වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
හිස සරසන්නට මලක් හදමු අපි
රෝස හා රතු වර්ණ රිබන් හරි අපූරු මලක් ලෙස හැඩ වී ඇති අරුමයයි මේ. සිඟිති දෝණිගේ හිස සරසන්නට එය කදිමයි. හැඩවැඩ ඇති මේ මල රිබන්වලින් ඔබත් මෙලෙස සකසා ගන්න.
අඟල පළල රතු පාට සැටින් රිබන්
අඟල පළල රෝස පාට සැටින් රිබන්
කොළ පාට අඟල පළල සැටින් රිබන්
හොට් ග්ලූගන්
ෆෙල්ට් රෙදි කොටසක්
බූල් බෑන්ඩ් එකක් හෝ කොණ්ඩා කටුවක්
භාග පබළු, කතුර, ඉටිපන්දමක්, අල්පෙනෙති
මේ සඳහා ඔබට කැමැති වර්ණ දෙකක් ගළපාගත හැකියි. අප තෝරාගෙන තිබෙන්නේ රතු හා රෝස වර්ණයයි. වර්ණ දෙකෙන්ම අඟල පළල රිබන්වලින් අඟල් 1x1 ප්රමාණයට එක් වර්ණයකින් කොටස් 3 බැගින් කොටස් 6ක් කපාගන්න. කොළ පාටින් අඟල් 2x1 ප්රමාණයට කොටස් දෙකක් ද කපාගන්න. මල සඳහා කපාගත් රිබන් කොටසක් ගෙන අංක 2, 3, 4 රූපවල දැක්වෙන ලෙස නමාගෙන යටින් අල්පෙනෙති ගසා ගනිමින් මල් පෙති නිර්මාණය කර ගන්න.
කතුර ගෙන නමාගත් රිබන් කොටසේ යටි පැත්තෙන් අංක 5 රූපයේ දැක්වෙන ලෙස හැඩයට කපාගන්න. දැන් එම රිබන් කොටස්වල නැමුම් දිග නො හැරෙන සේ ඉටිපන්දමක් මගින් පුලුස්සා සකසාගන්න. අංක 6 රූපය බලන්න. දැන් 7 රූපය අනුව නැවතත් කතුරු තුඩේ රැඳවාගෙන මල් පෙත්ත හැඩ කරන්න. 8 හා 9 රූප බලන්න. සකසාගත් මල් පෙත්ත 9 රූපයේ දැක්වේ. සියලු මල් පෙති සකසාගත් පසු 10 රූපයේ ලෙසින් දිස් වේවි. කොළ දෙක ද නමා පුලුස්සා හැඩ කරන්න. දැන් 12 රූපයේ දැක්වෙන ලෙස පෙති එකින් එක ගෙන වටේට අලවාගන්න. මල් පෙති අලවා ගත් පසු භාග පබළුව මල මැදින් අලවන්න. පසුව මල යටින් කොළ දෙක තබා අලවා. එයට යටින් ෆෙල්ට් කොටස අලවන්න. දැන් කොණ්ඩ කටුවේ උඩින් හොට් ග්ලූගන් යොදා සාදාගත් මල අලවාගන්න. අංක පිළිවෙළට ඡායාරූප දෙස බැලීමෙන් මෙය නිර්මාණය කරන ආකාරය පැහැදිලි වේවි.