අතර ආයුධ ගෙයක් ලෙස ද නම්කර තිබේ. නිවෙසේ උදලු, පොරෝ, මන්නා කැති හා නිවෙස පිරිසුදු කරන උපකරණ මෙහි ගබඩාකර තබයි. මෙලෙසින් හඳුන්වන අායුධ ගෙය වර්තමානයේ ගබඩා කාමරය ලෙසින් හඳුන්වයි. අප රටේ නිවාස සෑදීමේදී භාවිතා කරන්නේ ප්‍රධාන දිසා 4 සහ අනු දිසා 4 බව සඳහන් වන්නේ කාමර ප්‍රමාණය අඩු බැවිනි. ඒ නිසා අප රටේ ප්‍රධාන දිසා අට හොඳින් ගැළපේ. අප රටේ කාමර ප්‍රමණය අනුව

* උතුර - ධාන්‍ය තැන්පත් කරන ගෙය

* ඊසාන - දේවාලය හෝ බුදුගෙය

* නැඟෙනහිර - නාන කාමරය

* ගිනිකොන - මුළුතැන්ගෙය

* දකුණ - නිදන කාමරය

* බටහිර - කෑම කාමරය

* වයඹ - ධාන්‍ය ගබඩාව

 

දිසා 16කට වෙන් කළ නිවාස සෑදීම අසීරු කටයුත්තකි. මේ දිසා 16කට බෙදා නිවාස පවතින්නේ ඉන්දියාවේ ධනවත් මාළිගාවලය. එම මාළිගාවල කාමර විශාල ප්‍රමාණයකි. එසේම මේ නිවාස බ්‍රහ්මයන්ගේ කුලීවලට අයත් පවුල්වල සාමාජිකයන් පදිංචිව සිටියි. එසේම ඉන්දියාවේ කුල අනුව නිවෙස වෙන් කිරීම ද පැවැති ක්‍රමයකි. මේ ක්‍රමය බෞද්ධ ධර්මය පැමිණීමත් සමඟ නිලීන විය. නමුත් අපේ රටේ ද මේ අභාෂය තුළ තැනූ වලව් විශාල ප්‍රමාණයක් වෙයි. එම වලව්වල කාමර විශාල ප්‍රමාණයක් විය.

 

එහෙත් වර්තමානයේ නිවෙසක් තැනීම සඳහා විශාල වියදමක් වැය වෙයි. ඒ නිසා විශාල කාමර ප්‍රමාණයක් සෑදීම මුදල් නාස්තියකි. සාමාන්‍යයෙන් පවුලක සිටින සංඛ්‍යාව හා අනාගතයේදි දරුවන්ට ප්‍රයෝජනවත් පරිදි නිවෙසක් තනා ගත යුතුය. අනවශ්‍ය පරිදි විශාල නිවෙසක් තැනීමෙන් එය නඩත්තු කිරිමේදී මුදලක් වැය වෙයි. ඒ නිසා අප සැලසුම්සහගතව මේ කටයුත්ත කළ යුතුය. ඇතැම් විට අදාළ කාමරය අදාළ දිසාවට අනුවම දිසානුගත කිරීමේදී ගැටලු ඇති වෙයි. ඒ සඳහා ප්‍රවීණ වාස්තු විද්‍යා උපදේශකයකුගේ උපදෙස් ලබාගැනීම වඩාත් වැදගත්ය.

 

උපදෙස් -

ප්‍රවීණ ජ්‍යෝතිෂ්ශාස්ත්‍රඥ, වාස්තු විද්‍යා උපදේශක

ධර්මපාල සොන්දරප්පෙරුම ආරච්චි